/
/
title icon දිළිඳුකමේ අරගලය පිටුදැකීමේ වගකීම කාගේද ?
දිළිඳුකමේ අරගලය පිටුදැකීමේ වගකීම කාගේද ?
Sewwandi Ranasinghe
4 months ago
Share:
දිළිඳුකමේ අරගලය පිටුදැකීමේ වගකීම කාගේද ?

තුන්වන ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටවල් අතුරින් ශ්‍රී ලංකාව අදටත් විරැකියාව හා දුප්පත්කම ප්‍රමුඛ කොටගෙන පැන නැගී ඇති බොහෝ සමාජ ආර්ථික ප්‍රශ්න රැසකට මුහුණපාමින් සිටියි. ආදායම බෙදී යාමේ විෂමතාවය වැනි ප්‍රමුඛ  සාධක හේතු කර ගනිමින් සමාජය තුළ දුප්පත්කම පැතිරී ගොස් තිබේ. ජීවත්වීම සදහා අවශ්‍ය මූලික අවශ්‍යතාවයන් සපුරා ගැනීමට නොහැකි වීමට දුප්පත්කම හේතු වන්නා වූ අතර සමාජ සාධාරණත්වය ලබා ගැනීමේ අපහසුතාවයන්ද ඇති කරනු ලබයි.

දුප්පත්කම ප්‍රධාන වශයෙන් ආකාර කිහිපයක් යටතේ අපට හදුනාගත හැකිය. 

උපතින්ම ලද දෙයක් නොමැතිකමින් දුප්පත්ව සිටින පිරිස 

තමන් විසින් උපයාගත් දේ ක්‍රමානුකූලව වියදම් නොකිරීම නිසා මහළු වියේදී දුප්පත්ව සිටින පිරිස 

ආබාධිත හෙයින් සදාකාලිකව දුප්පත්ව සිටින පිරිස 

යමක් ඉපැයීමේ පරමාර්ථයෙන් තොරව දුප්පත්කමින්ම ජීවත්වන පිරිස

පෝෂණ තත්වය මනිනු ලබන මිනුමක් වන්නේ දුප්පත්කමයි. එයට කදිම නිදසුන වන්නේ මන්දපෝෂණය හා දුප්පත්කම අතර පවතින සහසම්බන්ධතාවයයි. මන්ද මන්දපෝෂණයෙන් පෙලෙන  බොහෝ ළමුන් හමුවන්නේ දුප්පත් පවුල් මුල්කරගෙනය.

දුප්පත්කම ග්‍රාමීයව මෙන්ම නාගරිකව ද දැකගත හැකි අතර පවතින සංඛ්‍යා ලේඛන පරිශීලණය කිරීමේදී පෙනී යන්නේ දුප්පත්කම වැඩි වශයෙන් ග්‍රාමීය ප්‍රදේශ තුළ දක්නට ලැබෙන බවයි. බොහෝවිට නාගරික දුප්පතුන් බිහි  වී ඇත්තේ ගමින් නගරයට පැමිණි පිරිස මුල් කරගෙනය. රැකියා සොයා නගරයට පැමිණෙන මෙම පිරිස අඩු වැටුපකට වැඩ කරති. ඔවුන් නුපුහුණු ශ්‍රමිකයින් වන අතර ඔවුන්ගේ රැකියාවන් තාවකාලිකය.

දිළිඳුකම පිටු දැකීමේ අරමුණින් විවිධ කාලවකවානුවවලදී විවිධ රජයන් මගින් නොයෙකුත් උත්සහයන් දරා තිබේ. 
1950 දශකයේ ඉදිරිපත් කළ දස අවුරුදු සැලැස්ම , 1970 දශකයේ ඉදිරිපත් කළ පස් අවුරුදු සැලැස්ම , 1980 දශකයේ ඉදිරිපත් කළ ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන හා එම දශකයේ අගභාගයේදී ඉදිරිපත් කළ ජන සවිය වැඩසටහන මේ සදහා ගත් පියවරයන් වේ. 1994 දී නව රජය මගින් දුප්පත්කම තුරන් කරලීම සදහා ඉදිරිපත් කරන ලද ජාතික වැඩසටහන වූයේ සමෘද්ධි වැඩසටහනයි.

