/
/
title icon සර්ව සම්පූර්ණත්වයේ ස්වයං තක්සේරුව
සර්ව සම්පූර්ණත්වයේ ස්වයං තක්සේරුව
Sewwandi Ranasinghe
4 months ago
Share:
සර්ව සම්පූර්ණත්වයේ ස්වයං තක්සේරුව

මා උගතා මා ජගතා මා හපනා යැයි කීමට සෑමවිටම මානවයා අති දක්ෂය. විටෙක තමා තරම් සාර්ථකත්වයෙකු  මෙලොව නැති තරම් සිතීමට පවා අධිමානයෙන් යුතුව ජීවත්වන පුද්ගලයින් ද මේ සමාජය තුළ නැතුවාම නොවේ. ජීවිතයම සර්ව සම්පූර්ණ යැයි යන හැගීමෙන් ජීවත් වන්නෝ ද නැතුවාම නොවේ. මා කිසිවිටෙකත් එවන් ස්වයං තක්සේරුව කෙරෙහි අභියෝග එල්ල නොකරමි. එමෙන්ම  එවන් පුද්ගලයින් කෙරෙහි අවතක්සේරුවෙන් ද නොබලති. ඒ මන්ද විටෙක පුද්ගලයෙකුට තමා සර්ව සම්පූර්ණ යැයි යන හැගීම ඇතිව ජීවත් වීම අනාගතයට හොද අභිප්‍රේරණයක් වීමට ඉඩ ඇත. 

මෙලොව සිටින ජීවීන් අතුරින් මානවයා වූ කලී වෙනස්ම අමුතු ජීවියෙකි. එසේ පැවසීමට මුඛ්‍ය හේතුව වන්නේ මානවයා නිරන්තරයෙන් ම වෙනස්වීම්වලට මුහුණ දෙමින් ඉදිරියට යයි.  එකී වෙනස්වීම්හි අරුථ ලෙසින් දකිනුයේ සර්ව සම්පූර්ණත්වය ළගා කර ගැනීමයි. සර්ව සම්පූර්ණත්වය යනුවෙන් හදුන්වනු ලබන්නේ පුද්ගලයෙකුට තමන් සෑම ආකාරයකින්ම  සර්ව සම්පූර්ණ යැයි දැනෙන හැගීම වේ. 

සමාජය තුළ ජීවත් වන මානව කොට්ඨාස දෙකක් මූලික වශයෙන් අපට හදුනාගත හැකිය. එනම්, 


තමා සර්ව සම්පූර්ණ වී ඇතැයි යන හැගීමෙන් ජීවත් වන පිරිස 


තමා සර්ව සම්පූර්ණ වී නැතැයි යන හැගීමෙන් ජීවත් වන පිරිස 

මෙහිදී පළමු කොට්ඨාසය තුළ විවිධ ගතිලක්ෂණ පෙන්නුම් කරන ආකාරය අනුව තවත් බෙදීමකට ලක් කළ හැකිය. 

ඇතැම් පුද්ගලයින් සත්‍ය වශයෙන්ම කුමන හෝ ආකාරයකින් සර්ව සම්පූර්ණත්වය ළගා කරගත් පිරිසක් වෙති. 

තවත් පිරිසක් තමන් සර්ව සම්පූර්ණ යැයි හැගෙන අධිමානයකින් යුතුව ජීවත් වෙති. 

මෙහි දෙවන කොට්ඨාසය ද ගතිලක්ෂණ අනුව බෙදීමකට ලක් කළ හැකිය. 

තමා සර්ව සම්පූර්ණ නැතැයි යන හැගීම හොදින් තේරුම් ගෙන ජිවත්වන පිරිස 

තමා සර්ව සම්පූර්ණ නැතැයි යන හැගීම් ඇතිව කනස්සල්ලෙන් යුතුව ජීවත්වන පිරිස 

සර්ව සම්පූර්ණත්වය යනුවෙන් සාමාන්‍යයෙන් අදහස් කරනු ලබන්නේ පුද්ගලයෙකු සතුව ජීවත් වීමට අවශ්‍ය ධනය , බලය , ශ්‍රමය , ගතිපැවතුම් , සිරිත්විරිත් , අචාරධර්ම , සාරධර්ම යනාදී අංගයන්ගෙන් පරිපූර්ණත්වයට පත් වී තිබීමයි. නමුදු අප කල්පනා කළ යුතු කරුණක් වන්නේ මෙලොව සර්ව සම්පූර්ණ යැයි පැවසීමට එක් හෝ පුද්ගලයෙකු හෝ සිටී ද යන්නයි. ධනය ඇති පුද්ගලයාට බලය හිමි විය හැකිය. නමුත් ධනය බලය සියල්ල හිමි පුද්ගලයාට යහපත් ගතිලක්ෂණ නොතිබිය හැකිය. ධනය , බලය , යහපත් ගතිපැවතුම් පුද්ගලායෙන් පුද්ගලයාට සාපෙක්වෂව පවතී. එනම් සර්ව සම්පූර්ණ යැයි පැවසීමට මෙලොව කිසිවෙකු සිටිනු නැතැයි මාගේ තර්කය වනු ඇත. 

