/
/
title icon කුළුදුල් ඡන්ද දායකයා
කුළුදුල් ඡන්ද දායකයා
Sewwandi Ranasinghe
3 weeks ago
Share:
කුළුදුල් ඡන්ද දායකයා

ඡන්ද දායකයා සහ සර්වජන ඡන්ද බලය අතර ඇත්තේ අවියෝජනීය බැදීමකී. 
සර්වජන ඡන්ද බලය යනුවෙන් අදහස් කරනු ලබන්නේ රටක සුදුසුකම් සපුරනු ලබන සියලු පුරවැසියන්ට ජාතිය, ආගම, භාෂාව, වර්ගය, කුලය, අධ්‍යාපනය, දේපළ හිමිකම , උපත, උපන් ස්ථානය, ස්ත්‍රී පුරුෂ භාවය ආදී කිසිඳු භේදයකින් තොරව පාලන බලයට හවුල්වීමට ඇති අයිතිය හා තමන්ගේ කැමැත්ත පරිදි නියෝජිතයින් තෝරා පත්කර ගැනීමට ඇති අයිතියයි. එනම් සර්වජන ඡන්ද බලය මගින් පරමාධිපත්‍ය බලය ජනතාව සතු කරයි.  තමන් පිළිබඳව හා රට පිළිබඳව තීරණ ගැනීමේ අයිතිය රටවැසියා සතු වේ.

ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ මූලික පදනම වන්නේ සර්වජන ඡන්ද බලයයි. ජනතාව රාජ්‍ය පාලනයට සම්බන්ධ වන්නේ සර්වජන ඡන්ද බලය හරහාය.  සර්වජන ඡන්ද බලය මෙරටට මුල්වරට හදුන්වා දෙනු ලැබුවේ 1931  ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාවකට අනුවයි. 1931 දී ඩොනමෝර් යෝජනාවකට අනුව  වයස අවුරුදු 21 සම්පූර්ණ කළ  සියලුම ලාංකීය පුරවැසියන්ට ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව  වෙනත් විශේෂ සුදුසුකමක් නොසලකා සර්වජන ඡන්ද බලය හිමිවිය. ඉන් පසුව මේ තත්වය වෙනස් වුයේ 1959 මැතිවරණ සමය තුළ දී ය.1959 අංක 11 දරන මැතිවරණ සංශෝධන පනත මගින් සර්වජන ඡන්ද බලය සඳහා හිමිකම් ලබන වයස අවුරුදු 21 සිට අවුරුදු 18 දක්වා අඩුකර තිබේ. 1972 ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව සර්වජන ඡන්ද බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ලැබෙන බලයකි. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 03 වගන්තියෙහි සදහන් වන්නේ "පරමාධිපත්‍යය" ජනතාව සතු බවත්, එය අන්සතු කළ නොහැකි බවත්, පැවරිය නොහැකි බවත්ය. 

මේ අනුව ඡන්ද බලය ජනතා පරමාධිපත්‍යයේ කොටසකි. එසේම ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය ජනතාව විසින් තෝරා පත්කර ගන්නා පාර්ලිමේන්තුව ( දේශපාලන නියෝජිතයින් ) හරහා ද, ජනමත විචාරණයක දී ඍජුවම ජනතාව විසින් ද ක්‍රියාත්මක වේ. රටේ ආරක්ෂාව ඇතුළු විධායක බලය ජනතාව තෝරා පත්කර ගන්නා ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කළ යුතු අතර අධිකරණ බලය අධිකරණ හරහා පාර්ලිමේන්තුව ක්‍රියාත්මක කළ යුතුය. රටේ ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය ක්‍රියාත්මක කළ හැකි වන්නේ ඡන්ද බලය හරහා ජනතාවට ය. එබැවින් සමස්ත බල ව්‍යුහයම සර්වජන ඡන්ද බලය මත පවතියි. 

