/
/
title icon ග්‍රාමීය තාරුණ්‍යයේ ඔබ නොදත් පැතිකඩ
ග්‍රාමීය තාරුණ්‍යයේ ඔබ නොදත් පැතිකඩ
Sewwandi Ranasinghe
1 month ago
Share:
ග්‍රාමීය තාරුණ්‍යයේ ඔබ නොදත් පැතිකඩ

තරුණ තරුණියන් යනු මානව සමාජයේ සිටින්නා වූ එක් සුවිශේෂී කණ්ඩායමකි.  ඔවුන් පිළිබඳව සමාජ විද්‍යාත්මක දෘෂ්ටිකෝණයෙන් සලකා බැලීම වැදගත් වේ. මන්ද සමාජ විද්‍යාත්මක පසුබිම කෙරෙහි තරුණ තරුණියන්ගේ හැසිරීම බලපානු ලබයි. 

ළමා අවධිය පසු කිරීමත් සමඟ තරුණ තරුණියන් සමාජය තුළ තම අනන්‍යතාවය ගොඩ නගා ගැනීමට උත්සාහ දරයි. සමාජ සමූහ කණ්ඩායම්වල සිටින යෞවනයන් තම ආධිපත්‍ය සෙවීමට උත්සහ දරයි. එහිදී ඔවුන්ට තම අනන්‍යතාවය සම්බන්ධ ගැටලු මතු වේ. සමාජ විද්‍යාත්මකව ගත් කළ තාරුණ්‍යය කුලය, වර්ගය, පන්තිය, ආගම , සදාචාරය හා සමාජ සන්දර්භය අනුව වෙනස් වේ. ජීව විද්‍යාත්මක ලෙස ගැහැණු ළමයෙකු නම් ඔසප් වීම ආරම්භයත් , පිරිමි ළමයෙකු නම් ස්වප්න මෝචනය , උගුරු ඇටය නෙරා ඒමත් සිදු වේ. 

තාරුණ්‍යය යන්න නිර්වචනය කිරීමට නිශ්චිත නිර්වචනයක් නොමැති අතර එය අවබෝධ කර ගැනීමේ පහසුව සඳහා විවිධ පිරිස් විසින් විවිධ අර්ථකථන ඉදිරිපත් කර තිබේ. 

එක්සත් සංවිධානයට අනුව වයස අවුරුදු 15-24 ත් අතර වයස් කාණ්ඩයේ සිටින පිරිස තරුණ තරුණියන් වේ. නමුත් ලංකාව වැනි රටවල මෙම තත්ත්වය වෙනස් වේ. එය බොහෝ විට අවුරුදු 18 සිට පටන් ගනී. බටහිර රටවල සංස්කෘතික රටාව අනුව මෙම වයස් කාණ්ඩය 13-15 සිට ආරම්භ වේ. 

ලෝක බැංකුවට අනුව පුද්ගලයෙකුගේ ජීවිතය ළදරු විය හා වැඩිහිටි විය අතර ඇති කාලය තාරුණ්‍යය ලෙස නිර්වචනය කර තිබේ. වයස අවුරුදු 18-29 ත් අතර වයස් කාණ්ඩයේ සිටින පිරිස  තරුණ තරුණියන් ලෙස හදුන්වා දී තිබේ. සාමාන්‍යයෙන්  පුද්ගලයෙකුගේ වර්ධනය කායික, මානසික, සංස්කෘතික වශයෙන් සිදු වේ. 

ශ්‍රී ලංකාව තුළ සිටින තරුණ ප්‍රජාව ප්‍රධාන වශයෙන් කොටස් තුනකට වර්ගීකරණය කළ හැකිය. 

01. ග්‍රාමීය තරුණ ප්‍රජාව 
02. නාගරීක තරුණ ප්‍රජාව 
03. ගමින් නගරයට සංක්‍රමණය වූ තරුණ ප්‍රජාව 

මෙම ලිපිය මගින් මූලිකවම අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන්නේ ග්‍රාමීය තරුණ ප්‍රජාව කෙරෙහිය. පසුගිය කාලවකවානුව තුළ ශ්‍රී ලංකාව මුහුණ දුන් කොරෝනා වසංගතය හමුවේ ග්‍රාමීය තරුණ ප්‍රජාව අභියෝග රැසකට මුහුණ පෑවේය. ඔවුන් මුහුණ දුන් ප්‍රධානතම ගැටලුවක් වූයේ රැකියා ප්‍රශ්නයයි. කොරෝනා සමය තුළ සමාජය තුළ විවිධ වෙනස්කම් රාශියක් සිදු විය. 

