/
/
title icon බොදු දරුවන් තනන දහම් පාසල..
බොදු දරුවන් තනන දහම් පාසල..
Editor
1 year ago
Share:
බොදු දරුවන් තනන දහම් පාසල..

අධ්‍යාපනය ගත් විට එය විවිධාකාර කොටස් වල බෙදා වෙන් කළ හැකිය. නමුත් කෙසේ බෙදීමට ලක් කළද ඕනෑම කොටසකින් දරුවන්ට ජීවිතයට යමක් එකතු කර ගැනීමට හැකිය. මේ අතර දහම් අධ්‍යාපනය බොහෝ දෙනෙක්ට අමතක ව ගිය ද, සමාජයට ඉතාමත් අත්‍යවශ්‍ය ඉගැන්වීමක් ලෙස හදුන්වා දිය හැකිය. දහම් අධ්‍යාපනය යනුවෙන් හදුන්වනු ලබන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය පිළිබඳ අධ්‍යයනය කිරීමයි. එසේම එම දහම් කරුණු ජීවිතයට ළගා කර ගනිමින් යහපත්, දැහැමි ජීවිතයක් ගත කිරීමටද මෙම දහම් අධ්‍යාපනය උපකාරී වෙයි. මෙම දහම් අධ්‍යාපනය පුළුල් ලෙස ව්‍යාප්ත කිරීම සදහා මෙරට ඇති හොදම සහ එකම අධ්‍යාපනය ආයතනය දහම් පාසල යැයි පැවසීම වරදක් නොවේ. ශ්‍රී ලංකාවේ පළමු දහම් පාසල ආරම්භ කරන ලද්දේ 1895 අගෝස්තු මස 03වන දින ගාල්ල වැලිවත්ත විජයාරාමයේදීය. මේ සදහා ඇමෙරිකන් ජාතික ඕල්කට්තුමා සහ රුසියන් ජාතික බ්ලැවැට්ස්කි මැතිනිය ප්‍රධානත්වය ගන්නා ලදි.

මෙසේ ආරම්භ වූ දහම් පාසල් අධ්‍යාපනය මේ වන විට ගම් දනව් සිසාරා ව්‍යාප්ත වී සෑම පන්සලක් හෝ පාසලක් මූලික කර ගනිමින් ක්‍රියාත්මක වෙයි. මෙම දහම් පාසල් හරහා බොදු දරුවන් තනනවා සේම මෙරට අධ්‍යාපනයේ විශාල හිඩැසක් පුරවලන ලදි.පාසල් අධ්‍යාපනය තුළින් ගණිතය, ඉංග්‍රීසි, විද්‍යාව වැනි විෂයන් වලින් ළමුන් පෝෂණය කරමින් විභාග වලට ළමුන් සූදානම් කළ ද එම පැතිකඩයන්ට දක්ෂතාවක් නොදක්වන නමුත් නායකත්වය සහ අනෙකුත් කුසලතා ඇති දරුවන්ට දහම් පාසල මහා තෝතැන්නක් වෙයි. බොහෝ දක්ෂ කථිකයින්, විවාදකරුවන්, කාව්‍යකරුවන් ආදීන් දහම් පාසල් තුළින් එදා මෙදා තුර බිහි වූයේ දහම් පාසල් අධ්‍යාපනයේ වැදගත්කම විදහා දක්වමිනි.
වර්තමාන සමාජය දෙස මොහොතක් දෑස් විදා බලන කල්හි සමාජයේ වෙසෙන සියලු දෙනා එක පිම්මේ ඉමක් කොණක් නොපෙනෙන ගමනක අතරමංව සිටී. එකිනෙකා අතර නිර්මාණය වී ඇති තරගකාරී ජීවන රටාව මත නිදහසේ හුස්මක් හෝ ගැනීමට ඉඩක් ඔවුන්ට නැත. දරුවන් ව ද මෙම තරගයට හවුල් කරවාගෙන ඇත්තේ තමාට ලබා ගැනීමට නොහැකි වූ දේවල් දරුවන් මතින් හෝ ලබා ගැනීමේ නොනිමි ආශාවෙනි.එම අරමුණ සාක්ෂාත් කර ගැනීම පෙරදැරි කර ගනිමින් ඉරිදා දවසද ටියුෂන් පන්තියකට දරුවාව ඇදගෙන යාම වර්තමානයේ බොහෝ විට සිදු වන්නකි. එම ටියුෂන් ගමන නිසා දරුවාගෙ දහම් පාසල් ගමන එතැනම නවතී. ටියුෂන් පන්තිය සහ පාසල නිසා උසස් විභාග පවා සමත් වෙමින් ලොකු නෝනා කෙනෙකු හෝ මහත්මයෙකු වුවත් දරුවාගේ දහමට ලැදි බව අනෙකාව තේරුම් ගැනීම, දැනීම සහ හොද හුරු පුරුදු සහමුලින්ම ඉවත්ව යයි.

