
ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට තමන්ට අවස්ථාව ලබාදීමෙන් අනතුරුව උසස් පෙළ පිළිතුරු පත‍්‍ර ඇගයීමේ කටයුතු සඳහා දායකත්වය ලබාදෙන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා.
එහි සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහැක අද පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියා.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය උසස් පෙළ පිළිතුරු පත‍්‍ර ඇගයීම් කටයුතුවලින් ඉවත්වූයේ රජය ගෙන යන බදු ප‍්‍රතිපත්තියට විරෝධය දක්වමින්.
සිය ඉල්ලීම් සඳහා රජය දිගින් දිගටම විසඳුම් ලබා නොදීම හේතුවෙන් තම වෘත්තිය ක‍්‍රියාමාර්ගය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අද පස්වරුවේ කැළණිය විශ්වවිද්‍යාලයේදී රැස්වුණා. පස්වරු දෙකට ආරම්භ කළ මෙම හමුව පැය 3 කට ආසන්න කාලයක් පැවතියා.
මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම්ගතවී ඇති බැවින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම සලකා බැලිය නොහැකි බවයි කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට අද එක්වෙමින් ප‍්‍රකාශ කළේ.
මේ අතර උසස් පෙළ පිළිතුරු පත‍්‍ර ඇගයීම් ප‍්‍රමාදවීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව, විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපතිවරයා අද එහි කැඳවා තිබුණා.
එහිදී විභාග කොමසාරිස්වරයා පෙන්වා දුන්නේ උසස් පෙළ විභාගයේ ප‍්‍රශ්න පත‍්‍ර සකස් කිරීමේ සිට පිළිතුරු පත‍්‍ර ඇගයීම් අවසාන වනතෙක් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ දායකත්වය මත එහි ගුණාත්මකභාවය පවත්වාගෙන යන බවයි. ඒ සදහා ආචාර්යවරුන් පෞද්ගලික මට්ටමින් දායක වන බව ද ඔහු සඳහන් කර තිබුණා.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සම්මේලනයේ සභාපතිවරයා එහිදී කියා සිටියේ බදු පිළිබ`ද ගැටලූවට විසදුමක් නොලැබීම හේතුවෙන් ඇගයීම් කටයුතුවලින් ඉවත්වීමට තම සම්මේලනය තීරණය කළ බවයි.
කෙසේ වෙතත් ආචාර්යවරුන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ කමිටුවක් පත් කර සාකච්ඡා කළ යුතු බවයි එහිදී මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනි විනිසුරු රෝහිණී මාරසිංහ සඳහන් කළේ.
එසේම ඇය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සම්මේලනයේ සභාපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ පිළිතුරු පත‍්‍ර ඇගයීමේ කටයුතුවලින් මෙම අවස්ථාවේ ඉවත් නොවී තම ඉල්ලීම දිනාගැනීමේ ක‍්‍රියාමාර්ගය උසස් පෙළ පිළිතුරු ඇගයීම් අවසාන වනතෙක් කල්දමන ලෙසයි.