
මහනුවර ඓතිහාසික සෙංකඩගල ශ්‍රී දළදා මාළිගාවේ වැඩවෙසෙන අතිපූජනීය ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීමේ මහඟු අවස්ථාව සැදැහැවතුන්ට ලබාදෙමින් පැවති "සිරි දළදා වන්දනාව" අද අවසන් කෙරුණා.
අදත් පෙරවරු 11ට දළදා වන්දනාව සැදැහැවතුන් වෙනුවෙන් ආරම්භ වූ අතර සවස 5.40 දක්වා වූ කාලය තුළ සැදැහැවතුන් 76,000ක පිරිසකට සිරි දළදා වන්දනාවට එක්වීමට අවස්ථාව උදාවුණා.
"සිරි දළදා වන්දනාවට" මහනුවරට ගෙවුණු දින දහය තුළ ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් පිරිසක් පැමිණි අතර, අව් වැසි නොතකමින් කිලෝමීටර් ගණනාවක් පුරා දිගු වූ පෝලිම්වල රැඳී සිටිමින් සැදැහැවතුන් දළදා වහන්සේ වැඳපුදා ගැනීමට එක්ව සිටියා.
ගෞතම බුදුරජාණන් වහන්සේගේ වාම ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඳපුදාගැනීමට වසර 16කට පසුව වරම් ලබාදෙමින් "සිරි දළදා වන්දනාව" ඇරඹුණේ පසුගිය අප්‍රේල් 18 වැනිදායී.
ඒ අනුව ගෙවුණු දින 10ක කාලය පුරා ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් පිරිසක් මහනුවරට පැමිණ දළදා වහන්සේ වැඳපුදා ගත්තේ දිගු පෝලිම්වල රැඳී සිටිමින්.
"සිරි දළදා වන්දනාව" සඳහා ප්‍රවේශ මාර්ග තුනෙහි අදත් දිගු පෝලිම්වල සැදැහැවතුන් රැඳී සිටි අතර, ඔවුන් වෙනුවෙන් දන්සල් ද ක්‍රියාත්මක කෙරුණා.
"සිරි දළදා වන්දනාවේ" අවසන් දිනය වූ අද, පෙරවරු 11ට සිරි දළදා වන්දනාව සැදැහැවතුන් වෙනුවෙන් විවෘත කළ අතර, "සිරි දළදා වන්දනාවට" යොදවා සිටි ආරක්ෂක, සෞඛ්‍ය, සනීපාරක්ෂක ඇතුළු පහසුකම් සැපයූ පාර්ශ්වයන්ටද අද පස්වරු තුනෙන් පසුව දළදා වහන්සේ වැඳපුදා ගැනීමට අවස්ථාව සලසා දී තිබුණා.