
පාලන බලය ලබාගැනීමෙන් අනතුරුව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය පවත්වනු ලබන පළමු මැයි දින රැලිය කොළඹ ගාලු මුවදොර පිටියේදී අද පස්වරුවේ ආරම්භ වුණා.
ඊට සහභාගිවීම සඳහා පාක්ෂිකයින් අතිවිශාල පිරිසක් පැමිණ සිටි අතර, "රට හදන ජන බලය පෙළ ගැසෙන මැයි රැලිය" යන්න මෙවර ඔවුන්ගේ මැයි දින රැලියේ තේමාව වී තිබුණා.
ජාතික ජන බලවේගයේ නායක, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මැයි දින රැලියට පැමිණි ජනාධිපතිවරයාට පැමිණ සිටි පිරිසෙන් උණුසුම් ප්‍රතිචාර හිමිවුණා.
එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ දූෂණයෙන් පිරි කණ්ඩායම් මේ වනවිට අඳෝනා නගමින් සිටින බවයි.
සියලු දෙනාට නීතිය එක හා සමානව ක්‍රියාත්මක කරන රටක් මේ වනවිට නිර්මාණය කර ඇති බවත් ජනාධිපතිවරයා කියා සිටියා.
එසේම, රටත්, රටේ ජනතාවගේ අනාගතයත් රඳා පවතින්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව සතුව බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී තවදුරටත් සඳහන් කළේ.







