/
/
title icon සොඳුරු මිනිසෙකුගේ නික්මයෑමේ ඛේදවාචකය
සොඳුරු මිනිසෙකුගේ නික්මයෑමේ ඛේදවාචකය
Sewwandi Ranasinghe
1 week ago
Share:
සොඳුරු මිනිසෙකුගේ නික්මයෑමේ ඛේදවාචකය

දේශපාලනය යන්නෙහි සරල අර්ථය වන්නේ දේශයක් පාලනය කිරීමේ ක්‍රියාවලිය යන්නයි. රටක ජීවත් වන මානව කොට්ඨාසය ඔවුන්ගේ පෞද්ගලිකත්වය සහ අනන්‍යතාවය ආරක්ෂා කර ගැනීම , පොදු යහපත , සාමූහික තීරණ ගැනීම් සහ ගැටුම් නිරාකරණය කර ගැනීම සඳහා  දේශපාලනමය වශයෙන් සංවිධානය වීමට ආරම්භ කරයි.  ප්‍රජාවක් දේශපාලන වශයෙන් මෙලෙස සංවිධානය වීමේදී ඔවුන්ට පොදු බලයක් හිමිවනු ඇත. එම පොදු බලය දේශපාලන බලය යනුවෙන් නිර්වචනය කර ඇත. 

දේශපාලනය යන සංකල්පයෙහි සමාජීය ව්‍යවහාරයත් දේශපාලන සාහිත්‍යයත් විමසීමේදී දේශපාලනය පිළිබඳව ප්‍රධාන දෘෂ්ටි හතරකින් යුක්තව ඇන්ඩෲ හේවුඩ්ගේ (Andrew Heywood)  " politics " නමැති කෘතිය තුළ සඳහන් කර තිබේ. 

"දේශපාලනය යනු ආණ්ඩු කිරීමේ කලාව වේ. " 

" දේශපාලනය යනු මහජන කටයුතු කිරීමයි " 

" දේශපාලනය යනු සම්මුතීන්වලට එළඹීමයි " 

" දේශපාලනය යනු බලය සහ සම්පත් බෙදා දීමයී " 

ඉහත සදහන් සිව් කාර්යයන් සිදු කිරීම සඳහා රටක ජීවත් වන සියලුම මිනිසුන් සහභාගි වීම ප්‍රායෝගික වශයෙන් සිදු කළ නොහැකි කාර්යයකි. එයට පිළියමක් වශයෙන් ජනතාවගේ අභිලාෂයන් තෘප්තිමත් කර ගැනීම උදෙසා ජනමතය නියෝජනය කිරීම උදෙසා ජනතාවගේ කැමැත්තෙන් නියෝජිතයෙකු පත් කරගනු ලබයි. ඔහු විසින් ජනතාවගේ කැමැත්ත සහ අදහස් දේශපාලනය තුළ රඟ දක්වනු ලබයි. ජනතා විශ්වාසය හිමි කර ගනිමින් ජනතා නියෝජිතයෙකු ලෙස පාර්ලිමේන්තු බලය හිමි කරගනු ලබන දේශපාලන නියෝජිතයින් තම පාලන බලය ක්‍රියාවට නැංවීමේදී සාමාන්‍ය ජනතාවගේ අභිලාෂයන්ට හා අදහස්වලට  ප්‍රමුඛත්වයක් ලබා දෙනවා ද නැද්ද යන්න වර්තමානය වන විට සැක සහිත ය. දේශපාලනයට පිවිසෙන ඇතැම් හොර තක්කඩියන් සාමාන්‍ය ජනයාගේ පොදු අපේක්ෂාවන් යටපත් කර තම පෞද්ගලික අපේක්ෂාවන් ඉටු කර ගැනීමේ ප්‍රවණතාවයක් වත්මන් දේශපාලන ක්‍රියාදාමය තුළ දක්නට ලැබේ. 

එවන් සමාජ භූමිකාවක සොදුරු මිනිසෙකුගේ නික්මයෑමේ ඛේදවාචකයක් මුළු මහත් සමාජයම කම්පාවට ලක් කිරිමට සමත් විය. පෞද්ගලිකවම මම ද දේශපාලනය පිළිබඳව කතා බහට ලක් කිරීමට දක්වන්නේ ඉතාමත් අල්ප කැමැත්තකි. ඒ මන්ද දේශපාලන තක්කඩියන් වෙනුවෙන් මාගේ එකදු වචනයක් හෝ නිෂ්පල කිරීමට මා එකහෙළාම අකමැති වන නිසාවෙනි. නමුත් දුටු සැනින් අකුරු කිරීමට තරම් මෙම ඛේදවාචකය මගෙ හිත බැඳ ගැනීමට සමත් විය.සමාජය තුළ ජීවත් වන පුද්ගලයින් විවිධාකාර ය. බොහෝවිට පුද්ගලයෙකු  ඇගයීමට ලක් කිරීමට වඩා ව්වේචනය කිරීමට මිනිසුන් පුරුදුව සිටිති. මිනිසුන් අතර කලාතුරකින් පුද්ගලයෙකු ඇගයීමට ලක් වේ නම් ඔහු සැබැවින්ම දක්ෂ හා ගුණ යහපත් පුද්ගලයෙකු ලෙස ජීවත් වූ අයෙකි. 

