/
/
title icon අහෝසි කර්මයත් ඔක්සිජන්වලට පරාදයි ද ????
අහෝසි කර්මයත් ඔක්සිජන්වලට පරාදයි ද ????
Sewwandi Ranasinghe
3 months ago
Share:
අහෝසි කර්මයත් ඔක්සිජන්වලට පරාදයි ද ????

මේ දිනවල සමාජ මාධ්‍ය පුරාවට කතාබහට ලක් වන්නේ හදිසි රිය අනතුරකින් මියගිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පිළිබදවය. අධීවේගී මාර්ගයකදී රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ මෙම මන්ත්‍රීවරයාගේ  මරණයේ පණිවිඩයත් සමග මිනිසුන්ගේ පරණ මතකයන් යලි ඇවිස්සුනා ද යන්න සැකයක් නැත. එය එසේමය... මා අධ්‍යයන කාලසීමාව පසු කරන අවධියේ මගේ නෙත ගැටුනු එක් සිදුවීමක් වන්නේ මන්ත්‍රීවරයකුගේ නොමනා අදහස් කිහිපයක්  මුල් කර ගනිමින් සමාජය තුළ ව්‍යාකූලභාවයක් නිර්මාණය වීමත් සමග හටගත් සිදුවීමකි. මෙම සිදුවීම පිළිබදව මා තව දුරටත් කතාබහට ලක් කිරීමට උත්සහ දරනු නොමැත. මේ දිනවල බාල මහලු භේදයකින් තොරව මෙම සිදුවීම පුනර්ජනනීය වෙමින් පවතී. 

මිනිසෙකුගේ මියයාමත් සමග ඔහුගේ ගුණ වර්ණනා කිරීම සාමාන්‍ය සිරිතය. මේ සිදුවීමත් සමග මගේ මතකයට එන්නේ එදා අ.පො.ස. උසස්පෙළ කෙටි කතා සංග්‍රහයේ සිටී සත් ගුණවත් සාමෙල් පිළිබදව ය. ඔහු හොරෙන් පොල් කැඩීමට ගොස් පොල්ගසෙන් වැටී මියගියත් ඔහුගේ මරණ දින හරි අපුරූවට ඔහුව වර්ණනා විය. එදා කතා පොතේ ජීවත් වූ සමාජයේ  මිනිසුන් හා අද වන විට සමාජයේ ජීවත් වන මිනිසුන් පිළිබදව මා දකින්නේ පරස්පර භාවයකින් යුතුව ජීවත්වන මානව දෙපිරිසක් ලෙසයි. එදා කතා පොතේ කෙටිකතාකරු නිර්මාණය කළ  සමාජයක නොවේ මා අද ජීවත් වන්නේ. එදා ඒ කෙටි කතාකරු මැවූ සමාජයයි අද මා දකින සමාජයයි  අතර ඇත්තේ සැබැවින්ම  පරස්පර විරෝධී බවකි. වෙනස් වී ඇත්තේ කාලය පමණක් නොව මිනිසුන්ගේ සිතුවිලි ගතිපැවතුම් ගතිලක්ෂණ හැගීම් දැනීම් ය. අද වන විට විෂම වූ සමාජයක් නිර්මාණය වී ඇත. 

මිනිස් ස්වාභවය නම් මිනිසෙකු මිය ගිය පසු ඔහුගේ හොද නරක ගුණ දොස් විවේචනය කිරීමය.එය කාටත් පොදු ලක්ෂණයකි. නමුත් සාමාන්‍යයෙන් පොදුවේ සිදු වන්නේ මිනිසෙකුගේ මියයාමත් සමග නරක අගුණ යටපත් වී හොද ගුණ ඉස්මතු විමයි. එය එලෙස සිදු නොවේ නම් මළගෙදරකට කුමට ද ගුණ කථන වාරයන්. 

අප ජීවත් වන්නේ තාවකාලිකව අරක්ගත් සමාජයකය. අප කිසිවෙකු සදාකාලිකවම මෙලොව ජීවත් වීමට බලාපොරොත්තුවෙන් මෙලොව එළිය දුටුවා නොවේ. අපද දිනක මේ මහපොලොවට පස් වෙනු නියතය. එය හොදින් මතක තබාගෙන ජීවත් වීම ඉතා අගනේය. එදා සිටි සාමෙල්ලා අදත් සමාජය තුළ නැතුවාම නොවේ. මියගිය පසු ගුණ දොස් විවේචනය කළා කියා මැරුණු මිනිසාට එය ඇසෙනු ඇති ද???? එය තාත්ත්විකව සිදු වන්නක් ද?? අපගේ කාලය සහ ශ්‍රමය හිස් වචන ගොඩක් අස්සේ අප නිකරුණේ නාස්ති කරවීමක් නොවේද මේ අප සිදු කරන්නේ.. 

