ශ‍්‍රී ලංකාවට ණය ආපසු ගෙවීම සඳහා වසර 12 ක් දක්වා කාලයක් ලබාදීමට ඉන්දියාව සැළසුම් කර තිබෙනවා. ඉන්දීය අපනයන ණය ඇපකර සමාගමේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ එම්. සෙන්තිල් නාදන් මේ බව සඳහන් කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
ශ‍්‍රී ලංකාව මුහුණදී ඇති මූල්‍ය අර්බුදයට සහනයක් වන පරිදි එම පියවර ගන්නා බව ඔහු සඳහන් කර තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ‍්‍රී ලංකාව මේ වනවිට සාකච්ඡා පවත්වමින් සිටිනවා. ප‍්‍රතිව්‍යූහගත කිරීමේ පැකේජය පැමිණි පසු ඇතැම් විට වසර තුන හතරක කාලසීමාවක් තුල ලැබීමට නියමිත මුදල් පියවීම සදහා වසර 10 ත් 12 ත් දක්වා කාලයක් ලබාදෙනු ඇති බවයි ඉන්දීය අපනයන ණය ඇපකර සමාගමේ සභාපතිවරයා සඳහන් කළේ.
ශ‍්‍රී ලංකාවේ අර්බුදය ඉන්දියාවේ අපනයනකරුවන්ට ද බලපෑම් එල්ල කර ඇති බව සඳහන් කළ ඉන්දීය අපනයන ණය ඇපකර සමාගමේ සභාපතිවරයා, ඉන්දීය ජාතික අපනයන රක්ෂණ ගිණුම වෙත ශ‍්‍රී ලංකාව, සැම්බියාව, සුරිනාම් සහ ඝානාව වැනි රටවල් සමග ගණුදෙනු කිරීම හේතුවෙන් ණය ගෙවීමට අපොහොසත් වූ ව්‍යාපාරිකයන්ගෙන් ඉන්දීය රුපියල් කෝටි 4500ක වන්දි ඉල්ලූම්පත් මේ වනවිට ලැබී ඇති බව සඳහන් කළා.