
ලොව පුරා වෙසෙන සුවහසක් කිතූණු බැතිමතුන්ගේ ආත්මීය පියාණන් මෙන්ම සසුනිසුරාණන්ද වූ දිළිඳුන්ගේ පාප් වහන්සේ යන විරුදාවලිය ලබමින් වතිකාන රාජ්‍යයේ නායකයා ලෙස ලෝක සාමය වෙනුවෙන් මැදිහත් වූ ස්වර්ගස්ථ වදාල අති උතුම් ෆ්‍රැන්සිස් සුදොතුම් පියාණන්ගේ අවමංගල්‍ය පූජෝත්සවය අප්‍රේල් 26 වන සෙනසුරාදා මෙරට වේලාවෙන් පස්වරු 1:30ට සිදුවන බව වතිකානය නිවේදනය කර ඇත.
88 වන වියේ පසු වූ උන්වහන්සේ වසර 12ක් රෝමානු කතෝලික පල්ලියේ අධ්‍යාත්මික නායකයා ලෙස සේවය කර වතිකානයේ කැසා සැන්ටා මාර්ටාහි පිහිටි නිවහනේදී ස්වර්ගස්ථ වූහ. වතිකානය සඳහන් කළේ, ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ආඝාතයකින් සහ ඉන් පසුව ඇති වූ හෘදයාබාධයකින් මිය ගිය බව ය.
2013 මාර්තු මාසයේදී XVI වන බෙනඩික්ට් පාප් වහන්සේ ඉල්ලා අස්වීමෙන් පසු කාදිනල් හොර්හේ මාරියෝ බර්ගෝලියෝ ලෙස කටයුතු කළ උන්වහන්සේ කිතුණු බැතිමතුන්ගේ ලෝක නායකත්වයට තේරී පත් විය. ශුද්ධෝතම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ පදවි කාලය තුළ පෙර නොකළ බොහෝ දෑ සිදුවිය. කිසි විටෙකත් කතෝලික පල්ලියට ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම නතර නොකළ උන්වහන්සේ සාම්ප්‍රදායිකවාදීන් අතර ද ජනප්‍රියත්වයක් උසුලන්නට වූහ. උන්වහන්සේ ඇමෙරිකාවේ නොඑසේ නම්, පෘථිවියේ දකුණු අර්ධ ගෝලයෙන් බිහිවූ පළමු පාප් වහන්සේ වූහ. කිතුණු බැතිමතුන්ගේ දින දර්ශනයේ වැදගත්ම සිදුවීමක් ලෙස සැලකෙන පාස්කු ඉරුදින වතිකානයේ ශාන්ත පීතර චතුරශ්‍රයේ පෙනී සිට පැය 24කටත් අඩු කාලයකින් අනතුරුව පාප් වහන්සේ ස්වර්ගස්ථ වූහ.
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ 1936 දෙසැම්බර් 17 වන දින ආර්ජන්ටිනාවේ බුවනොස් අයර්ස්හිදී හොර්හේ මාරියෝ බර්ගෝලියෝ ලෙස උපත ලැබූහ. සිය ජීවිතයේ අවසාන මාසවලදී, පාප් වහන්සේට අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් සති කිහිපයක් රෝහල්ගතව සිටීමට සිදුවිය. පෙබරවාරි 14 වන දින, උන්වහන්සේ පෙනහලු දෙකෙහි ම ඇති වූ නියුමෝනියා රෝගී තත්ත්වය සඳහා ප්‍රතිකාර ගැනීමට රෝමයේ ජෙමෙල්ලි රෝහලට ගෙන යන ලදී. උන්වහන්සේ දින කිහිපයක් හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් පීඩා වින්දහ. අනතුරුව උන්වහන්සේ මාර්තු 23 වන දින රෝහලෙන් පිටව ගියහ. එමෙන්ම තම දේහය මිහිදන් කරන ස්ථානයේ තම නාමය ලතින් භාෂාවෙන් ‘ත්ර්බජiිජමි‘ ලෙස සටහන් කරන ලෙස ද උන්වහන්සේ ඉල්ලීමක් කර තිබේ. යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් වන මෙය ඉතාලි අගනුවර ප්‍රධාන පාප්තුමාගේ බැසිලිකා හතරෙන් එකක් වන අතර, එය 2013දී තේරී පත් වූ දා සිට ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ඉතිහාසයේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර තිබේ.
සඳුදා (අප්‍රේල් 21) උදෑසන ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවය ගැන ලෝකය දැනගත් විට, එම පුවත ප්‍රකාශ කළේ, ඇමෙරිකා එක්සත් ජනපදය සමග දිගුකාලීන සබඳතා ඇති කාදිනල්වරයෙකු ය. අප්‍රේල් 22 උදෑසන, අයර්ලන්ත-ඇමෙරිකානු සම්භවයක් ඇති කෙවින් ෆැරල් කාදිනල් හිමි සිය භාරදූර වගකීම්වලින් එකක් වන ‘කැමර්ලින්ගෝ‘ එනම්, පාප්වරයෙකුගේ මරණයෙන් හෝ ඉල්ලා අස්වීමෙන් පසු වතිකානය පවත්වාගෙන වගකීම භාර ගත්තේ ය.
