නව විදුලි ගාස්තු සංශෝධනය හෙට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමටයි නියමිතව තිබෙනවා. 2023 වසර සඳහා ක‍්‍රියාත්මක කිරීමට යෝජිත විදුලි ගාස්තු සංශෝධනයෙන් වැඩි බලපෑමක් එල්ල වන්නේ අඩු විදුලි පරිභෝජනයක් සිදුකරන ජනතාවට බවයි වාර්තා වන්නේ.
පවතින විදුලි ගාස්තු සංශෝධනය කළ යුතු බවට බලශක්ති අමාත්‍යවරයා අවධාරණය කළේ අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කිරීම සහ විදුලිය සඳහා වැයවන පිරිවැය සැලකිල්ලට ගනිමිනුයි.
ඒ අනුව පසුගිය අගෝස්තු මාසයේ 75% කින් පමණ ඉහළ දැමුණු විදුලි ගාස්තුව ජනවාරියේ සිට යළිත් ඉහළ දමන බව ඔහු සඳහන් කළා. අදාළ යෝජනාවලිය මීළඟ අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා මීට පෙර ප‍්‍රකාශ කර තිබුණා.
නව සංශෝධනය යටතේ ඒකක 0 සිට 60 දක්වා කාණ්ඩය යටතේ ඒකකයක් සඳහා වන ගාස්තුව මෙන්ම ස්ථාවර ගාස්තුද සංශෝධනය කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ඒකක 0-30 දක්වා රුපියල් 8ක්ව පවතින ඒකකයක ගාස්තුව රුපියල් 30 දක්වාද රුපියල් 120ක්ව පවතින ස්ථාවර ගාස්තුව රුපියල් 400 දක්වාද ඉහළ දැමීමට යෝජිතයි.
ඒකක 31 – 60 දක්වා රුපියල් 10ක්ව පවතින ඒකකයක ගාස්තුව රුපියල් 37 දක්වාද රුපියල් 240 ක්ව පවතින ස්ථාවර ගාස්තුව රුපියල් 550 දක්වා ඉහළ දැමීමට නව සංශෝධනයෙන් යෝජනා කර තිබෙනවා.
ඒකක 60න් ඉහළ කාණ්ඩය යටතේවන ඒකකයක ගාස්තුව සහ ස්ථාවර ගාස්තුවද නව සංශෝධනයෙන් ඉහළ දැමීමට යෝජනා කර ඇති අතර 1 – 60 දක්වා පවතින රුපියල් 16ක් වූ ඒකකයක ගාස්තුව රුපියල් 42 දක්වා ඉහළ දමා ඇති අතර ස්ථාවර ගාස්තුව රුපියල් 650ක් ලෙස අලූතින් එක්කර තිබෙනවා.
ඒකක 61 – 90 දක්වා රුපියල් 16ක්ව පවතින ඒකකයක ගාස්තුව රුපියල් 42 දක්වාද 360ක්ව පවතින ස්ථාවර ගාස්තුව රුපියල් 650 දක්වාද ඉහළ දැමීමට නව සංශෝධනයෙන් යෝජනා කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒකක 91 – 120 දක්වා රුපියල් 50ක්ව පවතින ඒකකයක ගාස්තුව සංශෝධනය නොවූ අතර රුපියල් 960ක්ව පවතින ස්ථාවර ගාස්තුව රුපියල් 1,500 දක්වා ඉහළ දැමීමට යෝජනා කර තිබෙනවා.
ඒකක 121 සිට 180 දක්වා රුපියල් 75ක්ව පවතින ඒකකයක ගාස්තුව සංශෝධනයට කර නොමැති නොමැති අතර 960ක්ව පවතින ස්ථාවර ගාස්තුව පමණක් රුපියල් 1500ක් ලෙස සංශෝධනය කර තිබෙනවා.
ඒකක 181 ඉක්මවා පරිභෝජනය කරන පාරිභෝගිකයින්ට රුපියල් 75ක්ව පවතින ඒකකයක ගාස්තුව වෙනස් නොවන අතර 1500ක්ව පවතින ස්ථාවර ගාස්තුව රුපියල් 2000 දක්වා ඉහළ දැමීමට නව සංශෝධනයෙන් යෝජිතයි.
පරිභෝජනය කරන වේලාවන් අනුව සංශෝධනය කර ඇත්තේ රාත‍්‍රී 10.30ත් පෙ.ව. 5.30ත් අතර රුපියල් 30ක්ව පවතින ඒකකයක ගාස්තුව රුපියල් 40ක් වන ලෙසට සහ 1500ක්ව පවතින ස්ථාවර ගාස්තුව රුපියල් 2000ක්වන ලෙසින්.
ආගමික ස්ථාන සහ පුණ්‍යායතන සඳහා ඒකක 0-30 දක්වා රුපියල් 8ක්ව පවතින ඒකකයක ගාස්තුව රුපියල් 30 දක්වාද 90ක්ව පවතින ස්ථාවර ගාස්තුව රුපියල් 400 දක්වාද ඉහළ දමා තිබෙනවා.
ඒකක 31 සිට 90 දක්වා රුපියල් 15ක්ව පවතින ඒකකයක ගාස්තුව රුපියල් 37 දක්වාද 120ක්ව පවතින ස්ථාවර ගාස්තුව රුපියල් 550 ක් දක්වාද ඉහළ දැමීමට නව සංශෝධනයෙන් යෝජිතයි.
ඒකක 91-120 දක්වා රුපියල් 20ක්ව පවතින ඒකකයක ගාස්තුව රුපියල් 42 දක්වාද රුපියල් 120ක්ව පවතින ස්ථාවර ගාස්තුව රුපියල් 650 දක්වාද ඉහළ දැමීමට යෝජනා කර තිබෙනවා.
ඒකක 180න් ඉහළ පරිභෝජනය කරන ආගමික ස්ථාන සහ පුණ්‍යායතනවලට රුපියල් 32ක්ව පවතින ඒකකයක ගාස්තුව රුපියල් 50 දක්වා ඉහළ දැමීමට යෝජනා කර ඇති අතර 1500ක්ව පවතින ස්ථාවර ගාස්තුව 2000 දක්වා ඉහළ දැමීමට යෝජිතයි.
මේ අතර, පසුගිය 22 වනදා රාත්‍රියේ සිට අක්‍රීය කෙරුණු නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත‍්‍රය නඩත්තුවෙන් පසු එළැඹෙන 09 වනදා යළිත් ජාතික පද්ධතියට එක් කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල මණ්ඩලය පවසනවා. නඩත්තු කටයුත්තක් සඳහා එහි ජනන කටයුතු නවතා දැමීමෙන් මෙගාවොට් 270 ක ධාරිතාවක් ජාතික පද්ධතියට අහිමි වනවා.