වයස අවුරුදූ 18 ට වැඩි සියලුම පුරවැසියන්ට සර්වජන ඡන්ද බලය ලබා දීමේ අයිතිය මුලසුනට පැමිණියේ 1959 මැතිවරණ සංශෝධන පනතින් ය. ඒ අනුව අද දක්වාම මේ පනත මේ විදිහටම ක්‍රියාත්මක වේ. මෙවර මැතිවරණයේදී 
නව ඡන්ද ලක්ෂ 10 ක් පවතින බව මැතිවරණ කොමිසමේ දත්ත සහ සංඛයා ලේඛන අනුව හෙළි වී තිබේ. 2019 ජනාධිපතිවරණයේදී ලියාපදිංචි ඡන්ද දායක සංඛ්‍යාව එක්කෝටි පනස් නව ලක්ෂ අනූ දෙදහස් අනූ හයකි. 2023 ඡන්ද නාමලේඛනයේ ඡන්ද දායක සංඛ්‍යාව එක්කෝටි හැත්තෑ ලක්ෂ හැටතුන් දහස් තුන්සිය තිස්හතරකි. ( මූලාශ්‍රය : අන්තර්ජාලය ඔස්සේ ලබා ගන්නා සංඛ්‍යාලේඛන ආශ්‍රයෙනි ) මෙවර ජනාධිපතිවරණය පැවැත්වෙනුයේ 2024 නව ඡන්ද හිමි නාම ලේඛනයට අනුව වන නිසා තවදුරටත් නව ඡන්ද දායක සංඛ්‍යාව වැඩිවනු ඇතැයි අපේක්ෂා කෙරේ. 

මෙහිදී නව ඡන්ද දායකයින්ගේ මනාපය පළ කිරීමේදී   බලපෑම් කරනු  ලබන සාධක කිහිපයක් හදුනාගත හැකිය. 

පවුල 
වයස
ජාතිය
ආගම 
අධ්‍යාපන මට්ටම 
සමාජීය තත්වය 
ස්ත්‍රී පුරුෂභාවය 
සමවයස් මිතුරු කණ්ඩායම් 
බාහිර පුද්ගලයින් සහ ආයතන 
ජනමාධ්‍ය
සමාජ මාධ්‍ය
රැකියාව 
දේශපාලන ක්‍රියාකාරකම් 
ළමා අවධිය 

නව ඡන්ද දායකයින් බොහෝ විට තම පවුල ආදර්ශ කර ගෙන තම කුළුදුල් මනාපය පල කරයි. පවුල තුළින් ගොඩ නැගුණු පවුල් දේශපාලනික මතවාදය මුල් කරගෙන කටයුතු කරයි. මෙය අනුකරණය ලෙස ද හදුනාගත හැකිය. මේ නවක පිරිසට බොහෝ විට ඡන්ද බලය ලැබුණ ද අත්දැකිම් වලින් සන්නද්ධ වී නැත. ඔවුන් බොහෝ විට තම දෙමාපියන්, පවුලේ වැඩිහිටියන්ගේ මතය ඔස්සේම යෑමට පෙළඹෙයි. ඒ අයුරින් තම කුළුදුල් ඡන්දය ලබා දෙයි. තවත් ආකාරයකට කිවහොත් මෙම පිරිස අතර ඇතැම් පිරිසක් හොදින් දේශපාලන වටපිටාව වටහා ගනී. නමුත් තම පවුල් දේශපාලනික මතයට එදිරිව නොයයි. එලෙස එරෙහිව යෑම තම පවුලට කරන අගෞරවයක් යැයි සිතයි. මේ අතර ඇතැම් පිරිසක් තම ස්වාධීන මතයම දරයි. පවුලේ මතය ඔස්සේම නොයයි. මෙලෙස ස්වාධීනව කටයුතු කරන්නේ දේශපාලන  සමාජීය අදහස් හා මතවාදයන්ගෙන්  පරිපූර්ණ වූ කොටසකි. 