සෞඛ්‍ය ආරක්ෂාව ගැන සිතා ඇතැම් කර්මාන්තශාලා වසා දමන ලදී. 

නිෂ්පාදන අලෙවි කර ගැනීමේ ගැටලුවකට මුහුණ පෑවේය. 

අමුද්‍රව්‍යවල මිල ඉහළ යාමත් සමඟ නිෂ්පාදන වියදම ද ඉහළ යන්නට විය. 

ප්‍රවාහන වියදම් ඉහළ යන්නට විය. 

මේ තත්ත්වය හේතූවෙන් ග්‍රාමීය මට්ටමින් පැවතී කර්මාන්තශාලා වසා දැමීමට කර්මාන්තශාලා හිමිකරුවන් තීරණය කළහ. ඔවුන් ඉහත සාධක සැලකිල්ලට ගෙන ග්‍රාමීය මට්ටමේ ශාඛාවන් වසා දමා නගරය අවට තිබෙන කර්මාන්තශාලා පමණක් පවත්වාගෙන යාමට තීරණය කළහ. ඇතැම් හිමිකරුවන් සේවක සංඛ්‍යාව අඩු කරන ලද අතර කොටසක් සේවයෙන් ඉවත් කරන ලදී. මේ තත්වය හේතුවෙන් ග්‍රාමීය තරුණයින් බොහෝ පිරිසකට තම රැකියාවන් අහිමිව ගිය අතර ඔවුන් රැකියා ප්‍රශ්නයකට මුහුණපාන ලදී. 

මෙම තත්වය තවත් උග්‍ර අතට හැරීමට පටන් ගත්තේ තෙල් අර්බුදයත් සමඟය. තෙල් මිල ඉහළ යාමත් සමඟ ප්‍රවාහන හා අනෙකුත්  පහසුකම් වලට විශාල මුදලක් වැය කිරීමට සිදු විය. එහිදී කර්මාන්තශාලා හිමිකරුවන් නගරය කරා තරුණයන් ඒකරාශී කරගෙන රැකියාවන් බෙදා හරින ලදී. එවිට ඇතැම් ග්‍රාමීය තරුණ ප්‍රජාව ගමින් නගරයට ගොස් රැකියාවක් කිරීමට අකමැත්තෙන් පසු වුණු අතර ඔවුන්ට රැකියාවක් කිරීමේ අවස්ථාව අහිමි විය. කොළඹ අවට හා නාගරීක මට්ටමේ තරුණ ප්‍රජාව රැකියාවන් සඳහා සම්බන්ධ කර ගැනීමට කර්මාන්තශාලා හිමිකරුවන් වැඩි අවධානයක් යොමු කරන ලදී. 

තෙල් මිල ඉහළ යාමත් සමඟව ආරම්භ වූයේ විදුලි කප්පාදුවයි. එම විදුලි කප්පාදුව සමඟ කර්මාන්තශාලා විශාල අර්බුදකට මුහුණ පෑවේය . ඔවුන්ගේ නිෂ්පාදන කටයුතු ක්‍රමවත්ව සිදු කර ගැනීමට නොහැකි විය. එවිට සේවක ප්‍රමාණය අඩු කරමින් සීමිත පිරිසකට වැටුප් ලබා දී කර්මාන්තය පවත්වා ගෙන ගියේය. ඇතැම් පැරණි සේවකයින් එකවර  ගෙවීමක් සිදු කර රැකියාවෙන් ඉවත් කරන ලදී. එවිටද තවත් පිරිසකට රැකියාවන් අහිමි විය. විදුලිබිල ඉහළ යාමත් සමඟ කර්මාන්තශාලා හිමිකරුවන් දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ පෑවේය. 