පුද්ගලයෙකු සර්ව සම්පූර්ණ විය යුත්තේ ධනය බලය අතින් පමණක් නොව ගතිගුණ හා යහපත් පැවතුම් සිරිත් විරිත් අතින් ද සර්ව සම්පූර්ණ විය යුතුය. 

ඇතැම් පුද්ගලයින් තමන්ගේ සර්ව සම්පූර්ණත්වය තමන් විසින්ම තක්සේරු කරගන්නා අතර ඇතැම්හු අනෙකාගේ සර්ව සම්පූර්ණත්වය කෙරෙහි විවේචන එල්ල කරමින් ඇගිලි ගැසීමට තරම් පහත් සිතුවිලිවලින් යුක්ත වෙති. සර්ව සම්පූර්ණත්වයේ ස්වයං තක්සේරුව සිදු කළ හැකි නම් එම පුද්ගලයාට නිසැකවම ඉදිරි ගමන් මාර්ගය අවහිර නොවනු ඇත. තමා පිළිබඳ ස්වයං තක්සේරුවක් තමා විසින්ම සිදු කර ගැනීම ඉතා අගනේය. අනුන් කෙරෙහි සර්ව සම්පූර්ණ බව සොයා ඇගුලි දිගු කරනවාට වඩා එය සැබැවින්ම යහපතට හේතු වන්නකි. 

මෙම ලිපිය කියවන ඔබ හා මම තේරුම් ගත යුතු කාරණය වන්නේ අප කිසිවෙකු සර්ව සම්පූර්ණ මිනිසුන් නොවනු ඇත. එසේ පැවසීමට හේතුව වන්නේ සර්ව සම්පූර්ණ වීමට තරම් අප කිසිවෙකුටත් කිසිවක් නොමැති වීමයි. 

ස්වයං තක්සේරුව යනුවෙන් හදුන්වනු ලබන්නේ තමා පිළිබදව තමා විසින්ම තක්සේරුවක යෙදීමයි. අප අප කෙරෙහි ස්වයං තක්සේරුවක යෙදෙන්නේ නම් පිටස්තර සමාජයෙන් එල්ලවන අභියෝග මැඩ පවත්වා ගැනීම ලෙහෙසි පහසු කටයුත්තකි. පුද්ගලයෙකුට තමා තමා ලෙසින් දක්නට හැකිවනුයේ එවිටය. නැතිනම් අප අපව දකිනුයේ වෙනත් අයෙකුගේ දෘෂ්ටිකෝණ මානයකිනි. 

සමාජය තුළ මුල්බැසගත් කාරණා කිහිපයකි. එනම් , පොහොසතා සර්ව සම්පූර්ණ යැයි සිතති. දුප්පතා සර්ව සම්පූර්ණ නැතැයි යන්න සිතති. මුදල් අතින් සර්ව සම්පූර්ණ වුවද පොහොසතා ද හිස්තැන් ඇතිව විටෙක ජීවත් වෙති. එමගින් මාගේ අදහස වන්නේ සර්ව සම්පූර්ණයත්වයේ අංග දෙපාර්ශ්වය අතර හුවමාරු වන බවයි. එක් පාර්ශ්වයක් ඇතැම් කාරණා වෙනුවෙන් සර්ව සම්පූර්ණත්වය උපරිමයෙන් ම ළගා කරගන්නා විට තවත් පාර්ශ්වයක් ඇතැම් කාරණාවන්හි සර්ව සම්පූර්ණත්වය වෙනුවෙන් පොර බදිති. එබැවින් සර්ව සම්පූර්ණත්වයෙහි අංග එක් එක් පුද්ගලයා අත දෝලනය වෙමින් ඉදිරියට යන්නා වූ සමාජ ක්‍රියාවලියකි. ඇතැම්විට කාලානුරූපීව යම් තත්වයකින් සර්ව සම්පූර්ණ වූ මිනිසෙකු  තවත් විටෙක ජීවිතයේ පහළටම ඇද වැටෙනු ඇත. කෙසේ හෝ මේ සියල්ල තමා වටා ඒකරාශි කර ගැනීමට හැකි වූ පුද්ගලයාට සර්ව සම්පූර්ණ යැයි ප්‍රකාශ කිරීම විටෙක වරදක්ම නොවනු ඇත.

 සෙව්වන්දි රණසිංහ  

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required