
කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.
එලෙස අතුරු තහනම් නියෝග නිකුත් කළේ හාරිස්පත්තුව, පන්විල, පාතදුම්බර, උඩ පළාත, කුලියාපිටිය යන ප්‍රාදේශීය සභාවන්ට අදාළවයි.
සිය නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් කීපයක් ඉදිරිපත් කළ රිට් පෙත්සම් විභාගයට ගැනීමට අවසර ලබාදෙමින් අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළා.
ඒ අනුව මෙම පෙත්සම්වලට අදාළ විරෝධතා මැයි 05 වැනිදාට පෙර ගොනුකරන ලෙස විනිසුරු මඩුල්ල මෙහිදී නියෝග කර තිබෙනවා.
ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා මැයි මස 07 වැනිදාට පෙර ගොනුකරන ලෙසත්, විනිසුරු මඩුල්ල විසින් පෙත්සම්කාර පාර්ශවයට නියම කළා.
ඉන් අනතුරුව පෙත්සම් විභාගය මැයි මස 16 වැනිදා පැවැත්වීමටයි නියෝග කෙරුණේ.
එදින තෙක් අදාළ අතුරු නියෝගය බල පැවැත්වෙන බවත් නියෝගයේ සඳහන්.
නියමිත කාලසීමාව තුළ අදාළ නාමයෝජනා භාර නොදුන් බවට පවසමින් නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට තේරීම් භාර නිලධාරීන් ගත් තීරණය නීතියට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් කිහිපයක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.