මා කිසිවෙකුගේ ගුණ දොස් වැයීමට මෙය රුකුලක් කර ගන්නේ නැත. එමෙන්ම කිසිවක් සාධාරණීයකරණය කිරීමට උත්සහ ගන්නේ ද නැත. මන්ද මට අනෙකාගේ ගුණ දොස් වලින් පලක් නැත. මියගිය අයෙකුට අප කරන ගුණ දොස් නොඇසෙනු ඇත. තවද මනුස්සයෙකුගේ අකල් මරණයක් ඉදිරියේ ඔහුගේ ගුණ දොස් වයා ඔහු වටා  ජීවත් ව සිටින මිනිසුන් පණ පිටින් මරා දැමීමට තරම් මා සාහසික නොවනු නැත. 

මිනිස් ස්වරූපය මවන විට එක් කටක් දී ඇස් දෙකක් හා කන් දෙකකින් යුක්තව මිනිස් ශරීරය මවා තිබුණ ද මිනිසුන් සිදු කරන්නේම වැඩිපුර අසනවා බලනවා වෙනුවට නිශ්ඵල වචන කතා කිරීම පමණයි. වචන පිට වචන උච්චාරණය කරමින් තොර තෝංචියක් නොමැතිව කතා කිරීමට මිනිසුන් දැන් පුරුදුව සිටිති. තමා විසින්ම පවසන එක් වචනයක් පෙරළා තමා වෙතම කැරකී ආපසු එනු ඇත. කට නිසා මාලුවා නහී කියන පිරුළත් හොදින් මතක තියාගෙන ජීවත් වීම අප කාටත් ඉතා අගනේය. 

මාගේ තර්කය වන්නේ සිදු වූ දෙය සිදු වී හමාරය. සිත්වල පැල් පදියන් බැදන් දිගිම් දිගටම පරණ මතකයන් අවුස්සමින් ඉදිරියට රැගෙන යාම අප කාටත් පලක් වේද. එය එසේ සිදු කළා යැයි අපට කුමක් ලැබෙනු ඇතිද... බීරී අලින්‍ට වීණා වයා පලක් නැත. අප සමාජය තුළ මොනයම් මතයක් නිර්මාණය කළ ද අසත්පුරුෂ  පාලකයින්ගේ අසත්පුරුෂ ගතිපැවතුම් අපට වෙනස් කළ නොහැකිය. අප මෙලෙස ගැරහුම් සිදු කරන විට සිදු වන්නේ සත්පුරුෂ ගතිපැවතුම් ඇති පාලකයින්ගේ ද සිත් රිදවීමකි. තේරුම් ගත යුතු කරුණ  නම් අප තේරුම් ගත යුතු නැත. තේරුම් ගත යුත්තේ පාලකයින් ය. ඔවුන් ජීවත් විය යුත්තේ කෙසේද ‍යන්න ඔවුන්ට තීරණය කිරීමට මෙම සිදුවීම හොද රුකුලක් ය. අප සිදු කිරීමට උත්සහ දරන්නේ බලෙන් ඒත්තු ගැන්වීමක් ය. ඉතින් පලක් තිබේද. අපගේ කාලය හා ශ්‍රමය කා දැමීමක් නොවේද. 

උතුම් වු බුදු දහමට අනුව මා දන්නා එක් කාරණාවකි.අප කළ හොඳ නරක පව් පිං ගොනා හා බැදි කරත්තය මෙන් අප පසුපස එනු නියත‍ය. දිට්ඨධම්මවේදනීය කර්ම ලෙසින් ඒවා පල දෙනු ඇත. ඉතින් එය ඔබටත් මටත් පොදුය. නිහඬව බලා සිටීම හැර වෛරීසහගත අදහස් පතුරවමින් ජීවත් වීමට අප උත්සහ ගන්නේ නම් අප ද නොදැනුවත්වම අකුසල් රැස් කරගනියි. 

මදකට සිතා බලන්න. හෙට ඔබේ මරණය. නැතිනම් මගේ මරණය. එවිට අපගේ සමීපතයින් හඩා වැලපෙනු ඇත. ඔවුන් කෙරෙහි අපට සානුකම්පිතව බැලීමට නොහැකි තරම් අප සාහසික වුවහොත් අසත්පුරුෂව ජීවත්වන පුද්ගලයින්ගේ සම මට්ටමටම අපද වැටෙනු ඇත. ඒ දේ ඔහුට අද වූයේ නම් හෙට මට යැයි යන හැගීමෙන් යුතුව ජීවත් වීමට පුරුදු වන්නේ නම් අප අනුන්ගේ දුකේදී සැපේදී ඇගිලි ගැසීමට තරම් උන්මත්තකයින් නොවනු ඇත. 

සෙව්වන්දි රණසිංහ 
 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required