
අද සිට උසස් පෙළ විභාගය අවසන් වනතුරු විදුලි කප්පාදුව පැය 2කට සීමා කර තිබෙනවා. ඒ අනුව විභාගය අවසන් වූ පැයේ සිට සවස 6 දක්වා මිනිත්තු 40 ක් සහ සවස 6 යේ සිට රාත‍්‍රි 10 දක්වා පැයයි විනාඩි 20 ක් විදුලිය විසන්ධි කෙරෙනු ඇති.
මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක ප‍්‍රකාශ කළේ, විභාග කාලය තුළදී අඛණ්ඩ විදුලිය සැපයීම සඳහා විදුලිබල මණ්ඩලයට කළ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීමෙන් විභාග කාලය තුළදී පැය 24 පුරා විදුලිය ලබා දීමට නොහැකි වී ඇති බවයි. එම නිසා සිසු දරුවන් වෙනුවෙන් අඛණ්ඩව විදුලිය සැපයීම සඳහා විදුලි පරිභෝජනය අඩු කර සහය වන ලෙස මහජන උපයෝගීතා කොමිසම, ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
කෙසේ වෙතත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පසුගියදා සඳහන් කළේ, උසස් පෙළ පැවැත්වෙන කාල සීමාවේ දී කප්පාදු නොකර අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීම සඳහා රුපියල් බිලියන 5ක පමණ මුදලක් වැය වන බවයි.
එහෙත් උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලයේ අඛණ්ඩව විදුලිය ලබා දීමට නොහැකි වූයේ බලධාරීන් අත්තනෝමතික තීරණ හේතුවෙන් බව විදුලි ඉංජිනේරු සංගමය චෝදනා කළා.
මේ අතර විදුල බිල ඉහළ දැමීමට හේතු පැහැදිලි කරමින් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක අමාත්‍ය මණ්ඩලය හමුවට ඉදිරිපත් කළ පැහැදිළි කිරීම පිළිගත නොහැකි බව විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල හමුවේ දී ප‍්‍රකාශ කර තිබෙනවා. එබැවින් එය සභාපතිවරයාගේ මතය පමණක් බැවින් එම කොමිසමේ සෙසු සාමාජිකයින්ගේ මතය අවශ්‍ය බවයි දැනුම් දී ඇත්තේ.
එමෙන්ම මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයන් දෙදෙනෙකුට තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත සහ විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික, කොල්ලුපිටිය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. තමන්ට මරණ තර්ජන එල්ල කළ බවට මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයන් වන උදේනි වික‍්‍රමසිංහ සහ ආචාර්ය මොහාන් සමරනායක පසුගියදා කොල්ලුපිටිය පොලිසියට පැමිණිලි කර තිබුණා.