/
/
title icon ලොව පුරා විස්මිත දේවල් නිර්මාණය කරේ කව්ද?
ලොව පුරා විස්මිත දේවල් නිර්මාණය කරේ කව්ද?
Jayani Perera
2 weeks ago
Share:
ලොව පුරා විස්මිත දේවල් නිර්මාණය කරේ කව්ද?

ලොව පුරා විස්මිත දේවල් නිර්මාණය කරේ කව්ද?

දෙවියන් ද?

නෑ මිනිස්සු...

ලොව වැඩ කරන ජනතාව වෙනුවෙන් වෙන් වූ ලෝක කම්කරු දිනය මැයි පළවනදාට යෙදී තිබුණා. මෙවර එය සැමරූවෙ 138 වෙනි වතාවටයි  . කුඩා කාලයෙ පටන් මැයි දිනය ගැන අපිට තියෙන්නෙ සාපේක්ෂව පාට පදනම් වුණ මතකයක්. රතු පාට ,කොළ පාට, නිල් පාට , මෙරුන් පාට මැයි රැළි. 
මේ මැයි රැළි වලින් නියම කම්කරුවා ආමන්ත්‍රණය කරනවා ද?  වසරකට යෙදෙන මැයි දිනයකින් කෙතරම් දේශපාලන වේදිකා වල නව පිළිවෙත්, විසඳුම් කොයිතරම් කියෙව්වත් තවත් වසරක මැයි දිනයක් එළඹීමේදී පෙර මැයි දිනයෙන් යෝජනා කෙරුණු පිළිවෙත් කීයක් කම්කරුවන් උදෙසා ක්‍රියාත්මක වූවා ද?  මේ පැනය ඔබ ඔබෙන් ප්‍රශ්න කරමින් සෙමින් ශ්‍රී ලාංකේය සමාජයට අවධානය යොමු කරන්න. මෙම ඉහත සඳහන් කර ඇති ගැටලු බොහෝමයක් පැන නගින්නේ ආසියානුකරයේ රටවල්වලට වීම විශේෂත්වයක්.

බොහෝ රටවල, මැයි දිනය පුරාණ වසන්ත උත්සවයක් ලෙස සැලකෙන නමුත්, වර්තමානයේ එය ලොව පුරා කම්කරුවන් විසින් සිදු කරන ලද ඓතිහාසික අරගල සහ ජයග්‍රහණ සැමරීම සඳහා කම්කරු දිනය (හෝ ජාත්‍යන්තර කම්කරු දිනය) ලෙස හඳුන්වනු ලබයි. සෑම වසරක ම, වඩා යහපත් සේවා කොන්දේසි සහ වෘත්තීය සමිතිවලට වැඩි බලතල ඉල්ලා ලොව පුරා විරෝධතා පැවැත්වේ.

මුල් කාලයේදී එය විවිධ සමාජවාදී, කොමියුනිස්ට් සංවිධාන සහ කම්කරු කණ්ඩායම් විසින් සමරන ලදී.
මුල් විරෝධතා ඇමෙරිකාවේ පැවැත්වුව ද, එහිදී එය සමරනු ලබන්නේ, සැප්තැම්බර් මස එළඹෙන පළමු සඳුදා දිනයේදී ය. බොහෝ රටවල, මැයි දිනය පුරාණ වසන්ත උත්සවයක් ලෙස සැලකෙන නමුත්, වර්තමානයේ එය ලොව පුරා කම්කරුවන් විසින් සිදු කරන ලද ඓතිහාසික අරගල සහ ජයග්‍රහණ සැමරීම සඳහා කම්කරු දිනය හෝ (ජාත්‍යන්තර කම්කරු දිනය) ලෙස හඳුන්වනු ලබයි.

