
පසුගිය 03 වැනි දා අලුයම කාලයේ දී සිදු වූ අනතුරකින් ලිවර්පූල් පාපන්දු කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩක 28 හැවිරිදි ඩියෝගෝ ජෝටා ද සිල්වා සහ ඔහුගේ සහෝදරයා වන පෘතුගාල ඉදිරිපෙළ ක්‍රීඩක 25 හැවිරිදි ඇන්ඩ්‍රේ ද සිල්වා ද මියගොස් ඇත.
ඔවුන් මෙම අනතුරට මුහුණ දී ඇත්තේ ස්පාඤ්ඤයේ සැමෝරා පළාතේ දී ය. ඔවුන් ගමන් කරමින් සිටි ලැම්බෝගිනි වර්ගයේ මෝටර් රථය තවත් වාහනයක් පසුකර යාමේ දී ටයරයක් පුපුරා යාම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට විසි වී පසුව ගිනිගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ඩියෝගෝ ඔහුගේ සහකාරිය වන රූට් කාර්ඩෝසෝ සමග පසුගිය ජුනි 22 වනදා විවාහ වී තිබුණු අතර ඔවුන්ට දරුවන් තිදෙනෙකු ඇත. විදෙස් මාධ්‍ය පවසන්නේ ඔවුන්ගේ විවාහ උත්සවයේ නිල වීඩියෝ පටය, මෙම අනතුර සිදුවීමට පැය කිහිපයකට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ මුදාහැර ඇති බවයි.
පාපන්දු ලෝකය ම කම්පනයට පත් කළ සොයුරන්ගේ මරණය සම්බන්ධයෙන් පෘතුගාල නායක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ඇතුළු සුපිරි පාපන්දු තරු මෙන්ම, ක්‍රීඩා සමාජ ද සිය කනස්සල්ල පළ කර තිබෙනවා.
තවද, මේ වන විට ක්‍රියාත්මක ලොව පැරණිතම ටෙනිස් තරගාවලිය වන විම්බල්ඩන් තරගාවලියේ සුදු පැහැති ඇඳුම් ඇඳීමේ නීතිය තාවකාලිකව වෙනසක් කරමින් ඩියෝගෝට උපහාර දැක්වීමට ක්‍රීඩකයින්ට කළු අත් පටි පැළඳීමට නිලධාරීන් අවසර දී තිබෙනවා. විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ වසර 148ක ඉතිහාසයේ ප්‍රථමවරට සුදු පැහැති ඇඳුම් ඇඳීමේ නීතිය තාවකාලිකව වෙනස් කෙරුණු පළමු අවස්ථාව මෙයයි.
දුලාංජලි විජේසිංහ