බොහෝ විට කුළුදුල් ඡන්ද දායකයින් ගණයට වැටෙන්නේ මේ වන විට  වයස අවුරුදු 18 සම්පූර්ණ කළ පිරිස වෙති. එහිදී ප්‍රධාන වශයෙන් වයස අනුව දෙවර්ගයකට වර්ගීකරණය කළ හැකිය. 

01. 2024 වර්ෂය වන විට වයස අවුරුදු 18 සම්පූර්ණ කළ පිරිස 

02. 2019 සිට 2024 දක්වා කාලය තුළ වයස අවුරුදු 18 සම්පූර්ණ කළ අවසන් වූ පිරිස 

මේ අනුව ඔවුන්ගේ වයස අනුව මනාපය තිරණය වේ. එයට හේතුව වන්නේ බොහෝ විට මේ වසර වන විට අවුරුදු 18 සම්පූර්ණ කළ පිරිස අතරින් පාසල් අධ්‍යාපනය හදාරන පිරිසගේ දේශපාලන මතයත්, වයස අවුරුදු 18 සම්පූර්ණ වුවද පාසල් අධ්‍යාපනය හදාරනු නොලබන පිරිසගේ දේශපාලන මතයත්, වයස අවුරුදු 18-23 වයස් පරතරයේ සිටින පිරිසගේ දේශපාලන මතයත් එකිනෙකට වෙනස් වීමයි. 

සර්වජන ඡන්ද බලය ලබා දීමේදී ජාතිය හා ආගම  යන සාධක සලකා නොබැලුවද ප්‍රායෝගිකව වත්මන් සමාජය තුළ ජාතිය හා ආගම  අනුව  ඡන්ද බලය භාවිතා කිරීමක් දක්නට ලැබේ. එනම් විවිධ ජාතීන් දරණ දේශපාලන මතය වෙනස් වේ. විවිධ පක්ෂ හා පාට දරයි. ඒ අනුව තම මනාපය පල කරයි. 

නව ඡන්ද දායකයින්ගේ කුළුදුල් මනාපය පල කිරීමේදී අධ්‍යාපන මට්ටම නමැති සාධකය බලපෑම් කරනු ලබයි. මෙහිදී විධිමත් අධ්‍යාපනය , අවිධිමත් අධ්‍යාපනය හදාරනු ලබන පිරිසගේ මතවාදයන් අතර පරස්පර විරෝධීබවක් දක්නට ලැබේ. මෙහිදී අවුරුදු 18 සම්පූර්ණ තවමත් පාසල් වයසේ පසුවන පිරිස  පාසල තුළින් ලබනා විධිමත් අධ්‍යාපනය හේතුවෙන් ඔවුන් දැනුමින් සන්නද්ධ වූ පිරිසකි. එහෙත් අවුරුදු 18 සම්පූර්ණ කළ පාසල් නොයන්නන් දරන්නේ වෙනස්  මතයකි. එයට හේතුවක් වන්නේ අවිධිමත් අධ්‍යාපනය හරහා ඔවුන් ලබන්නා වූ දැනුමේ ප්‍රමාණයේ තරම මත දරන්නා වූ දේශපාලන මතය වෙනස් වීමයි. 

