
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා රාජ්‍ය මුදල් පිළිබද කාරක සභාවේ සභාපති ධූරයට පත් කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අද තීරණය කළා.
ඒ ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මුදල් පිළිබද කාරක සභාවට සිදුකළ යොජනාවකට අනුවයි.
ජනාධිපතිවරයා අද මුදල් පිළිබද කාරක සභාවේ සාමාජිකයින් කැදවා පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය හර්ෂද සිල්වා රාජ්‍ය මුදල් පිළිබද කාරක සභාවේ සභාපති ධූරයට පත් කරන්නැයි යෝජනා කළ අතර ඊට ඔවුන්ගේ අනුමැතිය හිමිවුණා.
පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති එම හමුවේදී ජනාධිපතිවරයා අවධාරණය කළේ කාරක සභාවක් සහ උපදේශක සභාවලට සභාපතිවරුන් පත් කිරීමේදී පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව කටයුතු කල යුතු බවයි. ඒ අනුව රාජ්‍ය මුදල් පිළිබද කාරක සභාවේ සභාපති ධූරය විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුට ලබා දිය යුතු බැවින් ඔවුන් යෝජනා කර ඇති පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය හර්ෂද සිල්වාට එම ධූරය ලබා දියයුතු බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.
එහිදී හර්ෂද සිල්වා මන්ත‍්‍රීවරයා ජනාධිපතිවරයාට සිය ස්තුතිය පළ කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ. ජනාධිපතිවරයා විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් සමග එහිදී කතාබහකද නිරත වී තිබෙනවා.
09 වෙනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරයේ මුදල් කාරක සභාවේ සභාපති ධූරය මාස 05 කට වැඩි කාලයක් පුරප්පාඩුව පැවති අතර මෙතෙක් එහි වැඩකටයුතු සිදු කෙරුණේ තාවකාලික සභාපතිවරුන් යටතේයි.
මෙම කාරක සභාවේ සභාපති ධූරයට මීට පෙර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මයන්ත දිසානායක ආණ්ඩු පක්ෂයේ යෝජනාවකට අනුව පත් කෙරුණා. කෙසේ වෙතත් පක්ෂයෙන් මතු වූ විරෝධතා සහ ඉල්ලීම් හමුවේ ඔහු එම තනතුරෙන් ඉල්ලා අස් වීමත් සමග මුදල් පිළිබද කාරක සභාවේ සභාපති ධූරය හිස්ව පැවතුණා.
ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු මන්ත‍්‍රි වරුන් කතානායකවරයාගෙන් අවස්ථා කිහිපයකදී එම සභාපති ධූරය පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය හර්ෂද සිල්වා ලබා දෙන්නැයි ඉල්ලීම් කරණු ලැබුවා. කෙසේ වෙතත් ඊට ආණ්ඩු පක්ෂය සාධනීය ප‍්‍රතිචාරයක් හිමිවූයේ නැහැ.
අනතුරුව ජනාධිපතිවරයාගේ යෝජනාවක් අනුව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය හර්ෂද සිල්වා ගේ ප‍්‍රධානත්වයෙන් අද පස්වරුවේ රාජ්‍ය මුදල් පිළිබද කාරක සභාව රැස් වුණා.