/
/
title icon
රංගනයට ආදරය කරන ඇය.
රංගනයට ආදරය කරන ඇය.
Thisara Rajapaksha
1 month ago
Share:
රංගනයට ආදරය කරන ඇය.

ජීවිතේ රඟමඩලක්නම් ලෝක‍යේ ජීවත්වෙනවා කියන්නෙ ම රඟපාන එකට.ඒ රඟමඩල නිමකරන තුරු රඟපාන ලෝකයා අතර විෂයක් ලෙස රංගනයට ආදරය කරමින්,රංගනය හදාරමින්, ජයග්‍රහණ ලබමින්, එය ම වෘත්තියක් කරගත්  රංගන ශිල්පිනියක්.

අසා දැනගනිමු ඇයගේ තතු.

ආයුබෝවන්!

ආයුබෝවන්!

මුළින් ම දැනගන්න කැමතියි ඔබ ගැන.ඔබ කවුද? කොහොමද මේ දිනවල ජීවිතය?

මම සඳුනි නවාංජනා ජයසේකර. කැලණිය විශ්ව විද්‍යාලයෙන් නාට්‍ය හා රංගකලාව විශේෂවේදි උපාධිය අවසන් කරලා වේදිකා නාට්‍ය නිර්මාණ සමඟ සම්බන්ධ වෙලා වැඩ කරනවා.මේ දවස්වල නම් රාජ්‍ය නාට්‍ය සහ යොවුන් නාට්‍ය උළලේ නව නිශ්පාදන කීපයක පුහුණුවීම් කටයුතු එක්ක කාලය ගත කරනවා.

ඔබේ නාට්‍ය ක්ෂේත්‍රයේ පෙර ගමන්මග එහෙමත් නැත්නම් මේ ක්ෂේත්‍රයේ ඔබේ අඩිතාලම ගැන කිව්වොත්?

මම මුලින්ම වේදිකා නාට්‍ය ගැන දැන ගන්නෙ, රංගනයෙන් දායකත්වය දෙන්නෙ පාසලේ දී.මගේ පාසල කුලියාපිටිය මධ්‍ය විද්‍යාලය. මගේ ගුරුතුමිය වසන්ති පුශ්පලතා. ඇය තමයි ලොකුම හේතුව එදා ඒ ඉගෙන ගත්ත විෂය අතාරින්නෙ නැතුව එදා සිට අද දක්වා ඒ එක්ක රැදෙන්න.

රංගනයෙන් ඔබ ලද ජයග්‍රහණ මොනවද?

පාසල් වේදිකාවේ සමස්ත ලංකා හොඳම නිලිය තුන්වරක් දිනා ගන්න පුලුවන් වුණා. අන්තර් විශ්වවිද්‍යාල නාට්‍ය තරඟවලිනුත් තුන්වරක් හොඳම නිලිය සම්මානය දිනාගන්න පුලුවන් වුණා. 2023 වසරේ යොවුන් සම්මාන නාට්‍ය උළලේ කෙටි නාට්‍ය අංශයේ  හොදම නිලිය සම්මානය සහ රාජ්‍ය නාට්‍ය උළලේ හොඳ ම නිලිය දෙවන ස්ථානයත් දිනා ගන්න පුලුවන් වුණා. 
මේ කලාව මම කරන්නෙ ජයග්‍රහණයන් වෙනුවෙන්ම නෙවෙයි. නමුත් ලැබූ හැම ජයග්‍රහණයක්ම කියන්න බැරි තරම් සතුටක්. තව නිර්මාණ කරන්න ලොකු හයියක්.

ඒ ජයග්‍රහණ කරා යද්දී හමු වුණු බාධක , අභියෝග මොනවද?

අද සමාජයේ ජීවත් වෙන එක ම අභියෝගයක් වෙලා තියෙනවා ආථික සමාජ තත්වයන් එක්ක බලද්දී.ඒ තත්වයන් එක්ක වේදිකා නාට්‍ය කලාව කරන එකත් ඉතා දුෂ්කර කාර්‍යයක්.ඒකෙ තියෙන දුෂ්කර බව නොදැක ඒකට ආදරය කරන එක, ඒ තුළින් ලබන තෘප්තිමත් බව නිසා ම තමයි මම ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්නේ. ආර්ථික ලාබ ලැබීමේ අරමුණින් රැකියාවක් විදියට මේ ක්ෂේත්‍රයේ නියැලීමට හැකියාවක් අද ඒ තුළ නැහැ.නමුත් මම මේ ක්ෂේත්‍රයේ කටයුතු කරන්නේ විනෝදාංශයක් විදියට නෙවෙයි.ඒ එක්ක බලද්දී ආර්ථිකය තමයි ලොකු ම අභියෝගය.

වේදිකාවේ ඔබට ලැබෙන චරිතයට උපරිම සාධාරණයක් ඉටු කරන්නේ කොහොමද ?