2019දී ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් මෙම කාදිනල්වරයා එම තනතුර සඳහා නම් කරන ලද අතර, ෆැරල් හිමි පාප්වරයෙකුගේ මරණය හෝ ඉල්ලා අස්වීම අතර ඊළඟ පාප් වහන්සේ තෝරා පත් කර ගැනීම දක්වා කාලය තුළ මෙම තනතුර දරනු ඇත. කැමර්ලෙන්ගෝ ලෙස, ඊළඟ පාප්තුමා තීරණය කරන රහස් සභාව සඳහා කටයුතු සම්පාදනය කිරීමේ සහ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ මරණය සහතික කිරීමේ වගකීම ෆැරල්ට හිමිට පැවරෙනු ඇත.
චිරාත් කාලයක් පුරා පැවත එන කිතුණු සම්ප්‍රදායට අනුව, අවමංගල්‍ය පූජෝත්සවය සාමාන්‍යයෙන් පාප් වහන්සේගේ මරණයෙන් පසු දින හතරක් හෝ හයක් ඇතුළත පැවැත්විය යුතු ය. අවමංගල්‍ය දිව්‍ය පූජාව පැවැත්වෙන්නේ සාන්ත පීතර චතුරශ්‍රයේ දී ය. සාමාන්‍යයෙන් පාප් වහන්සේගේ කෙනෙකු ස්වර්ගස්ථ වූ විට අවමංගල්‍ය කටයුතු සාම්ප්‍රදායිකව සංකීර්ණ කටයුතු ලෙස සලකනු ලැබුව ද, ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පසුගිය වසරේදී තම අවසන් කටයුතු සරල කරන ලෙස අන්තිම කැමැත්තෙන් ඉල්ලා තිබුණි. තම සිරුර එසේම වතිකානයේ සාන්ත පීතර බැසිලිකාවේ සොහොන් ගර්භයේ තැන්පත් නොකරන ලෙසද උන්වහන්සේ ඉල්ලා තිබුණි. සියවසකට වැඩි කාලයකට පසු වතිකානයේ සාන්ත පීතර බැසිලිකාවේ සොහොන් ගර්භයේ තැන්පත් නොකරන පළමු පාප් වහන්සේ උන්වහන්සේ වනු ඇත.
ඒ වෙනුවට, උන්වහන්සේගේ දේහය රෝමයේ සාන්ත මේරි මේජර් බැසිලිකාවේ, උන්වහන්සේගේ ප්‍රියතම මැඩෝනා සිතුවම අසල මිහිදන් කෙරෙනු ඇත. සයිප්‍රස්, ඊයම් සහ ඕක්වලින් සාදනු ලබන සාම්ප්‍රදායික මිනී පෙට්ටියක තැන්පත් කරන ලද උන්වහන්සේගේ පූර්වගාමීන් මෙන් නොව, උන්වහන්සේ සරල ලී පෙට්ටියක භූමදාන කරන ලෙස ද ඉල්ලා සිටියහ. ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍යය පූජෝත්සවය අප්‍රේල් 26 වන සෙනසුරාදා පැවැත්වෙන බව වතිකානය නිවේදනය කිරීමටත් පෙර, ලෝක නායකයින් ගණනාවක් ඔවුන්ගේ පැමිණීම තහවුරු කළහ. උන්වහන්සේගේ අභාවයෙන් පැය කිහිපයක් ඇතුළත, ආර්ජන්ටිනාවේ ජනාධිපති හාවියර් මිලේ පැවසුවේ තමා එම දේව මෙහෙයට සහභාගී වන බව ය.
ජනාධිපති ආර්යා මෙලානියා ට්‍රම්ප් සමග තමන් වතිකාන නගරයට යන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. බි්රතාන්ය අග්‍රාමාත්‍ය ශ්‍රීමත් කියර් ස්ටාමර් ද සිය සහභාගී වීම තහවුරු කර ඇත. ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් ද එහි පැමිණෙන බව තහවුරු කර තිබේ. යුක්රේන ජනාධිපති වොලොදිමියර් සෙලෙන්ස්කි ද පැමිණීමට නියමිත ය. අවමංගල්‍ය උත්සවයට ලෝක නායකයින් සහ ආගමික නායකයින් විශාල ගණනක් සහභාගී වීමට ඉඩ ඇති අතර, සිය ගණනක් කිතුණු භක්තිකයින් ද ඊට සහභාගී වනු ඇත. ඒ අනුව, 250,000ක් පමණ පිරිසක් ඊට සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
කැමර්ලෙන්ගෝ ලෙස, ඊළඟ පාප්තුමා තීරණය කරන රහස් සභාව සඳහා කටයුතු සම්පාදනය කිරීමේ සහ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ මරණය සහතික කිරීමේ වගකීම ෆැරල්ට හිමිට පැවරෙනු ඇත.
අජිත් මෙන්ඩිස්