ඡන්ද දායකයෙකු මනාපය පල කිරීමේදී ස්ත්‍රී පුරුෂ භාවය බලපෑම් කරනු ලබයි. එය හුදෙක් මනෝවිද්‍යාත්ම සාධකයකි. මෙවර ජනාධිපතිවරණය තුළ කාන්තා පාර්ශ්වයේ නියෝජනයක් නොමැති වීම තුළ ස්ත්‍රී පාර්ශ්වය තුළ උද්යෝගීභාවයේ මන්දගාමී බවක් පවතී ද මට සිතේ. සාමාන්‍ය ස්වභාවය අනුව කාන්තා නියෝජනයකට කාන්තාවන් දරන කැමැත්ත හා පුරුෂ නියෝජනයකට පුරුෂයන් දරන කැමැත්ත අතර සම්බන්ධයක් පවති. ඒ සදහා මූලික වන්නේ ස්ත්‍රීවාදය හා පුරුෂවාදය නමැති බැරෑරුම් සංකල්පයන් ය. නමුත් මෙවර මැතිවරණය තුළ පුරුෂ පාක්ෂකයින් පමණක් ජනපති අපේක්ෂක නියෝජීත්වය දරනු ලබයි. පුරුෂ පාර්ශ්වයේ මනාපය  එබැවින් අපේක්ෂකයින්ට නිදැල්ලේ ලැබෙනු ඇත. ස්ත්‍රී පාර්ශ්වය පුරුෂ අපේක්ෂකයින් වෙත ඡන්දය ලබා දීමේදී ඔහුගේ පෞරුෂ්‍යයත්වය, වයස , පෞද්ගලික පැතිකඩ, ගතිගුණ හා කථනයේ ස්වභාවය හා බාහිර පරිසරය සමඟ ගැටීමේ සම්භාවිතාවය යනාදි අංග යටතේ මනාපය පල කරයි. මෙම ලිපිය ලියන මා ද ස්ත්‍රීයකි. එබැවින් මා හට හැගෙන පරිදි බොහෝ ස්ත්‍රීන් කඩවසම් යහපත් පෞරුෂ්‍යයත්වයකින් හෙබී නොනැමෙන සුළු ඉදිරියට පියවර තැබීමේ බලය ඇති නායකයෙකු වෙත ගමන් කරයි. එය ස්වභාදහම තුළම නිර්මාණය වූ අපුරූ දායාදයකි. 

එදිනෙදා සමාජ ජීවිතය තුළ සමවයස් මිතුරු කණ්ඩායම් හරහා ද කුළුදුල් ඡන්ද දායකයාගේ මනාපය හැඩ ගස්වනු ලබයි. එමගින් අදහස් වන්නේ සමවයසේ පසුවන්නන් එක හා සමාන අදහස් හා මතයන් දරනු ලබයි. ඔවුන් බොහෝ විට රංචු වශයෙන් ඒකරාශී වී එක් මතයක් දැරීමේ සම්භාවිතාවය වැඩිය. සමවයසේ මිතුරු කැල විසින් එකිනෙකාගේ අදහස් සහ යෝජනා විමසා එක් අපේක්ෂයෙකු වෙත ඇදී යාම සාමාන්‍ය ස්වාහාවයයි. මෙම වයස් සීමාව තුළ රංචුවක් ලෙස එකම තීරණයකට එළඹෙන අතර ඔවුන් ඔවුන්ගේ මිත්‍රත්වය පරීක්ෂා කර ඔප්පු කර පෙන්වන්නේ මෙවන් අවස්ථාවකදීය. අප සියලු දෙනා එකම අපේක්ෂකයාට මනාපය දුන්නේ නම් අප සියලු දෙනාම එකම කැලක මිතුරෝ යැයි ඔවුන්ට හැගේ. 

නවක ඡන්ද දායකයින්ගේ මනාපය තීරණය වීමේදී බාහිර පුද්ගලයින් සහ ආයතනවල බලපෑම් නැතුවාම නොවේ. එනම් මෙම බාහිර පාර්ශ්වයන් බලහත්කාරකමක්  නොකරනු ලබයි. නමුත් යම් මතයක් ඔලුගෙඩි තුළ ගොඩ නැංවීමට උත්සහ දරයි. මෙය හුදෙක් උපකාරක පංති , විව්ධ සමිති සමාගම්, තරුණ සංවිධාන හරහා සිදු කරනු ලබයි. ඔවුන්ට නොදැනීම මෙම බාහිර පාර්ශ්වයන් ඔවුන්ගේ ජන මතය වෙනසකට ලක් කරනු ලබයි. එය බලහත්කාරකමකින් සිදු නොකරනු ලබන දෙයක් වන අතර එය දෛනිකව සාමාන්‍යකරණය  වූ  ක්‍රියාවලියක් ලෙස ක්‍රියාත්මක වේ. 