1886 වසරේදී, බ්‍රිතාන්‍ය සමාජ ප්‍රතිසංස්කරණවාදියෙකු වූ රොබට් ඔවන්ගේ අදහසක් මත පදනම්ව දිනකට පැය අටක සේවා මුරයක් ඉල්ලා ඇමෙරිකාවේ වෘත්තීය සමිති දැවැන්ත වැඩ වර්ජන මාලාවක් දියත් කළේය."පැය අටක ශ්‍රමය, පැය අටක විනෝදාස්වාදය, පැය අටක විවේකය" යන සටන් පාඨය සමගින් ඔහු දිනකට පැය අටක සේවා මුරයක් ඉල්ලා සිටීමේ අභිමතාර්ථය සකස් කළේය. එහි දැවැන්ත ම විරෝධතාව මැයි 1 වන දා චිකාගෝ පැවැත්වුණු අතර, ඊට කම්කරුවන් 40,000ක් පමණ එක්ව සිටියහ. එකල, වැඩ කරන වේලාවන් හෝ විවේක දින නියම කිරීමකින් තොරව කර්මාන්ත ශාලාවල අධික වෙහෙස වී වැඩ කිරීම සාමාන්‍ය තත්ත්වයක් විය.එම කාලයේදී, චිකාගෝ නගරය ඇමෙරිකාවේ කර්මාන්ත ක්ෂේත්‍රයේ හදවත වූ අතර, වෘත්තීය සමිති සංවිධානවල මධ්‍යස්ථානය ලෙස ද පැවතිණි. චිකාගෝහි පැවති ගැටුම් ඊළඟ වසර කිහිපය තුළ බොහෝ වාමාංශික පක්ෂ සඳහා උත්තේජනයක් විය.
දක්ෂිණ යුරෝපයේ, මැයි දිනය මුලින් ම සනිටුහන් කළේ, එවකට ඔස්ට්‍රෝ-හංගේරියානු අධිරාජ්‍යය ලෙස සැලකුණු ස්ලෝවේනියාවේ සහ ක්‍රොඒෂියාවේ පුරවැසියන් ය.දුෂ්කර සේවා තත්ත්වයන්, අඩු වැටුප් සහ දීර්ඝ සේවා මුර, 1893 වසරේදී සර්බියාව තුළ මැයි දින රැලියක් සංවිධානය කිරීමට හේතු සැපයීය. පළමු ලෝක සංග්‍රාමයෙන් පසු, ඇති වූ වේගවත් කාර්මික සංවර්ධනය සහ රුසියාවේ කොමියුනිස්ට් විප්ලවයේ බලපෑම හේතුවෙන්, කම්කරුවෝ ලොව පුරා මූලික අයිතිවාසිකම් සඳහා අරගල කළහ. 1945 වසරේදී මැයි දිනය නිල වශයෙන් රාජ්‍ය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළ යුගෝස්ලාවියාවේ සමාජවාදී ෆෙඩරල් ජනරජයේ කතාව ද ඊට සමාන වන අතර, එහිදී පෙරහැර සහ හමුදා පෙළපාළි සමග ප්‍රබල රාජ්‍ය ප්‍රචාරණයක් ද සමගින් සමරනු ලැබිණි.
ලෝකයේ සෙසු ස්ථානවල ද, වෘත්තීය සමිති සහ කම්කරුවෝ වඩා හොඳ කම්කරු අයිතිවාසිකම් ඉල්ලා මැයි දිනයේදී පෙළපාළි සංවිධානය කරති. විරැකියාව සහ වැඩ කරන ජනතාවගේ දරිද්‍රතාවයේ පුරෝකථනය කරන ලද ඉහළ යාම හමුවේ කම්කරුවන්ගේ අයිතිවාසිකම් තවදුරටත් වැදගත් වේ. විරැකියාව අඩුවීමක් සහ ධනාත්මක රැකියා වර්ධනයක් පැවතියදීත්, වැටුප් ඉහළ දැමීම් පසුගිය වසරේ උද්ධමනයට සාපේක්ෂව පවත්වා ගැනීමට අපොහොසත් වීම හේතුවෙන්, G20 රටවල් බහුතරයක සැබවින් ම සැලකුවහොත් වැටුප් පහත වැටුණු බව ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) සිය 2024 පුරෝකථන වාර්තාවේ පවසයි. 
පසුගිය වසරේ, අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන කම්කරුවන්ගේ සංඛ්‍යාව - ක්‍රය ශක්ති සාමාන්‍යය (PPP) කොන්දේසි අනුව පුද්ගලයෙකුට දිනකට ඩොලර් 2.15ට වඩා අඩු ආදායමක් ලබන පිරිස - ගෝලීය වශයෙන් මිලියනයකින් පමණ වර්ධනය වී ඇති බව ජාත්‍යන්තර කම්කරු සංවිධානය පවසයි.