මම හිතන්නේ ඒක නළු නිලියන් වන හැමෝම කරන දෙයක්.වේදිකාව උඩ චරිතයක් කරන්න ඉගෙනීමක් තියෙන්න ඕනෙ.වේදිකාව,සමාජ චරිත ආදී හැම දෙයක් ගැන ම අවබෝධයක් තියෙන්න ඕනෙ.නාට්‍ය විෂය මමත් ඉගෙනගත්ත විෂයක්.නමුත් මට ඒ ඉගෙනගත්ත විෂයට විතරක් අවධානයක් දෙන්න බෑ රංගනය කියන තැනදී.මොකද මට වේදිකාව කියන තැන දී ගුරුවරයෙක්,වෛද්‍යවරයෙක්,හිඟන්නෙක් ආදී විවිධාකාර භූමිකා හම්බවෙන්න පුළුවන්.ඒ නිසා මට මේ සමාජය ගැන ඉතා පුළුල් අවබෝධයක් තියෙන්න ඕනේ.ඉතිං මට රංඟපෑමට හම්බවෙන චරිතෙ දී මම බලනවා ඒ චරිතේ මොකක්ද? එයාට ගනුදෙනු කරන්න තියෙන්නේ කොහොමද?ගනුදෙනු කරන්නේ කාත් එක්කද? ඒ චරිතය ඉපදුන දවසේ ඉඳන් ඒ චරිතය ගත කරන මොහොත සහ ඒ චරිතය ඉදිරියට කොහොමද ගිනියන්නේ කියන එක ගැන මම හිතනවා.ඒ වගේ ම මම අධ්‍යක්ෂකවරයාට ඒ චරිතය ඕනේ මොන විදියටද කියලා අහනවා.ඒ සමඟ වේදිකාගත වන අනෙක් රංගන ශිල්පීන් සමඟ කතාබහ කරනවා.ඒ හැම කෙනෙකුගේ ම සහයෝගය ඇතිව, අනුශාංගික ශිල්පීන්ගේ සහයෝගය එක්ක මම ඉගෙනගත්ත දේ එක්ක අළුතින් යමක් කිරීමට බලාපොරොත්තු වෙනවා.

ඔබ රංගනයෙන් දායක වුණු චරිත අතරින් ඔබ කැමති ම චරිතය මොකක්ද?

මම රංගනයෙන් දායක වුණු හැම චරිතයකට ම මම කැමතියි.අකමැත්තෙන් රඟපාපු එක චරිතයක්වත් නෑ.මම බාරගන්නෙ ම මම කැමති චරිත විතරයි.මොකද රඟපානවා කියන දේ අකමැත්තෙන් කරන්නත් බැහැ.ඉතිං මම විශේෂයෙන් කැමති චරිතයක් තමයි යොවුන් සම්මාන නාට්‍ය උළෙලේ පැනලා යං කියන කෙටි නාට්‍යයේ මං කරා කුන්ඩම්මා කියන දෙමළ තරුණියකගේ චරිතයක්.ඒකට හේතුව, හරිම සැහැල්ලුවෙන් ඒ චරිතය ගොඩනගන්න තිබීම.දෙමළ විදියට කතා කරන එක,එයාගේ හැසිරීම ඒ දේවල් එක්ක හරිම සැහැල්ලුවෙන් ගෙඩනඟනු ලැබූ චරිතයක් ඒක.ඒ නිසා මම ඒකට ගොඩාක් කැමතියි.

රංගන ජීවිතයේ ඔබ වඩාත් කැමති කැමරාව තුළ ජීවත් වීමට ද? වේදිකාව තුළ ජීවත් වීමට ද?

මට අනුව ඒ දෙක සාපේක්ෂයි.මොකද මම කියන්නේ නෑ මම කැමතිම වේදිකාවට,මම කැමතිම කැමරාවට කියලා.ඒ දෙක එකකට එකක් වෙනස් සහ ඒ දෙකෙන් ලැබෙන අත්දැකීම් වෙනස්.ඒත් දෙකම ඉස්සරහ කරන්නේ රංගනය නිසා රංගනයට මගේ තියන කැමැත්ත කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.වේදිකාවෙන් හැදුන වේදිකාවෙන් ඉගෙනගත්ත නිසා ඇල්මක් තියනවා වේදිකාවේ ජීවත්වෙන්න ආසයි, නමුත් ඒ කැමරාවට අකමැතී කියන එක නෙවෙයි.ඒ දෙක මට සාපේක්ෂයි.

ඔබේ අනාගත බලාපොරොත්තු මොනවාද ?

අනාගත බලාපොරොත්තුවත් මේ ක්ෂේත්‍රයේ ම රැඳෙන එක.ක්ෂේත්‍රයෙන් නැති වෙලා යන්නේ නැතිව වේදිකාව, සිනමාව, ටෙලිනාට්‍ය වැනි මොන ම ක්ෂේත්‍රයක හරි අළුත් දේ තුළින් අළුත් යමක් කිරීම තමයි මගේ ලොකු ම බලාපොරොත්තුව.

ඔබේ ඒ බලාපොරොත්තු ඒ ආකාරයටම ඉෂ්ඨ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!

අවසාන වශයෙන් දැනගන්න කැමතියි අනාගතයේ රංගන ක්ෂේත්‍රයට එන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක්ට ඔබ දෙන උපදේශය මොකක්ද ?

දෙන්න තියෙන උපදේශය තමයි කරන දේ කැමැත්තෙන් කරන්න.මොකද මම මේක ඉගෙනගෙන මගේ කැමැත්ත මෙතන තියාගෙන මම වෙන වෘත්තියක් කරානම් මට මේ ලබන තෘප්තිමත් බව ලබන්න බැහැ.නමුත් මේ සමාජීය ආර්ථික තත්වයන් එක්ක ඒක කරන්න අමාරුයි.නමුත් ඒ අභියෝගයට මුහුණ දෙමින් හරි, කරන දේ සතුටින් හරියටම කරන්න. ඉගෙනගෙන මේ දේ කරන්න.නැතුව ආවාට ගියාට මේක කරන්න එපා.එහෙම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි මේ රංගනය කියන එක. ඉතිං මේ ක්ෂේත්‍රය සරලව නොතකා හරියට ඉගෙනගෙන හරියට ම රංගනයේ යෙදෙන්න කියන දේ තමයි මට දෙන්න තියෙන්නේ.

බොහොම ස්තූතියි රංගන ශිල්පීනියනි.ඔබට සුබ අනාගතයක්!

තිසාරා රාජපක්ෂ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required