පුස්තකාලයක් කියූ විට අපේ මතකයට නැගෙන්නේ නිශ්ශබ්ද සන්සුන් පරිසරයකි. පොතක් කියවන්න, පර්යේෂණ කරන්න, සිත එක තැනකට ගෙනියන්න කදිම ස්ථානයක් ලෙස එය අපට දකින්නට හැකි වේ. එහෙත් මවක හෝ පියෙකුට පුංචි දරුවෙක් සමග පුස්තකාලයට යන එක එතරම් ලේසි පහසු දෙයක් නොවන බව ඔබට අමුතුවෙන් කීමට අවශ්‍ය වන්නේ නැහැ. පොඩිත්තන්ගේ දඟකාරකම්, සුරතල් කතා නිසා පුස්තකාලේ නිශ්ශබ්දතාවය රැක ගැනීම ඉතාමත් අපහසුයි. එනිසාම බොහෝ දෙමාපියන් දරුවන් සමඟ එවැනි තැනකට යාමට දෙපාරක් සිතන බව සෑම අයෙකුටම සිතෙන දෙයකි .
ඇමරිකාවේ Henrick County පුස්තකාලයෙන් වෙනසක්
මේ ප්‍රශ්නයට විශ්මජනක විසදුමක් සොයාගත්තේ ඇමරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ Henrico County මහජන පුස්තකාලයයි. මෙම පුස්තකාලයේ කාර්‍ය මණ්ඩලය සෑම නිතරම දැක්කේ පුංචි දරුවන්ව වඩාගෙන පොත් කියවන්න, පරිගණක භාවිතා කරන්න උත්සාහ දරන දෙමව්පියන් මුහුණ දෙන අපහසුතාවය.
Henrico County" පුස්තකාලයේ ප්‍රජා සම්බන්ධීකරණ නිලධාරිනිය වන පැටී කොන්වේ පැවසුවේ "තමන්ගේ දරුවා උකුලේ තියාගෙන මේ දේවල් කරන එක කොච්චර අපහසුද කියලා අපි දැක්කා" යනුවෙනි. ඒ අනතුරුව මෙම පුස්තකාලය වෙන ගෙන යන විට මෙම ගැටළුවට විසඳුමක් සොයන්නට ඔවුන් තීරණය කළේය ඔවුන්ට අවශ්‍ය වූයේ පුස්තකාලයට පැමිණෙන සියලු දෙනාට විශේෂයෙන්ම දරුවන් සිටින පවුල් වලට වඩා හොඳ සේවාවක් ලබාදීමටය.

පුංචි දරුවන්ට ම වෙන්වුණ ඉඩක් Henrico County පුස්තකාලයේ අලුතින් ඉදිකරන ලද Fairfield ශාඛාව මෙම අපූරු අදහස ක්‍රියාවට නැංවූයේය. ඔවුන් පුස්තකාලයේ දෙවන මහලේ පරිගණක අසල ම කුඩා කොටු හැඩැති කුටියක් නිර්මාණය කළේය. කුටිය ඇතුළත දරුවෙකුට පහසුවෙන් ඉන්න පුළුවන් ඉඩකඩක් සහ සෙල්ලම් බඩු තැබීමට හැකි ලෙස ඉඩක් පවතී. මේ නිසා දෙමව්පියන්ට තම දරුවන් නිරීක්ෂණය කරමින් තම වැඩ කටයුතු කර ගැනීමට හැකි වේ.
තවද පුස්තකාලයේ දෙවන මහලේ අනෙක් කොටස කුඩා දරුවන් සිත් ගන්නා ලෙසට නිර්මාණය කළ අතර එහි වර්ණවත් බිත්ති, හොදින් කුෂන් කරන ලද පුටු, දරුවන්ගේ බුද්ධිය වර්ධනය කරන සෙල්ලම් බඩු සහ ළමා ළමා පොත් රැසක් තිබේ. මේ හේතුවෙන් පුංචි දරුවන්ට කිසිසේත්ම කම්මැලි නොවී, සතුටින් කාලය ගත කිරීමට හැකියාව ලැබේ.මෙය දෙමව්පියන්ට පමණක් නොව, දරුවන් රැකබලා ගන්නා අයටද කදිම ස්ථානයකි.
සාර්ථක අදහසකි - ජාත්‍යන්තර පිළිගැනීමකි
මෙම අදහස කොතරම් සාර්ථක වෙනවද යන්න පවසනවා නම් බොහෝ දෙමව්පියන් වලින් පුස්තකාලයෙහි ඡායාරූප අන්තර්ජාලයේ පළ කරමින් ඔවුන්ට ලැබුණු සහනය පිළිබඳ පිළිබඳව ස්තූතිවන්ත වුණ අතරම ඔවුන්ගේ මෙම අත්දැකීම් දුටුව ලොව පුරා බොහෝ දෙනෙක් පුස්තකාම වල සහ වෙනත් පොදු ස්ථානවලත් මෙවැනි පහසුකම් ඇති කිරීමේ අවශ්‍යතාවය ගැන අදහස් පළ කිරීමට පටන් ගත්තේය.
මෙම පුස්තකාලය ඔප්පු කළේ පුංචි සිතුවිල්ලකින් වුවත් සමාජයට ලොකු වෙනසක් කිරීමට හැකි බවයි. දරුවෙකුට සුරක්ෂිතව පහසුවෙන්ම සිටීමට ස්ථානයක් සාදන එක ඒ දරුවාගේ මවට හෝ පියාට තම වැඩ කටයුතු කර ගැනීමට ලොකු ශක්තියක් වේ.
ලංකාවෙත් මේ වගේ පහසුකම් සහිත නිර්මාණ කරන්න අපට හැකියාවක් නැත්තේ නම් නැහැ. අවශ්‍ය වන්නේ අන් අයගේ පහසුව ගැන සිතන පුංචි සිතුවිල්ලක් පමණි. ඔබ මේ ගැන සිතන්නේ කුමක්ද?
මදුමාලිකා වික්‍රමසිංහ