නව ඡන්ද දායකයින්ගේ මනාපය පල කිරීමේදී රැකියාව නමැති සාධකය බලපෑම් කරනු ලබයි. මෙම පිරිස අතර රාජ්‍ය අංශයේ රැකියාවන් සිදු  කරන, පෞද්ගලික අංශයේ රැකියාවන්  සිදු කරන හ  ව්‍යාපාරික අංශයේ රැකියාවන් සිදු කරන පිරිසක් සිටිති. ඔවුන් බොහෝ විට තම දේශපාලනික මතය දරන්නේ රැකියාව අනුවය. රැකියාවේ ස්වභාවය අනුව, රැකියා ජීව්තය තුළ දී හමුවන පුදගලයින් අනුව  තමන් දරන මතය එකිනෙකට වෙනස් වේ. නිදසුනක් ලෙස ගතහොත් රාජ්‍ය අංශයේ රැකියාවක් සිදු කරනු ලබන පුද්ගලයෙකු හා පෞද්ගලික අංශයේ රැකියාවක නියුතු පුද්ගලයෙකු අතර මතවාදයන්ගේ විවිධත්වයක් දක්නට ලැබේ. 

නවක ඡන්ද දායකයින්ගේ මනාපය තීරණ කිරීමේදී අවට පරිසරය තුළ සිදු වන සහ සිදු වූ දේශපාලන ක්‍රියාකාරකම් බලපෑම් කරනු ලබයි.බොහෝ විට ඔවුන් යමක් දෙස සූක්ෂමව බලා සිටීන පිරිසක් වෙති. දේශපාලන නායකයින් සහ දේශපාලන පක්ෂ විසින් සිදු කරන ලබන ක්‍රියාකාරකම් සහ සිදු කර තිබූ ක්‍රියාකාරකම් වෙත අවධානය යොමු කරනු ලබයි. මැතිවරණ සමය තුළ දී එක් එක් අපේක්ෂකයාගේ හා පක්ෂවල දේශපාලන ක්‍රියාකාරකම් හොදින් කැපී පෙනේ. ඒ අනුව තම මනාපය පල කිරීමට යොමු වෙති. 

නව ඡන්ද දායකයින්ගේ කුළුදුල් ඡන්දය ප්‍රකාශ කිරීමේදී ඔහුගේ ළමා අවධිය තුළ ඔහු දරන ලද මතය ඉස්මතු වී පෙනේ. මෙය හුදෙක් මානසික ක්‍රියාවලියක් ලෙස ද හදුනාගත හැකිය. ඡන්දය අහිමි ළමා කාලය තුළ දී බොහෝ පිරිසක් තම මතය ඉදිරිපත් කිරීම සදහා සුදුසු කාලය පැමිණෙන තෙක් බලා සිටින්නේ නොඉවසිල්ලෙනි. මන්දයත් ඔවුන් කුඩා කල සිට දරණ මතය අනුව තම කුළුදුල් ඡන්දය භාවිතා කිරීමේ සම්භාවිතාවය ඉතා ඉහළ ය. එනම් මෙමගින් අදහස් කරනු ලබන්නේ ළමා කාලය තුළ ළමා මනස තුළ මුල් බැසගත් හා චිත්තාකර්ෂනීය වූ පක්ෂ නාමයක්, සංකේතයක් , පක්ෂ වර්ණයක් ඇති බවයි. ඔවුන් තම වාරය පැමිණෙන තුරු බලා සිටින්නේ තිත්තයාට ද වාරයක් පැමිණෙන ලෙසිනි. එවිට ඔවුන් වාරය පැමිණි විට සමස්ථ දේශපාලන ක්‍රියාදාමය තුළ මනසින් නොවිමසා හැගීම්වලින් තීරණය ගනු ලබයි. 