ඊට මධ්‍යස්ථ දරිද්‍රතාවයේ පසු වන (එනම් PPP කොන්දේසි අනුව දිනකට ඩොලර් 3.65ට වඩා අඩු ආදායමක් ලබන්නන්) කම්කරුවන් සංඛ්‍යාව එකතු කළ විට එම අගය මිලියන 8.4කින් පමණ ඉහළ යයි.
ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ජන බලය ප්‍රදර්ශනය කරමින් මෙවර මැයි දින රැලි සහ පෙළපාලි සංවිධානය කිරීමට ප්‍රධාන දේශපාලන පක්ෂ හා කණ්ඩායම් ඊයේ දින කටයුතු සංවිධානය කර තිබුණි. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ මැයි රැලිය කොළඹ, මාළිගාවත්ත පොලීසිය ඉදිරිපිට දී පැවැත්විණ. ජාතික ජන බලවේගය කොළඹ, යාපනය, මාතර සහ අනුරාධපුරයේ දී මැයි රැලි හතරක් සංවිධානය කරනු ලැබීය. කොළඹ චැතම් වීදියේ සහ වතුකරයේ මැයි රැලි දෙකක් සමඟි ජන බල වේගය විසින් පවත්වනු ලැබුවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බොරැල්ල, කැම්බල් පිටියේ දී මැයි රැලිය පවත්වනු ලැබුවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශවය ගම්පහ දී මැයි රැලිය පවත්වනු ලැබුවා.  පොලිස් කොට්ඨාස 19ක, පොලිස් වසම් 35ක් ආවරණය වන පරිදි පෙළපාළි සහ රැලි 40ක් දිවයින පුරා පැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය. රැස්වීම් සහිත පෙළපාළි 08ක් සහ රැස්වීම් පමණක් 06ක් කොළඹ නගරයේ පමණක් පැවැත්වීය. 
ජාත්‍යන්තර කම්කරු දිනය තේමා කොට ගෙන ලොව කම්කරුවන් ආමන්ත්‍රණය කරන දවසක ශ්‍රී ලාංකේය කම්කරුවා දෙසත්, ශ්‍රී ලාංකේය අනාගතය කොයිබට ද යන්න බැලීම අගනා කරුණකි. රටක අනාගතය තීරණය කරන ප්‍රධානතම සාධක වලින් එකක් වන්නේ නිසි අධ්‍යාපනයෙන් පිරිපුන් දරු පරපුරක් බව නොරහසකි. තම දරුවාට නිසි අධ්‍යාපනයක් ලබා දීම වෙනුවෙන් මව්පියන් ඉතා කැපවීමෙන් කටයුතු කරනු ලබන අතර ඒ වෙනුවෙන් ඔවුන් දරනු ලබන කාලය, මුදල සහ ශ්‍රමය අතිවිශාලය. කෙසේ වුවත් රටක් වශයෙන් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුළ පවතින ප්‍රමාදය සහ ගැටළු සහගතභාවය හේතුවෙන් දරුවන් මෙන්ම දෙමව්පියන්ද දැඩි අසීරූතාවයකට ලක්ව ඇති බව වර්තමානයේ අසන්නට ලැබෙන කරුණක් වී තිබේ.  2020 වර්ෂයේදී ගෝලීයව බලපාන ලද කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් ලෝකයේ සෑම රටකම අධ්‍යාපන කේෂ්ත්‍රයට දැඩි බලපෑම් එල්ල විය. මෙම තත්වය ශ්‍රී ලංකාවට ද තදින් බලපානු ලැබූ අතර ඊට සමගාමිව රට මුහුණ දුන් ආර්ථික කඩා වැටීම හමුවේ නිසි පරිදි පාසැල් සහ විශ්වවිද්‍යාල කටයුතු පවත්වා ගෙන යෑමට ද නොහැකි විය.
මේ හේතුවෙන් පාසැල් අධ්‍යාපනය තුළ ළමුන්ට මුලික වශයෙන් අනිවාර්ය වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග කල් දැමුණු අතර එම තත්ත්වය දරුවන්ට මෙන්ම දෙමව්පියන්ට මානසික වශයෙන් බලපෑමක් එල්ල කරන්නට විය.  ශ්‍රී ලංකාව තුළ මේ වනවිට විශ්වවිද්‍යාල වරම් හිමිකර ගන්නා සිසුවෙකු හෝ සිසුවියක් සිය මූලික උපාධිය අවසන් කරන්නේ ‍වයස අවුරුදු 25 සිට 27 අතර දක්වා වන කාල පරාසය තුළ දී බව හඳුනා ගෙන තිබේ. 
ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය පිළිබඳ සාකච්ඡා කරන විට අ.පො.ස සා/පෙළ ට පෙනී සිටින ශ්‍රී ලාංකේය සිසු සිසුවියන් මුහුණපාන ප්‍රධාන අර්බුධකාරී කරුණක් ලෙස "කාලය" හැඳින්විය හැකිය. අ.පො. ස සා/පෙළ ට පෙනී සිට අ.පො.ස උ/පෙළ ට පෙනී සිටීම දක්වා ඒ අතරතුර කාල පරාසය වසරකට නො අඩු කාල පරාසයකි. ඉන් අනතුරුව උ.පෙළ සඳහා සූදානම් වන දරුවන් එය අහවර කරනුයේ තවත් වසර තුනකට ආසන්න කාල පාරාසයක් වැය කළ පසුයි. එයිනුත් නොනැවතෙන ඇතැම් දරුවන් තම දෙවනවර , තෙවෙන වර, සිව්වන වර පෙනී සිටීමේ වාර අවසාන කොට සිය තරුණ කාලයෙන් හරි අඩකටත් වැඩි කාල සීමාවක් මිඩංගු කරමින් සරසවි වෙතට පිවිසෙති. එයිනුත් ශ්‍රී ලාංකේය වැඩවර්ජන, විශ්ව විද්‍යාල පද්ධති අක්‍රීය කිරීම් දහස් ගණනකට මුහුණපාන රාජ්‍ය විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් සරසවි කාල සීමාව අවසන් කරනුයේ ඒ තුළ වසර හතරකට නො අඩු  කාල සීමාවක් සම්පූර්ණ කරමිනි. මින් අනතුරුව රැකියා ලෝකය වෙත පිවිසෙන  උපාධිදාරීන් තරඟ කරනුයේ තම අධ්‍යාපනික සුදුසුකම්වලට අදාළව ‍රැකියා ලෝකය තුළ ස්ථානයක් තහවුරු කර ගැනීමට ය. නමුත් ඒ වෙනුවට ඔවුන්ට සිදුවනුයේ වසර ගණනකට ඉහත දී ගැසට් කරනු ලැබූ සීමිත හා විවෘත තරඟ විභාග අතර මෙන්ම කාලය අතර දෝලනය වීමටයි. වත්මන් කාලය වනවිට රාජ්‍ය පද්ධතියට බඳවා ගැනීම් සම්පූර්ණයෙන් පාහේ නතර කර ඇත. නමුදු ගැසට් වන රැකියාවල අඩුවක් නැත. ප්‍රශ්නය නම් එසේ ගැසට්වන විභාග , තනතුරු ආදිය පූරණය වන්නේ කෙළෙසෙ ද යන්නයි. පෞද්ගලික ක්ෂේත්‍රය කියා විශාල වෙනසක් නැත.   
පෞද්ගලික ක්ෂේත්‍රය වුවද කෙතරම් සුදුසුකම් පූරණය කරන ලද උපාධිදාරීන්ටත් ඔවුන්ගේ විශේෂිත වූ සම්බන්ධතා මත පදනම් වූ ක්‍රමවේදයන් ඔස්සේ රැකියාවලට පිවිසිය යුතු බව බොහෝ කාලයක් යෑමට මත්තෙන් අවධාරණාත්මකව පෙන්වා දෙයි. ඉතින් මෙරටට සිදුවන්නේ කුමක් ද? "බුද්ධි ගලනය" "බුද්ධි ගලනය" යැයි කෙතරම් මිමිණුවත්, තර්ක, විතර්ක,වාද, සංවාද, විසංවාද කෙතරම් සිදු කරත් මෙරටින් තම අභිවෘද්ධිය පිණිස විදේශ ගතවන උගත්, බුද්ධිමත් යැයි සම්මත ප්‍රජාව මෙරට සුරක්ෂිත කර ගැනීමට එකඳු හෝ පියවරක් ශ්‍රී ලාංකේය රජය ප්‍රමුඛ වගකිව යුතු කිසිවෙකු හෝ ගනු ඇතැයි සිතීම උගහට ය. 
ඉතින් කම්කරු දිනය, කම්කරු අයිතිවාසිකම් පිළිබඳ විමසුමට ලක්වන යුගයක ප්‍රධාන වශයෙන්ම ලාංකේය අධ්‍යාපනය, අධ්‍යාපනික අයිතිවාසිකම් සුරැකීම, සුදුස්සාට සුදුසු තැන ලබා දීම යන සරළ මූලික ක්‍රමවේදයන් ඔස්සේ ඉදිරියට යෑම ආර්ථික වශයෙන් පසුබෑමකට ලක් වී සිටින රටක ජාත්‍යන්තර කම්කරු දිනය සමරමින් සිටින කාල වකවානුවක වටින ක්‍රමෝපායක්  බව සටහන් කර තබමි.

 


ජයනි අනුෂිකා පෙරේරා

 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required