/
/
title icon
සොබා දහමේ අලංකාරය නිවසට ගෙන එමු
සොබා දහමේ අලංකාරය නිවසට ගෙන එමු
Madumalika Wickramasinghe
1 month ago
Share:
සොබා දහමේ අලංකාරය නිවසට ගෙන එමු

නිවසක් යනු හුදෙක් ගඩොල් සහ සිමෙන්ති වලින් බැඳී බිත්ති සමූහයක් නොවේ. එය අපගේ මානසික සුවය, සාමය සහ සතුට රැඳී ඇති අපගේම ලෝකයයි. නිවස අලංකාර කිරීමෙන් අපගේ ජීවිත වලට අලංකාරයක් එක් වනවා පමණක් නොව එදිනෙදා ගැටලු වලින් මිදී විවේකීව සිටීමටද එය අපට අවස්ථාව සලසා දෙයි. නිවස අලංකාර කිරීමට ඇති එක් සරල හා ඵලදායී ක්‍රමයක් නම් සොබා දහමේ සුන්දරත්වය නැතිනම් කොළ පැහැය, ශාක, විසිතුරු ගල්  අපගේ නිවෙස් තුළට ගෙන ඒමයි. අතීත ලාංකේය ගෘහ නිර්මාණ ශිල්පයේ පවා දක්නට ලැබුණු මෙම ක්‍රමය නවීන නිවාස වලට ද අලංකාරයක් එක් කිරිමට මහත් රුකුලක් වනු ඇත.

අලංකාර රටාවන් සහ වර්ණ වලින් සුන්දරත්වය  ගෙන ඒම

බිත්ති වලට ශාක පත්‍ර, විසිතුරු ගල් හෝ  දැවමය රටා සහිත බිතුපත්  (wallpapers) හෝ ටයිල් භාවිතා කිරීමෙන් ඔබගේ නිවසට ස්වභාවික හරිත බවක් එක් කළ හැකිය. රූපවාහිනියට පිටුපසින් ඇති බිත්තියක් හෝ කෑම කාමරයේ පසුබිම් බිත්තියක් වැනි ස්ථාන සඳහා මෙය කදිම තේරීමකි. කොළ පැහැයේ විවිධ ස්වරූප ලාකොළ සිට තද කොළ සහ නිල් පැහැයට හුරු කොළ මෙන්ම කහ, තැඹිලි, රෝස, වැනි උණුසුම් වර්ණ ද මේ සඳහා භාවිතා කළ හැකියි.

මෙම රටාවට හෝ වර්ණයට ගැලපෙන මේස ලාම්පු, පින්තූර රාමු වැනි අලංකාර භාණ්ඩ සහ තණ පිඩලි කාපට් භාවිතයෙන් මෙම අලංකාරය තවත් වැඩි දියුණු කළ හැකිය. සියලු ම අලංකාර අංග එකිනෙකට ගැලපෙන විට එය ඔබේ නිවසට පිළිවෙලක් සහ සන්සුන් බවක් ගෙන එනු ඇත. එසේම විශේෂයෙන්  බිතුපත් තෝරා ගැනීමේදී බැක්ටීරියා නාශක ගුණ ඇති ඒවා මිලදී ගැනීමට අමතක නොකරන්න.

7e3049ec667c93ad27f707534c86d61d.jpg

කුඩා ශාක සමග ස්වභාවිකත්වය වින්දනය

නිවස තුළ පහසුවෙන් නඩත්තු කළ හැකි වැඩි හිරු එළියක් අවශ්‍ය නොවන ජීව ශාක හෝ කෘතිම ශාක භාවිතයෙන් ස්වභාවිකත්වයේ අලංකාරය උපරිමයෙන් භුක්ති විඳිය හැක. කැක්ටස් සහ බොන්සායි ශෛලියේ ශාක මේ සඳහා වඩාත් ජනප්‍රියවේ. ශාකය බඳුන්ගත කර තිබුණ ද එහි පසුබිම (බිම හෝ බිත්තිය) ගල් කැබලි, තීන්ත වර්ණ,  ටයිල් රටා හෝ Spotlight  ආලෝකකරණයෙන් අලංකාර කළ හැකිය.

