/
/
title icon ෆේස්බුක් සුදු කොඩිය
ෆේස්බුක් සුදු කොඩිය
Sewwandi Ranasinghe
1 month ago
Share:
ෆේස්බුක් සුදු කොඩිය

සන්නිවේදනය වූ කලී අත්‍යවශ්‍ය මානවීය ක්‍රියාවලියකි. පුද්ගල අන්තර් සම්බන්ධතා ගොඩ නගා ගැනීම සඳහා සෑම පුද්ගලයෙකුටම සන්නිවේදනය අත්‍යවශ්‍ය වේ. සන්නිවේදනය යන්නෙහි සරල අර්ථය වන්නේ හැගීම්, දැනීම්, අදහස් සහ දැනුම යනාදිය හුවමාරු කර ගැනීමයි. සන්නිවේදන ඉතිහාසය දෙස බලන කල්හි මානවයා ආරම්භයේදී තම අදහස් හා තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා විවිධ සංඥා සංකේත භාවිතා කර තිබේ. ප්‍රාථමික සමාජවල විසූ මිනිසුන්  විවිධ වූ අර්ථ නිරූපණයන් සඳහා සංඥා  සංකේත භාවිතා කර තිබේ. 

අතීතයේ දී පමණක් නොව වර්තමානයේදී ද සන්නිවේදන උපක්‍රමයක් ලෙස සංඥා සංකේත භාවිතා කරයි. වර්ණ, හැඩතල , රටාවන්,  හඬ ,ශබ්දය, උපකරණ හා ඇදුම් පැළදුම් වැනි ක්‍රමවේද භාවිතා කරමින් මිනිසුන් තම අදහස් එකිනෙකා අතර හුවමාරු කරගනු ලබයි. 

අතීතයේ දී පුද්ගලයෙකු මියගිය විට ඔහුගේ අවමංගල්‍ය පණිවිඩය දැනුම් දීමට විවිධ සාම්ප්‍රදායික ක්‍රම භාවිතා කර තිබේ. මල බෙර වාදනය , පණිවිඩකරුවන් යැවීම, තල්පත් කොළවල ලියා යැවීම වැනි උපක්‍රමයන් භාවිතා කර තිබේ. එදා පටන් අවමංගල්‍ය උත්සවයක් පිළිඹිබු කිරීමට ශෝකය දැනවීම සඳහා සුදු පැහැති වර්ණය භාවිතා කළ අතර සුදු කොඩි හා ගොක්කොළ සැරසිලි වැනි ක්‍රමවේද භාවිතා කර තිබේ.  ගම් නියම්ගම් පුරා අවමංගල්‍ය පණිවිඩය කට වචනයෙන් පැතිරී ගිය අතර එය සාම්ප්‍රදායික ආකාරයට සමාජය තුළ සිදු වුණි. 

වර්තමාන සමාජය වන විට සාම්ප්‍රදායික සන්නිවේදනය නූතන සන්නිවේදනය දක්වා වර්ධනය වීමක් සිදු වී ඇති නමුත් වත්මන් සන්නිවේදන ක්‍රමයන් සාම්ප්‍රදායික සන්නිවේදන ක්‍රමයන්හි දිගුවක් හෝ එලෙසටම භාවිතා කිරීමක් වේ. එදා අවමංගල්‍ය පණිවිඩයක් දැනුම්දීම සඳහා සුදු පැහැති වර්ණය සහ සුදු කොඩි භාවිතා කළ අතර අදත් එලෙසින්ම එම සංඥා සංකේත භාවිතා කරනු ලබයි. 

වර්තමානයේ ජනප්‍රිය සන්නිවේදනය නිරූපණය වන එක් ක්ෂේත්‍රයක් වන්නේ සමාජ මාධ්‍යයයි. සමාජ මාධ්‍ය තුළ ද ෆේස්බුක් සමාජ මාධ්‍ය හරහා ජනප්‍රිය සන්නිවේදනය සීඝ්‍රයෙන් පැතිරී ගොස් තිබේ. 

ෆේස්බුක් සමාජ මාධ්‍ය පරිශීලකයෙක් වන මා එදිනෙදා ෆේස්බුක් මාධ්‍ය පරිශීලනය කිරීමේදී නොයෙකුත් අවස්ථාවන්වලදී මිතුරු මිතුරියන් ෆේස්බුක්  ගිණුම්වල පැතිකඩ ඡායාරූපය සඳහා ශෝකජනක අවස්ථාවන්වලදී සුදු පැහැති වර්ණයේ කොඩියක් සහිත පැහැදිලි ඡායාරූපයක් උඩුගත කරන ආකාරය දැක තිබේ. එවිට එම පෝස්ටුව සඳහා දක්වන ප්‍රතිචාර හරහා එම ශෝකජනක පුවත සමාජ මාධ්‍ය පුරා සංසරණය වීමට පටන්ගනී. එදා අවමංගල්‍ය පණිවිඩය ගමින් ගමට පැතිර වීමට ගම්නියම්ගම් පුරා ඇවිද ගිය මානවයා අද වන විට තම අතෙහි ඇති ස්මාර්ට් ජංගම දුරකථනය හරහා එම පුවත තත්ප‍රයක් දෙකක් වැනි කෙටි කාලයක් තුළදී සමාජගත කරයි.බොහෝ  මිනිසුන් ෆේස්බුක් ගිණුමක සුදු කොඩියක් උඩුගත වූ සැනින් එය දැන ගැනීමේ උන්නදුවෙන් පසුවන්නේ ශෝකජනක පුවතක් බව දැනගෙනමය. 

වර්තමානය වන විට අවමංගල්‍ය පණිවිඩයක් සමාජගත කිරීමේ මුඛ්‍යයම  කාර්යය ෆේස්බුක් සමාජ මාධ්‍ය හරහා සිදු වන බව පැවසුවාට වරදක් නැත. මිනිසුන් අද වන විට ඒ සඳහා පුරුදුව සිටිති. ඇසට ගැටෙන දේ කටවචනෙන් පැතිරවීමට පටන් ගන්නා අතර එය අප නොදැනුවත්ව විශාල වපසරියක සංසරණය වේ. 

මෙහිදී මෙම ජනප්‍රිය සන්නිවේදන විධික්‍රමයෙහි දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණ කිහිපයකි. 

සුදු කොඩියක්  භාවිතා කිරීම. 

නිල් පැහැති පසුබිමක් භාවිතා කිරීම. 

ෆේස්බුක් ගිණුමෙහි පැතිකඩ ඡායාරූපය සඳහා සුදු කොඩියක් උඩුගත කිරීම. 

ප්‍රතිචාර හරහා අදාළ පණිවිඩය සමාජයට ගෙනයාම. 

සුදු කොඩියෙහි මියගිය පුද්ගලයාගේ වර්ණ බොද කරන ලද  පසුබිම්  ඡායරූපයක් භාවිතා කිරීම. 


සාම්ප්‍රදායික සන්නිවේදනයට වඩා  ජනප්‍රිය සන්නිවේදනය ඉතාමත් කාර්යක්ෂම බවකින් සිදුවන බව තර්කයක් නොවේ. යම් තොරතුරක් ඉතාමත් කෙටි කාලයකදී සමාජගත කිරීමට ජනප්‍රිය සන්නිවේදන ක්‍රමවලට හැකියාවක් පවතී. එය අන්තර් සම්බන්ධතා තීව්‍ර කිරීමට මගපාදයි. 

සෙව්වන්දි රණසිංහ 


 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required