මෙම අර්බුදයන්හි ප්‍රතිඵල තවමත් සමාජය තුළ එලෙසින්ම පවතිනු ඇත. කිසිම ආකාරයකින් ඒවායෙහි අයහපත් ප්‍රතිඵල සාමාන්‍යකරණීය වී නොමැත. අද වන විට එහි ප්‍රතිඵල උග්‍ර අතටම හැරී ඇත. රැකියාවන් නොමැතිව පීඩනයෙන් පෙළෙන තරුණ ජීවිත රැසක් ග්‍රාමීය මට්ටමින් අද වන විට දැකගත හැකිය. එබැවින් ග්‍රාමීය තරුණ ප්‍රජාව අද වන විට රැකියාවන් සොයා තරගයක යෙදෙන ආකාරයක් දැකගත හැකිය. අර්බුද සමයේ රැකියාවන් අහිමි වූ තරුණ පිරිස නැවත නව රැකියාවන් සොයා නගරයට සංක්‍රමණය වූ නමුත් ඔවුන්ට රැකියාවන් සොයා ගැනීමට ඉඩ හසර නැති විය. මන්ද ඒ වන විට නාගරීක තරුණ ප්‍රජාව නගරය ආශ්‍රිත රැකියාවන්වල සේවය කිරීමට ආරම්භ කර තිබුණි. රට තුළ පවතින ආර්ථික අර්බුදය හමුවේ මිල මුදල් ඇති නාගරීක පිරිස් ද රැකියාවන්හි නිරත වීමේ පොදු ලක්ෂණයක් දක්නට ලැබුණි. එහිදී ග්‍රාමීය පිරිස් සඳහා නගරය තුළ රැකියාවන් සඳහා යොමු වීමට අවස්ථාවක් ලැබුණේ නැත. අද වන විට කොළඹ නගරය අවට රැකියාවක් සිදු කිරීමට අමතර සුදුසුකමක් ලෙස කොළඹ නගරය අවට පදිංචි වී සිටීම බලපානු ඇත. 

ග්‍රාමීය තරුණ ප්‍රජාව සවිබල ගැන්වීමේ මුඛ්‍ය වගකීම ඇත්තේ රට තුළ පාලන බලය හිමි රජයටයි. ග්‍රාමීය මට්ටමින් ඔවුන්ව ස්වයං පෝෂීත ආර්ථිකයකට සහසම්බන්ධ කර ගැනීමේ වැඩපිළිවෙලක් සකස් කිරීම වැදගත් වේ. ග්‍රාමීය තරුණ ප්‍රජාව නගා සිටුවීම  සමාජ ප්‍රගමනයට හේතූ වේ. මාගේ දැනුමෙහි ප්‍රමාණය අනුව මේ තත්වය සඳහා යෝජනාවන් කිහිපයක් ඉදිරිපත් කරමින් මාගේ ලිපිය අවසන් කිරීමට  බලාපොරොත්තු වේ. එනම් ඒවා කරුණු වශයෙන් පෙළ ගැස්විය හැකිය. 

ග්‍රාමීය මට්ටමින් නව රැකියා ස්ථාන  ආරම්භ කිරීම. 

ග්‍රාමීය තරුණ ප්‍රජාවට අවශ්‍ය කාර්මික දැනුම ලබා දීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම. 

ග්‍රාමීය තරුණ ප්‍රජාව සවිබල ගැන්වීමේ උපදේශන වැඩමුළු පැවැත්වීම. 

දක්ෂතාවයන් සහිත ග්‍රාමීය තරුණ පිරිස් සඳහා  නාගරීක රැකියාවන්හි පුරප්පාඩු පිරවීමේදී අවස්ථාව ලබා දීම. 

අධ්‍යාපන දැනුම සහිත ග්‍රාමීය තරුණ තරුණියන් තම අධ්‍යාපන සුදුසුකම්වලට  ගැළපෙන රැකියාවන් සඳහා යොමු කිරීම. 

ග්‍රාමීය තරුණ ප්‍රජාව ගමින් නගරයට රැගෙන ගොස් නාගරීක තරුණ ප්‍රජාව සමඟ එකට ගැටෙමින් ඔවුන්ට අවශ්‍ය වෘත්තීය දැනුම ලබා ගැනීමට අවස්ථාව සලසා දීම.


සෙව්වන්දි රණසිංහ 




 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required