තරමක් විශාල ශාක නිවසේ දී භාවිතා කරන්නේ නම්,  රාත්‍රියේ දී ඒවායින් පිටවන කාබනඩයොක්සයිඩ් ඉවත්වීමට ඉඩ සලසමින්, හොඳින් වාතාශ්‍රය ලැබෙන ස්ථානවල ඒවා තැබීමට වග බලා ගන්න. එසේම, කටු සහිත ශාක දරුවන්ට ළඟාවිය නොහැකි ස්ථානවල තැබීම ද වැදගත් වේ. මේ නිසා කෝමාරිකා වැනි ශාක භාවිතා කිරීම වඩාත්සුදුසුය.

ජනේල අලංකරණයෙන් සිසිලස සලසාලීම

සොබා දහමේ එක් අසිරිමත් ගුණාංගයක් වන්නේ සිසිලසයි. නගරබදව ඇති කොන්ක්‍රීට් වනාන්තර සහ දැඩි හිරු එළිය අපගේ මානසික ආතතිය වැඩි කරන අතරම ස්වභාවිකව සිසිලස ලබා ගැනීමට නම් ජනේල වලට රස්නය උරා උරාගත හැකි ස්වභාවික ආවරණයක් භාවිතා කිරීම කදිම විසඳුමකි.

බට පැළලි ( Bamboo blinds)  ජනේල වලට යෙදීමෙන් ඒවා වැඩි උෂ්ණත්වයක් දරා ගැනීමට හැකි නිසා සිසිලස ලබා දෙන අතරම සොබාදහමේ අලංකාරය ද නිවස තුළට ගෙන එයි. ඒ අවට ස්ථානවල වංගෙඩියෙන් / වංගු වලින් සාදන ලද පුටු ( Rattan chairs) තැබීමෙන් මෙම ස්වභාවික අලංකාරය තවදුරටත් සම්පූර්ණ කල හැකිය.

ස්වභාවික අමුද්‍රව්‍ය වලින් නිවසට ප්‍රාණයක් ගෙන ඒම

නිවසට සොබා දහමේ රටා ගෙන ඒමට ඇති තවත් එක් ක්‍රමයක් නම් ස්වභාවික අමුද්‍රව්‍ය වලින් සාදන ලද අලංකාර භාණ්ඩ භාවිතා කිරීමයි. නැතහොත්, ස්වභාවික රටා අනුකරණය කරමින් කෘතිමව නිර්මාණය කරන ලද ගෘහ භාණ්ඩ භාවිතා කිරීමයි. මෙම දෙකම එකට මිශ්‍ර කරමින් විශාල ජනේලයකට ලී රටාවකින් කළ තිර රෙදි රැදවුමක් (Curtain holder) සහ ලී/කොළ පැහැති රටා සහිත තිර රෙද්දක් (Curtain) භාවිතා කළ හැකිය.

නිදන කාමරයේ ඇඳ අසල මේසය, හෝ සාලයේ තබන මේසය අලංකාර කිරීම සඳහා කොරල් (Coral),  වර්ණවත් ගල් කැබලි, කුරුලු පිහාටු නිර්මාණ වැනි දෑ භාවිතා කළ හැකිය. දොර අසල පොල් කෙඳි ලී වලින් කළ බිත්ති රාක්කයක් සවිකිරීම (එවිට රූපවාහිනිය රාක්කයෙන් ඉහළට පාවෙන්නාක් මෙන් පෙනෙනු ඇත.)  නිර්මාණශීලී අදහස් වලට කදිම උදාහරණ කිහිපයකි.

කුඩා මිදුලකින් මහත් අලංකාරයක්

නිවසක් ඉදිකිරීමේදී ඉඩමේ ඇති මධ්‍යම ප්‍රමාණයේ ගස් ඉතිරි කරමින්, ඒවා වටා නිවස සැලසුම් කිරීමෙන් සොබාදහම ස්වභාවිකව නිවස තුළට ගෙන එන්නට හැකි වේ. එම කොටස වටා වීදුරු( glass) යෙදීම, ලී රටා සහිත ටයිල්, ගස දෙසට සහ බිත්ති වලට කෘතිමව දැව Wall lamp ආවරණ යෙදීම, පිවිසුමට තණ පිඩලි කාපට් මෙන්ම ගස වටා පොළව ආවරණය කරමින් විසිතුරු ගල් කැබලි යෙදීමෙන් මෙම අලංකාරය තවදුරටත් වර්ධනය කළ හැකියි.

මෙම නිර්මාණශීලි අදහස් අතරින් ඔබේ නිවසට වඩාත් ගැලපෙන්නේ කුමන අංගයද යන්න ඔබම තීරණය කරන්න.

මදුමාලිකා වික්‍රමසිංහ

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required