/
/
title icon ලාංකේය සාහිත්‍ය කලාවෙන් බැහැරට යන ශාන්තිකර්ම.
ලාංකේය සාහිත්‍ය කලාවෙන් බැහැරට යන ශාන්තිකර්ම.
Editor
2 years ago
Share:
ලාංකේය සාහිත්‍ය කලාවෙන් බැහැරට යන ශාන්තිකර්ම.

                සාහිත්‍ය කලාව පිළිබඳ අධ්‍යයනය කිරීමේදී විවිධ සාහිත්‍ය වර්ගීකරණයන් අපට දැක ගැනීමට හැකි වෙයි. ඒ අතරින් ලාංකේය ශාන්තිකර්ම සාහිත්‍ය වූ කලී බොහෝ ඈත ඉතිහාසයක් දක්වා විහිදී යන්නකි. ඈත අතීතයේ සිටම මිනිසා ශාන්තිකර්ම කෙරෙහි දැඩි ඇල්මක් සහ කුළුපග බවක් දක්වා තිබේ. ඒ අනුව දේශීය ඕනෑම ශාන්තිකර්මයක් බිහි වීමට මූල බීජය බවට පත් වී ඇත්තේ පොදු හෝ තනි වශයෙන් එකිනෙකාට ඇති වන්නා වූ පුද්ගලික හෝ සමාජ අවශ්‍යතාවයකි.
ඒ අනුව ශාන්තිකර්මයක් යනු, ශාන්තියක් උදෙසා කරනු ලබන කර්මයයි. ක්‍රියාවයි. ශාන්තිකර්මයක් සිදු කරනු ලබන්නේ සියලු සත්ත්වයින් කෙරෙහි පැමිණිය හැකි රෝග, උපද්‍රව, අතුරු අන්තරා දෝෂ දෝෂාන්තර දුරු කර ගනිමින් සෙතක්, ශාන්තියක් බලාපොරොත්තුවෙනි. ප්‍රාදේශීය සමාජයන් දෙසට මදක් එබී බැලීමේදී ප්‍රාදේශීය ව්‍යවහාරයන්ට අනුව තොවිලය, යාගය, කංකාරිය, මඩුව, බලිය යන නම්වලින් හදුන්වන විවිධ අවස්ථා දකින්නට, අසන්නට ලැබෙයි.
වත්මන් ලෝකය මනුෂ්‍යයාගේ සහ විද්‍යාවේ දියුණුවත් සමග කෙතරම් දුරක් ගමන් කර තිබුනද ප්‍රාදේශීය වශයෙන් ගත් විට මෙම බලි තොවිල්, ශාන්තිකර්ම ඉතාමත් ගරුත්වයෙන් යුතුව සිදු කරන පිරිස් තවමත් දක්නට ලැබෙන්නේ ශාන්තිකර්මයන් හි බොහෝ යටගියාවන් පිළිබඳ ද සිහිපත් කරමිනි. මෙම ශාන්තිකර්ම සිදු කිරීමෙන් ඉටු කර ගැනීමට බලාපොරොත්තු වන අභිලාශයන් වශයෙන්,
• අට අනූවක් ලෙඩ රෝග දුරු කර ගැනීම.
• කලට වේලාවට වර්ෂාව ලබා ගැනීමට
• නොපෙනෙන බලවේග පලවා හැරීමට.
• භව භෝග අස්වනු සරුසාර කර ගව මහීෂාදී සතුන් රැක ගනිමින් සශ්‍රීක ජීවිතයක් ගත කිරීමට.
යනාදී වශයෙනි.
ගමේ මිනිසුන් කෘෂිකර්මාන්තය තම ජීවිකාව කරගත් පිරිස නිසාවෙන් අතීතයේ සිටම පරිසරයේ සිදුවන විවිධ සිද්ධි වලට දේවත්වයක් ආරූඪ කර තිබේ. අව්ව-වැස්ස, ඉර-හද, වර්ෂාව, සුළග පමණක් නොව ගහකොළ පවා දේවත්‍වයෙන් අදහන තත්ත්වයට පත් විය. එම හද පිරි දේවත්වය නිසාම මෙම ස්වාභාවික පරිසර පද්ධතියේ ඇතිවන වෙනස්කම් උදෙසා ශාන්තිකර්ම මාර්ගයෙන් විසදුම් ලබා ගැනීමට ඔවුන් පෙළබී සිටී. ඒ අතරට කොහොඹා කංකාරිය , පහන් මඩුව, දෙවොල් මඩුව යන ශාන්තිකර්ම ප්‍රමුඛ වෙයි. මෙය ඒ ඒ ප්‍රදේශ අනුව වෙනස් වෙයි. ඒ අනුව ඔවුන් මෙම ශාන්තිකර්ම සිදු කොට ස්වභාව ධර්මයාගෙන් ඉල්ලා සිටින්නේ සියලු දෙනා ආරක්ෂා කර තම ගොවිතැන සාර්ථක කර දෙන ලෙසයි.
ගමේ ඕනෑම අයෙක්ට උණක්, හෙම්බිරිස්සාවක් හැදුණද මුලින්ම පවුලේ වැඩිහිටියන්ගෙන් ලැබෙන ප්‍රතිචාරය නම් තෙල් ටිකක් මතුරමු, පේනක් බලමු, අදුනක් බලා බලියක්, තොවිලයක් කරමු යනාදී වශයෙනි. එයින්ද ගම්‍ය වන්නේ ගැමියන් තුළ මෙම ශාන්තිකර්ම කෙරෙහි පවතින දැඩි සමීප බවයි. මෙම තත්ත්වය තුළ ඔවුන්ට දෙවියන් කෙරෙහි පවත්නා දැඩි විශ්වාසය පිළිබිඹු වෙයි. ආණ්ඩුවේ රෝහලකට යාමට පෙර රෝගියා ගමේ සිටින වෙදරාලට යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන පුද්ගලයාට පෙන්වන්නේ යකුන්ගේ බැල්ම, දිස්ටිය පළවා හැරීමටයි. මෙවන් දේවල් නිසා රෝගීන් සුවපත් වූ අවස්ථාද බොහෝ හමු වෙයි. ලාංකීය සාහිත්‍ය ඉතිහාසයේ ද එවැනි අවස්ථා හමු වෙයි.
තීත මිනිසා තුළ පැවති බොහෝමයක් පැරණි සිරිත් විරිත් මේ වන විට අලෙවිකරණයේ සහ ප්‍රවර්ධනයේ අතකොලුවන් බවට පත් වී තිබේ. ඒවායේ පවත්නා පෞරාණික බව බිද හෙලා ඒවාට නව අර්ථකතන ලබා දෙමින් ව්‍යාපාර සහ වාණිජ අරමුණු වෙනුවෙන් භාවිතා කරනු ලබයි. නමුත් ග්‍රාමීය පොදු ජනතාවගේ හදවත් තුලින් මෙම ශාන්තිකර්ම බැහැර කිරීමට තවමත් නොහැකිය. ඔවුන්ගේ ජීවිතය හා බද්ධ වී ඇති මෙම ශාන්තිකර්ම ඔවුන්ගේ හෙට දවසටද බල පැවැත්වෙනු නොඅනුමානය. 

සනෝජා රංහොටිබණ්ඩාර.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required