සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මොහොමඩ් නජීම් මොහොමඞ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන්, ශ‍්‍රී ලංකාවේ සිට තමිල්නාඩුවට පලාගොස් ඇතැයි හින්දු පුවත්පත වාර්තා කළා.
එහි දැක්වෙන්නේ තමිල්නාඩු ආරක්ෂක අංශ මේ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන බවයි. කංජිපානි ඉම්රාන් ඉන්දියාවේ රාමේෂ්වරන් ප‍්‍රදේශයට ඇතුළු වී ඇති බවද ඉන්දිය මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සඳහන්.
කංජිපානි ඉම්රාන්, තලෙයිමන්නාරම ප‍්‍රදේශයේ සිට ඔහුගේ සමීපතමයන්ගේ සහයෝගයද ඇතිව මෙලෙස ඉන්දියාවට පලාවිත් ඇති බවද ඉන්දීය බුද්ධි අංශ අනාවරණ කළා. ඝාතන ඇතුලූ අපරාධ රැසකට සම්බන්ධ බවට පැවසෙන කංජිපානි ඉම්රාන් 2019 වර්ෂයේ ඩුබායි හිදි එරට ආරක්ෂක අංශ භාරයට පත්වීමෙන් අනතුරුව මෙරටට පිටුවහල් කෙරුණු අතර, දැඩි රැකවල් මත ඔහු බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටියා.
අනතුරුව පසුගිය දෙසැම්බර් මස විසි වනදා ඔහු, ඇප මත මුදාහැරුණේ කොළඹ – අලූත්කඩේ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. ඒ, රුපියල් කෝටියක ශරීර ඇප සහ රුපියල් දෙලක්ෂ පනස් දහසක මුදල් ඇපයක් මතයි. එම අවස්ථාවේදී අධිකරණය ඔහුට විදෙස් ගමන් තහනමක්ද පනවනු ලැබුවා.
මේ සම්බන්ධයෙන් අප පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූවගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ මේ වනතෙක් ඒ පිළිබඳ කිිසිදු නිශ්චිත තොරතුරක් ලැබී නොමැති බවයි.
මේ අතර නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සහ ආයුධ වෙළඳාමට සම්බන්ධයෙන් තමිල්නාඩුවේ ට්‍රිචී හි විශේෂ කඳවුරක සිටියදී අත්අඩංගුවට ගත් ශ‍්‍රී ලාංකික සංවිධානාත්මක අපරාධකරුවන් 9 දෙනාට අදාළ නෛතික ක‍්‍රියාමාර්ග පිළිබඳ ඉන්දීය රජය සමඟ සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ ඔවුන් මෙරටට ගෙන්වාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාල වැඩපිළිවෙල ක‍්‍රියාත්මක කර ඇති බවයි. ඊට අදාළ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ඉන්දියාව බලා පිටත්ව යාමටද නියමිතව තිබෙනවා.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සහ ආයුධ වෙළඳාමට සම්බන්ධයෙන් තමිල්නාඩුවේ ට්‍රිචී හි විශේෂ කඳවුරක සිටියදී මෙම අපරාධකරුවන් 9 දෙනා ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබුණා.
සින්නයියා ගුණසේකරන් හෙවත් කිඹුලාඇලේ ගුණා, පුෂ්පරාජ් හෙවත් පූගුඩුකන්නා, මොහොමඩ් අස්මින්, අලහප්පෙරුමගේ සුනිල් ගාමිණී ෆොන්සේකා හෙවත් කොට ගාමිණී ස්ටැන්ලි කෙනඩි ප‍්‍රනාන්දු හෙවත් බුම්මා, කංකානම්ගේ නලින් චතුරංග හෙවත් අතුරුගිරියේ ලඩියා, ධනුක රොෂාන් හෙවත් කෙසෙල්වත්තේ ධනුක, ගමගේ සුරංග හෙවත් වැල්ලේ සුරංග, සින්නයියා තිලීපන් හෙවත් කිඹුලාඇළේ ගුණගේ පුත‍්‍රයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවටයි ඉන්දීය පුවත් සේවා අනාවරණය කර තිබුණේ.