මේ දිනවල සමාජ මාධ්‍ය පුරා සැරිසරන පුවතක් වන්නේ විදුලි සැර වැදීමෙන් ජිවීතක්ෂයට පත් වූ දේශපාලඥයෙකු වන පාලිත තෙවරප්පෙරුම  මන්ත්‍රීවරයා ජීවිතයට සමු දීමේ අසුභදායී පුවතයි. 

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා මෙම වසරේ අප්‍රේල් මස 16 වන දින අභාවප්‍රාප්ත විය.1960 මැයි මස 3 වැනි දින උපත ලැබූ පාලිත තෙවරප්පෙරුම මහතා මිය යන විට වයස අවුරුදු 64 වන වියේ පසුවිය.
යටදොලවත්ත ප්‍රදේශයේ පිහිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට අයත් පොල් වත්තක දී සිදු වූ අනතුරකින් පාලිත තෙවරප්පෙරුම මහතා ජිවිතක්ෂයට පත් වී ඇති අතර ඒ පිළිබඳව තව දුරටත් පරීක්ෂණ කටයුතු සිදු කරනු ලබයි. 

සාර්ථක දේශපාලන නායකයෙකු ලෙස සමාජය තුළ ඉස්මතු වී කැපී පෙණුන චරිතයක් ලෙස තෙවරප්පෙරුම මහතා හදුනාගත හැකිය. එබැවින් ඔහු පැමිණී දේශපාලන ගමන්මග පිළිබඳව අදහසක් ඉදිරිපත් කළ යුතුම ය. 

2002 වසරේ පැවති මැතිවරණයෙන් දේශපාලනයට පිවිසි තෙවරප්පෙරුම මහතා  එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස තේරී පත්වුයේ මනාප 7000 ක් ලබා ගනිමිනි. පසුව ඔහු බස්නාහිර පළාත් සභාවට තේරී පත් වූ අතර එම මැතිවරණයේදී ඔහු ලබා ගත් ජන්ද සංඛ්‍යාව 39167 කි. 

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් 2010 වසරේ පැවති මහ මැතිවරණයට කළුතර දිස්ත්‍රික්කයෙන් තරග කළ පාලිත තෙවරප්පෙරුම මහතා පළමු වරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට සමත් වුයේ මනාප 51153 ක් ලබා ගනිමින් දිස්ත්‍රික්කයේ ප්‍රථමයා බවට පත්වෙමිනි. 

2015 වර්ෂයේදී පැවති පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වූ ඔහු මනාප 118128 ක් ලබා ගනිමින් කළුතර දිස්ත්‍රික්කයේ තුන්වන ස්ථානයට පත්වෙමින් නැවත වරක් පාර්ලිමේන්තුවට තේරී පත්විය. 

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ මෙන්ම යහපාලන ආණ්ඩුව නියෝජනය කරමින් පාලිත තෙවරප්පෙරුම මහතා  අවස්ථා කිහිපයකදී නියෝජ්‍ය අමාත්‍ය ධුර දැරිය. 

2020 වසරේ පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කළ ඔහුට නැවත පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට අවස්ථාව හිමි නොවූ අතර සක්‍රීය දේශපාලනයෙන් ද ඔහු ඈත්විය. 

දේශපාලඥයෙකු ලෙස පාලිත තෙවරප්පෙරුම මහතා  ආන්දෝලනාත්මක සිදුවීම්වලට සම්බන්ධ වීම නිසා අවස්ථා කිහිපයක දී රක්ෂිත බන්ධනාගාර ගතවීමට පවා සිදුවිය. ඇතැම් අවස්ථාවන්වලදී පෞද්ගලික දේශපාලන  පලිගැනීම් හමුවේ විවිධ  ගැටලු සහගත තත්වයන්ට මුහුණ පෑමට සිදු විය. අසත්‍ය චෝදනා හමුවේ නිරන්තරයෙන් ප්‍රශ්න ගැටලු රාශියකට මුල් වැරදිකරු වීමට සිදු විය. මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුව තුළ දී ඇති වූ ගැටුම්කාරී සිදුවීම්වලට සම්බන්ධ වීම නිසා පාර්ලිමේන්තුව තහනමට ද ලක් වූ අවස්ථා කිහිපයකට ද මුහුණ දීමට මොහුට සිදුවිය. 

