
කොළඹ කොටුව ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, අරලියගහ මන්දිරය සහ අගමැති ලේකම් කාර්යාලය ඇතුළු ඓතිහාසික වටිනාමක් සහිත කොළඹ ගොඩනැගිලි කිහිපයක් සංචාරක ප‍්‍රවර්ධනය සහ වෙනත් කටයුතු සඳහා යොදාගැනීම සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.
නාගරික සංවර්ධන අධිකාරිය සඳහන් කළේ මෙලෙස සංචාරක ප‍්‍රවර්ධනය සහ අනෙකුත් කටයුතු සඳහා යොදා ගැනීමට නියමිත මෙම ගොඩනැගිලි වෙනුවට නව ගොඩනැගිලි ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ කේන්ද්‍රකරගනිමින් ඉදිකිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බවයි.
ශ‍්‍රී ලංකාවේ වාණිජ අගනගරය ලෙස හා ආර්ථික මරමස්ථාන රැසක් පිහිටි නගරය මෙන්ම දේශපාලන හා සාමාජීය වශයෙන්ද වැදගත් නගරය වන්නේ කොළඹයි. ඒ අනුව කොළඹ කොටුව ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, අරලියගහ මන්දිරය සහ අගමැති ලේකම් කාර්යාලය ඇතුළු ඓතිහාසික වටිනාකමක් සහිත ගොඩනැගිලි රැසක් කොළඹ කේන්ද්‍ර කරගනිමින් ඉදිකර තිබෙනවා.
කොළඹට කේන්ද්‍රගතව ඇති පරිපාලන නගරය, ශ‍්‍රී ලංකාවේ අග නගරය වන ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ වෙත රැගෙන යාම කෙරෙහි 1978 වසරේ සිට විවිධ අවස්ථාවලදී යෝජනා ඉදිරිපත් කෙරුණා.
එම යෝජනාව මේ වන විට යළිත් කරලියට පැමිණ තිබෙනවා. ඒ අනුව කොළඹ කොටුව ජනාධිපති මන්දිරය, අග‍්‍රාමාත්‍ය නිල නිවස හෙවත් අරලියගහ මන්දිරය ජනාධිපති ලේකම් කාර්යාලය මෙන්ම අග‍්‍රාමාත්‍ය කාර්යාලය ඇතුළු තවත් ගොඩනැගිලි කිහිපයක් ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ වෙත රැගෙන යාමටයි යෝජනා වී ඇත්තේ.
ඒ සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධිකාරිය විධිමත් සොයබැලීමක් සිදුකර ඊට අදාළ වාර්තාවක්ද ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ වෙත ලබාදීමට නියමිත බවයි එම අධිකාරියේ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ. කොළඹ උරුම නගරය ව්‍යාපෘතිය යටතේ මෙම සංවර්ධන වැඩපිළිවෙල සිදුකෙරෙනවා.