
ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ජුලි මස 05 වනදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.
ඒ, මෙම පෙත්සම අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප‍්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.
ශ‍්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු වන චන්ද්‍රා ජයරත්න, පිහිනුම් ශූරයෙකු වන ජූලියන් බෝලිං ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම ගොනුකර තිබෙනවා.
මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂට අමතරව මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ අමාත්‍ය අලි සබ්රි, හිටපු මහබැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඞ් කබ්රාල්, මහාචාර්ය ඩබ්ලිව්.ඞී.ලක්ෂ්මන්, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහයි.
එහිදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර කියා සිටියේ ආර්ථික අර්බුදය ඇතිවීමට අදාළවන කාලයේ මහබැංකුව යටතේ ඇති දෙපාර්තමේන්තු නිලධාරින් විසින් හිටපු අධිපතිවරුන් වන අජිත් නිවාඞ් කබ්රාල් සහ මහචාර්ය ඩබ්ලිව්.ඞී.ලක්ෂ්මන් වෙත ඉදිරිපත් කළ ලේඛන මේ දක්වා අධිකරණයට ලැබී නොමැති බවයි.
කෙසේ වෙතත්, අධිකරණය විසින් නියෝග කර ඇති ලේඛන සියල්ල දැනටමත් ඉදිරිපත් කර ඇති බව මුදල් මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා සඳහන් කළා.
ඒ අනුව අවශ්‍ය ලේඛන කුමක්දැයි මහබැංකු අධිපතිවරයා දැනුවත් කර ඒවා අධිකරණයට කැඳවීමට කටයුතු කරන ලෙසයි විනිසුරු මඩුල්ල පෙත්සම්කරුවන්ට නියෝග කළේ.