කුළුදුල් ඡන්ද දායකයාගේ කුළුදුල් මනාපය තීරණය වීම කෙරෙහි ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය බලපෑම් සිදු කරනු ලබන බව අමුතුවෙන් කතා බහට ලක් කළ යුතු කරුණක් නොවේ. මන්ද අද වන විට පවතින තාක්ෂණය අනුව  මැතිවරණ සමය තුළ  ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය හරහා විශාල බලපෑමක් සිදු කිරීමේ හැකියාවක් පවතියි. පුවත්පත, ගුවන්විදුලිය, රූපවාහිනිය යනාදී ජනමාධ්‍ය අභිබවා සමාජ මාධ්‍ය හරහා ජනමතය ගොඩ නැංවීමේ හා වෙනස් කිරීමේ ක්‍රියාවලිය සිදු වෙමින් පවතී. බොහෝ විට ජනමාධ්‍ය ඔස්සේ විකාශනය කරනු ලබන පුවත්, ඡායාරූප, වීඩීයෝ, දේශපාලනික වැඩසටහන් යනාදිය හරහා ජන මතය හැඩගස්වනු ලබයි. නිදසුනක් ලෙස එක් එක් ජනමාධ්‍ය ආයතන එක් එක් අපේක්ෂකයින්ට පක්ෂපාතීත්වය දරනු ලබන අතර ඇතැම් මාධ්‍ය ස්වාධීන වේ. බොහෝ විට රාජ්‍ය මාධ්‍ය පමණක් ස්වාධීන වනු ඇත. නවක ඡන්ද දායක පිරිස බොහෝ විට ජනමාධ්‍ය සමඟ ගැටීමේ සම්භාවිතාවය අඩුය. නමුත් ඔවුන්ගේ නෙත ගැටෙන පුවත් විකාශනයන්, එක් එක් අපේක්ෂකයින්ගේ දේශපාලන රැලි , දේශපාලන සංවාදයන් හා දේශපාලන දැන්වීම් අනුව මතවාදයන් ගොඩ නංවනු ලබයි. 

සමාජ මාධ්‍ය ඔස්සේ ජන මතය ගොඩ නැංවීමේ හැකියාවේ ශක්‍යතාවය ඉතාමත් ඉහළය යන මාගේ මතය තුළ කිසිදු අඩුපාඩුවක් මා නොදකී. අද වන විට තරුණ පරම්පරාව තම අතැති ජංගම දුරකථනය හරහා සමාජ මාධ්‍යවල දිනක් තුළ වැඩි පැය ප්‍රමාණයක් සැරිසරනු ලබයි. මැතිවරණ සමය තුළ ඡන්ද අපේක්ෂකයින් ඔවුන්ගේ දේශපාලන කැම්පේන් සිදු කිරීමට සමාජ මාධ්‍ය භාවිතා කරනු ලබයි. මෙහිදී සමාජ මාධ්‍ය තුළ ද ෆේස්බුක් මාධ්‍ය, ටික් ටොක් මාධ්‍ය, යූ ටියුබ් මාධ්‍ය , වට්සැප් මාධ්‍ය වැනි මාධ්‍ය ඔස්සේ දේශපාලන ප්‍රචාරණ කටයුතු සීඝ්‍ර ලෙස පැතිරේ. මැතිවරණ සමය තුළ එක් එක් පක්ෂ මතයන් දරන පිරිස් විසින් ජනයා ඒකරාශී කරගැනීමේ අදහසින් විවිධ වට්සැප් සමූහ, ෆේස්බුක් පිටු, ටික් ටොක් ගිණුම් නිර්මාණය කරගනු ලබයි. එම ගිණුම් හරහා තම පක්ෂ මතයන් සමාජගත කරනු ලබයි. එහිදී ඔවුන් උපක්‍රම කිහිපයක් භාවිතා කරනු ලබයි. 
  
