ලෝක ළමා දිනය අද දිනට යෙදී තිබෙන අතර මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්නයි.
ලෝක ළමා දිනය වෙනුවෙන් සුබ පැතුම් එක් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිකුත් කර ඇති නිවේදනය මෙසේයි.
ලෝකය ළමයින්ටයි....
ඔවුන්ගේ ලෝකය අපේ දෑතින් ගොඩ නඟමු....
මේ සහශ්‍රකයේ දරුවන් මුහුණ දෙන අභියෝග ලෙස දිළිඳුකම, මන්ද පෝෂණය, සෞඛ්‍ය සහ සනීපාරක්ෂාව, පරිසර විනාශය, අධ්‍යාපනයේ අසමතුලිත බව, සමාජ අවස්ථාවල අසමාන බව, මත්ද්‍රව්‍ය මෙන්ම තාක්ෂණය අනිසි ලෙස භාවිතයේ ගොදුරු බවට පත්වීම යනාදිය අපි හඳුනාගෙන ඇත්තෙමු.
එසේම දරුවන්ගේ මනෝ සමාජයීය සංවර්ධනයට බාධා කරන සමාජයීය සාධක මෙන්ම ආතතියෙන් පිරුණු විභාග කේන්ද්‍රීය අධ්‍යාපන රටාව යනාදී අගතීන්ගෙන් වත්මන් ළමා පරපුර මුදවාගෙන දරුවන්ට හිමි ළමා ලෝකය නැවත දරුවන්ට දිනා දීම අපගේ පුනරුද යුග කාර්යයේ මහැඟි අරමුණයි.
කයින් මනසින් මෙන්ම ආධ්‍යාත්මයෙන් ද නිරෝගී සුපසන් ළමා පරපුරක් බිහිකිරීම මගින් අනාගත ලොව දිනන නිදහස් පරිකල්පනයකින් යුතු නිවහල් උදාර මිනිසා නිර්මාණය වන බව අපි විශ්වාස කරන්නෙමු.
ඒ සඳහා අවශ්‍ය ආර්ථික නිදහස මෙන්ම මානව දයාව, අන්‍යෝන්‍ය විශ්වාසය, ගරුත්වය සහ පිළිගැනීමෙන් යුක්ත සමාජය නිර්මාණය කිරීම සහ ස්වාභාවික සම්පතින් සපිරි පාරිසරික උරුමය රැක දීමටත් අවැසි දේශපාලනික පරිවර්තනය අපි ප්‍රමුඛ කාර්යය සේ සළකා ඉටු කිරීමට කැප වෙමු.
එකී වගකීමට අපි සැම වග වෙමු