මේ වන විට සමාජය දෙස හැරී බැලීමේදී එය මනාව පෙන්නුම් කරන සිද්ධි බොහෝමයක් අසන්නට, දකින්නට ලැබේ. විශ්වවිද්‍යාල සිසුන් තම පෙම්වතියව අමු අමුවේ පිහියෙන් ඇන කපා කොටා මරා දමන්නේ දහම් අධ්‍යාපනයක් නොළබීමේ ප්‍රතිවිපාක ලෙසයි. අනෙකාගේ ජීවිතයේ වටිනාකම ටියුෂන් පන්තියේ කියා දෙන්නේ නැත. මිනී මැරීමේ ආදීනව, සියදිවි නසා ගැනීමේ ආදීනව ටියුෂන් පන්තියේ කියා දෙන්නේ නැත. එසේම තමාව ඉතා මහන්සියෙන්, කැපවීමෙන් ඇති දැඩි කළ දෙමාපියන්ව බලු කූඩයට දමා හෝ වැඩිහිටි නිවාසයට ගෙන ගිස් දමන්නේ දහම් අධ්‍යාපනය නොලද පිරිසයි. කෙතරම් උගත් බවක් ලැබූවද මෙරට පමණක් නොව ලෝකයේ වෛද්‍යවරු, ඉංජිනේරුවන් සිදු කරන වැරදි ක්‍රියා දුටු විට ඔවුන්ගේ උගත්කමේ ඇති ඵලය කුමක්ද යන්න අපට සිතේ. අනෙකා පිළිබඳ හැගීමක්, දැනීමක් තබා තමාට තමාව හෝ පාලනය කර ගැනීමට නොහැකි තත්ත්වයට ඔවුන් පත් වී සිටින්නේ තරගකාරී ලෝකය තුළ මුදල මත සියල්ල තීරණය වන බැවිණි.

මුදලට ලබා ගත නොහැකි දේවල් මිනිස් ජීවිතය තුළ පවතින බව පන්සල, දහම් පාසල සමග සම්බන්ධ වන දරුවා දනී. අනෙකාගේ දුක, දොම්නස වටහා ගනී. උදව් උපකාර කරයි. එසේම ඕනෑම අවස්ථාවක තමන් තමාව පාලනය කර ගත යුත්තේ කෙසේද යන්න ඉගෙන ගන්නේ දහම් පාසලෙනි. මෙරට සිර ගෙවල් වසා දැමීමට නම් දහම් පාසල් තවත් ආරම්භ කළ යුතුය. වර්තමානය වන විට මෙම දහම් පාසල් ක්‍රමවත් ක්‍රියාවලියක් ඔස්සේ සිදු වේ. නමුත් දරුවන්ගේ පැමිණීම ඉතාමත් අවමය. දෙමාපියන් ඉරිදා උදෑසන ලක ලෑස්ති කොට දරුවාව ඇදගෙන යන්නේ ටියුෂන් පන්තිය වෙතය. එසේ යාමට මුදල් අපහසුතා ඇති සුලු පිරිසක් පමණක් දහම් පාසල වෙත පැමිණෙයි. රටට, දැයට නැණ ගුණ බෙලෙන් සපිරි දරු පරපුරක් බිහි කිරීමට නම් දහම් පාසල් අධ්‍යාපනය අත්‍යවශ්‍ය බව මාගේ මතයයි.මේ පිළිබඳ රජයේ අවධානය යොමු විය යුතු කාලය පැමිණ තිබේ. ටියුෂන් පන්ති තහනම් කර හෝ ඉරිදා උදේ වරුව දහම් පාසල සදහා වෙන් කළ යුතුය.හොද දෙයකට නීති පැනවූවත් එයින් අයහපතක් වන්නේ නැත. එබැවින් ඉරිදා උදෑසන කාලය සියලුම දරුවන් දහම් පාසල් අධ්‍යාපනය සදහා යොමු කරවිය හැකි දිනයක් බවට පත් කිරීම අනිවාර්ය බව වගකිව යුත්තන් මතක තබා ගත යුතුය. ඒ තුළින් දැහැම්න් සුපෝෂිත රටක් නිර්මාණය කිරීම අරුමයක් නොවනු ඇත.

සනෝජා රංහොටිබණ්ඩාර.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required