පෝස්ටර් හා වීඩීයෝ හරහා දේශපාලන පක්ෂ නායකයින්ගේ පෞරුෂ්‍යයත්වය උලුප්පවා දැක්වීම 
පෝස්ටර් හා වීඩීයෝ හරහා දේශපාලන පක්ෂ හා සංකේතයන් උලුප්පවා පෙන්වීම 
දේශපාලන පක්ෂ රැලිවල වීඩියෝ කොටස්,  ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ මුදා හරමින් පක්ෂය වටා විශාල ජන ගඟක් සිටින බව ඒත්තු ගැන්වීම 
ප්‍රසිද්ධියේ පවත්වනු ලබන දේශපාලන සංවාද හා කතිකාවන් තුළ තම නායකයා දරන අදහස් හා යෝජනා විශේෂීකරණය කර පෙන්වීම 
තම දේශපාලන ප්‍රතිපත්ති ප්‍රකාශනයන්  ජනතාව කරා ගෙන යාම

 ප්‍රසිද්ධ පුද්ගලයින් මාර්ගයෙන් දේශපාලන පක්ෂය හා නායකත්වය සුවිශේෂී කර පෙන්වීම. බොහෝ විට මේ සඳහා ප්‍රසිද්ධ ගායකයින්, රංගන ශිල්පීන් , ප්‍රසිද්ධ කතුවරුන්, ප්‍රසිද්ධ පුදගලයින්,විශ්ව විද්‍යාල ප්‍රජාව සහ සමාජයේ ඉහළ වැදගත්කමක් හිමි රැකියාවන්හි නියුක්ත වන්නන් යොදා ගනු ලබයි. 

ඒ අනුව දේශපාලන අපේක්ෂක කණ්ඩායම් සමාජ මාධ්‍ය හා ජනමාධ්‍ය හරහා නව ඡන්ද දායක මනස වෙනස් කිරීමේ උත්සහයක නියුතු වෙති.එහිදී සමාජ මාධ්‍ය හරහා  දේශපාලන මතය තීව්‍ර කරගැනීමට හැකියාව ලැබේ . ඇතැම්විට සිදු වන්නේ මීට හාත්පසින්ම වෙනස් වූ ක්‍රියාදාමයකි. පවතින දේශපාලන ප්‍රතිරූපය ද බිද වැටීමකට ලක් විය හැකිය. එවැනි අවස්ථාවන් සමාජ මාධ්‍ය තුළ ඕනතරම් දැක ගත හැකිය. සමාජ මාධ්‍ය ඔස්සේ එල්ලවන  දේශපාලන  මඩ ප්‍රහාර එයට නිදසුනකි. එබැවින් සමාජ මාධ්‍ය ඉතා සීරුවෙන් භාවිතා කළ යුතු මාධ්‍යයකි.

මෙම ලිපිය ලියන මාගේ අදහස වන්නේ මෙවර මැතිවරණයේ නව ඡන්ද දායකයින්ගේ දේශපාලන මතය මැතිවරණ ප්‍රතිඵලය කෙරෙහි දැඩි බලපෑමක් සිදු කරනු ලබන  බවයි. එයට හේතුව වන්නේ කුළුදුල් ඡන්ද දායකයින්ගේ මතය එක් දිශාවකට ගමන් කිරීමේ සීඝ්‍රතාවය ඉතා ඉහළය. එබැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වීම ඡන්ද අපේක්ෂකයින්ට තම මැතිවරණ ජයග්‍රහණයට අත් උදවුවක් සපයනු  ඇත. 

සෙව්වන්දි රණසිංහ. 



 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required