
රුපියල් කෝටි ගණනක මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිළිණි ප‍්‍රියමාලි සතුව තිබූ ජංගම දුරකථනයක් බන්ධනාගාර නිලධාරින් විසින් සොයාගෙන තිබෙනවා.
ඒ ඇය රඳවා සිටින වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ ඊයේ පස්වරුවේ සිදුකළ හදිසි සෝදිසියකදීයි.
බන්ධනාගාර හදිසි ප‍්‍රතිචාර උපක‍්‍රමික බලකාය සහ බන්ධනාගාර අධිකාරිවරයා විසින් මේ පිළිබඳ පරීක්ෂණයක් සිදුකරන බවයි බන්ධනාගාර කොමසාරිස් හා මාධ්‍ය ප‍්‍රකාශක චන්දන ඒකනායක සඳහන් කළේ.
කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 34 වන මහලේ සුඛෝපභෝගී කාර්යාලයක් පවත්වාගෙන ගිය මෙම කාන්තාව පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගනු ලැබුවේ රුපියල් මිලියන 226 කට අධික මුදලක් ලබාගෙන ඒවා ආපසු ගෙවීම සඳහා ලබාදුන් චෙක්පත් අගරු වීම සම්බන්ධයෙන් ව්‍යාපාරිකයෙකුගෙන් ලද පැමිණිල්ලකට අනුවයි.
මේ වනවිට ඇය සමඟ ගණුදෙනු කළ බව කියන පුද්ගලයින් රැසකගේ නම් සඳහන් ලැයිස්තුවක් සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.
මේ අතර තිලිණි ප්‍රියමාලිගේ සමාගමේ මුදල් තැන්පත් කිරීම සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු ආණ්ඩුකාර අසාද් සාලි හෙට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා.
අප කළ විමසීමකදී අසාද් සාලි කියා සිටියේ ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 80 ක මුදලක් තමන් එම කාන්තාවට ලබාදුන් බවයි.
වෙනත් ආයතනයක් පවත්වාගෙන යන කාන්තාවක් හරහා තමන් එම මුදල් සැකකාරියට ලබාදුන් බවද හිටපු ආණ්ඩුකාරවරයා සඳහන් කළා.