මෙම වැඩසටහන අරමුණු කිහිපයක් මූලික කර ගනිමින් ක්‍රියාත්මක විය. ඒ අතර  තරුණයින් අතර බලවත්ම ප්‍රශ්නය වන විරැකියාවට විසදුමක් ලබා දීම, දුප්පත්කම රටින් තුරන් කරලීම, තරුණ තරුණයන් රටේ සංවර්ධනයට ඍජුවම සහභාගී කරවා ගැනීම, ග්‍රාමීය ජනතාවගේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම , ග්‍රාමීය ජනතාව තුළ සෞඛ්‍ය හා පෝෂණ තත්ත්වය ඉහළ දැමීම හා ඔවුන් අතර ස්වයං රැකියා සදහා ප්‍රවේශ වීමට අවස්ථාව වැඩි කරලීම වැනි අරමුණු මූලික වී ඇත.

මෙම වැඩසටහන තුළ සමාජ ආරක්ෂණ වැඩසටහනක් ද ක්‍රියාත්මක කරයි. දිළිදු පවුල් තම පවුල්වල ඇතිවන විවිධ අවස්ථා උදාහරණ ලෙස මරණ, උග්‍ර අසනීප හා විවාහ සදහා අත්‍යවශයෙන් මුදල් වියදම් කරති. මේ සදහා බොහෝ විට ණය මුදල් ලබා ගැනීම සුලභව දක්නට ලැබේ. මේ නිසා දිළින්දන් දිළිඳුකමේ සිට අසරණ තත්ත්වයට පත්වීමක් සිදු වේ. එවැනි අවස්ථාවලදී ඔවුන්ට පිහිට වීම සදහා සමාජ ආරක්ෂණ වැඩසටහන් අරඹා ඇත.

ඊට අමතරව සමාජ ආරක්ෂණ අරමුදල යටතේ ක්‍රියාත්මක කෙරෙන වෙනත්  වැඩසටහන් ලෙස අධ්‍යාපනික වැඩසටහන් , පාසල් උපකරණ හා අභ්‍යාස පොත් ලබා දීම, චිත්‍ර , පෝස්ටර් , කථික තරග, විශේෂ ශිෂ්‍යයාධාර , නව නිර්මාණකරුවන්  දිරි ගැන්වීම, පෝෂණ හා සෞඛ්‍ය වැඩසටහන් , ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති හදුනාගත හැකිය.

වර්තමානයේ  ක්‍රියාත්මක ප්‍රතිපත්තියක් වන්නේ  අස්වැසුම ප්‍රතිලාභ දීමනාවයි. අස්වැසුම යනු ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නව  සමාජ ආරක්ෂණ වැඩසටහනකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශයක් පරිදි ආර්ථිකය අතින් අවදානම් සහගත තත්ත්වයක සිටින පුද්ගලයින් වෙනුවෙන් සමාජ ආරක්ෂණ වැඩ පිලිවෙළක් සකස් කිරීමේ එක් පියවරක් ලෙස මුදල් ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශයේ සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් අස්වැසුම ප්‍රතිලාභය හදුන්වා දී  තිබේ.