කෙසේවෙතත් තෙවරප්පෙරුම මහතා සාමාන්‍ය ජනතාව වෙනුවෙන් සිදු කළ ජනතා සේවය අගය කළ යුතුම ය. මන්ත්‍රීවරයෙකු ලෙස පමණක් නොව තමන්ට තනතුරු අහිමිව ගොස් තිබියදී පවා පාලිත තෙවරප්පෙරුම මහතා ජනතාවට සේවය කළ පුද්ගලයෙකු ලෙස ප්‍රසිද්ධ ය. 2020 වසරේදී ඇති වූ කොවිඩ් වසංගත සමයේ ඇතැම් දේශපාලඥයින් සෞඛ්‍ය  ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වෙමින් සාමාන්‍ය ජනයා තුට්ටු දෙකට සීමා නොකරන අවධියක අසරණභාවයට පත් වූ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදීම සඳහා ඔහු මුලිකත්වය ගෙන කටයුතු කරනු ලැබිය.එමෙන්ම ගංවතුර ඇතුළු ස්වාභාවික ව්‍යවසනයන්හි දී අවතැන් වූ ජනතාව වෙනුවෙන්  සහන සැලසීම සඳහා ඔහු සක්‍රීයව කටයුතු කරනු ලැබීය.මෙවැනි ක්‍රියාවන් සම්බන්ධයෙන් මොහු බොහෝ දෙනෙකුගේ පැසසුමට ලක් විය. මේ දිනවල ෆේස්බුක් සමාජ මාධ්‍ය පුරා බෙදා හැරෙන ඡායාරූප ඒ සදහා සාක්ෂි දරනු ලබයි. එපමණක් නොව රූපවාහිනිය, ගුවන්විදුලිය තුළ ජනතාවගේ අදහස් විමසීම් තුළින් තව තවත් ඒ බව තීව්‍ර වේ. 

රටක දේශපාලනය විදහා දක්වන සිව්වන බලය  වන්නේ මාධ්‍යයයි. මෙරට තුළ ජනමාධ්‍ය අභිබවා සමාජ මාධ්‍ය පෙරට ඒමක්  වර්තමානයේ දක්නට ලැබේ. බොහෝ විට මාධ්‍ය තුළ දේශපාලනය හා දේශපාලඥයින් යන මාතෘකාව අප්‍රසන්න වී තිබේ. එවන් අවධියක ජනතාවගේ ගරු බුහුමන්වලට පාත්‍ර වූ සොදුරු මිනිසෙකු ලෙස තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා ඉහළ ඇගයීමට ලක් කළ යුතුමය. ටික කලකට ඉහතක දී අප රටේ හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ  මන්ත්‍රීවරයකු පිළිබඳව සමාජ මාධ්‍ය පුරා පැතිරී ගියේ ඉතාමත් පහත් මට්ටමේ ආකල්පයන් හා අදහස් ය. මා මෙහිදී නිර්ණාමිකව කරුණු ඉදිරිපත් කිරීමට උත්සහ දරණුයේ සියල්ලන්ගේම ආරක්ෂාව හා ගරුත්වය රැකගැනීම උදෙසා ය. සමාජය තුළ ජීවත් වන අනෙකුත් දේශපාලන නායකයින් හට මෙම සිදුවීම් ලබා දෙන්නේ මහත් අවවාදයකි. ආගම දහම අනුව අප සියලු දෙනා කෙදිනක හෝ මේ ජීවිතයට සමුදිය යුතුම ය. ඒ බව හොදින් තේරුම් ගෙන ජීවත් වීම ඉතා අගනේය. පුද්ගලයෙකු ජීවත්ව සිටියදී ඔහුට අත්පොලසන් දෙන  දෑත්  ඔහු මියගිය විටදී ද  දෙඅත් එක් කර නිවන්සුව පැතීමට තරම් ජනතාව කාරුණික වන්නේ ඔහු සැබැවින්ම ජන නායකයෙකු වූ විටදී ය. අහිංසක මිනිසුන්ගේ බලාපොරොත්තු අභිලාෂයන් වෙනුවෙන් නියෝජනය වූ නායකයෙකුගේ මුඛ්‍ය අරමුණ විය යුත්තේ තම අනුගාමිකයන් වෙනුවෙන් පෙනී සිටීමය. කොතෙක් බලය හා මුදල් අත රැදුන ද මියගිය දිනක වස් වදින වචනවලින් හෙම්බත්වීමට තරම් තම මරණය අපහසුතාවයට පත් නොකළ යුතුය. මෙම ලිපියෙහි යම් යම් අදහස් බීරී අලින්ට වීණා වයන්නක් වුව ද වීණාවේ මිහිරිබව විදින එක් අයෙකු හෝ සිටින්නේ නම් එය මා ලබනා ජයග්‍රහණයකි. 

සැ.යු. මෙහි ඇතැම් කරුණු ලිපියෙහි සාර්ථකත්වය උදෙසා  අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලද අතර එහි ගරුත්වය ඔවුන්ට අනිවාර්යයෙන්ම හිමි විය යුතුමය. 

 

සෙව්වන්දි රණසිංහ 
















 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required