2002 අංක 24 දරණ සුබසාධක ප්‍රතිලාභ පනතේ විධි විධාන යටතේ 2022 ඔක්තෝබර් මස 20 දිනැතිව අංක 2302/23 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මගින් පල කරනු ලැබූ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලද 2022 අංක 1 දරණ සුභසාධක ප්‍රතිලාභ ගෙවීමේ නියෝග සංශෝධනය කරමින් පැන වූ 2022 දෙසැම්බර් 15 දිනැති අංක 2310/30 දරණ අති විශේෂ ගැසට් පත්‍රය අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

අස්වැසුම යටතේ සංක්‍රාන්තික, අවදානමට ලක් වූ , දුප්පත් සහ අන්ත දිළිදු නමැති සමාජ කණ්ඩායම් හතර ප්‍රතිලාභ ලබන අතර ආබාධිත ,වැඩිහිටි හා වකුගඩු දීමනාවන් සුපුරුදු පරිදි ලබා දෙනු ලබයි.

දිළිඳුකම පිටුදැකීමේ වගකීම රටක් පාලනය කරන රජයක වගකිමක් මෙන්ම ඒ වෙනුවෙන් දුගී ජනතාව තුළ ද දුගීකමින් මිදීමේ අරමුණක් තිබිය යුතුය. වත්මන්   ජන සමජය තුළ දක්නට ලැබෙන සුලභ ලක්ෂණයක් වන්නේ තවමත් යැපෙන්නන්  පිරිසක් ජීවත් වෙන බවයි.  ඇතැමුන් රජයේ ආධාර මත යැපෙන අතර සමාජ සුබසාධනය මතම තම ජීවිකාව පවත්වාගෙන යාමට උත්සහ දරති.

ඇතැම් පිරිස් මාසිකව ලබන දිරි දීමනාවන් දෛනික ජීවිතයේ ආහාරපාන , ඇදුම් පැළදුම් , වාසස්ථාන  යනාදී මූලික අවශ්‍යතාවයන් ඉටු කර ගැනීම වෙනුවෙන් විය හියදම් කරති. ඇතැමුන් තම ස්වයං රැකියා කටයුතු සවිබල ගන්වා ගැනීම වෙනුවෙන් යොදවති. තවත් පිරිසක් අනාගත අපේක්ෂාවන් මුදුන් පමුණවා ගැනීම වෙනුවෙන් භාවිතා කරති. 
එබැවින් අඛණ්ඩව ලැබෙන දීමනාවන්හි වෙනසක් හෝ පමාවක් සිදු වූ සැනින් මිනිසුන් ව්‍යාකූල වෙති. ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙති. පසුගිය  කාලයේදී සිදු වූ ඇතැම් සිදුවීම් මේ සදහා නිදසුන් සපයයි.

රටේ ආර්ථික නිෂ්පාදන ක්‍රියාවලියට දුගී ජනතාව සහභාගී කරවා ගැනීමෙන් දිළිඳුකම නැති කරගත හැකිය. දුගී ජනයාගේ ද වගකීම වන්නේ තම ආර්ථිකය නගා සිටුවා ගැනීම වෙනුවෙන් කැපවීමයි. එබැවින් දිළිඳුකම පිටුදැකීම පාලක පාර්ශ්වයේ පමණක් නොව පාලිත පාර්ශ්වයේ ද වගකීමකි.

උත්තරීතර ජීවියෙකු වන මානවයා උපතත් සමග ලෝකයට රැගෙන එන්නක් නොමැත. හිස් අතින් පැමිණ තම තමන්ගේ උනන්දුව උත්සහය මත ධනය ඒකරාශි කරගනී. දිළිඳුකමට ප්‍රධාන හේතුවක් වන්නේ මානවයාගේ ගතානුගතික බවයි. වෙනස්වන ලෝකයත් සමග වෙනස්වෙමින් තම ජීවන  අරගලය සමග තරග කිරීමට බොහෝ දෙනා මැලි වෙති. කෙසේ වෙතත් දිළිඳුකම පිටුදැකීමේ අරගලයේ මූලික භූමිකාවන් දෙක රග දැක්විය යුත්තේ රටක බලයට පත්වන රජයක් සහ දිළිඳුකමින් පීඩා විදින ජනතාවයි.

 

සෙව්වන්දි රණසිංහ  

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required