/
/
title icon
Global Eye - ඉන්දියාවට එල්ල වූ දැවැන්ත ම ත්‍රස්ත ප්‍රහාරය
Global Eye - ඉන්දියාවට එල්ල වූ දැවැන්ත ම ත්‍රස්ත ප්‍රහාරය
Presila Sandaruwani
6 days ago
Share:
Global Eye - ඉන්දියාවට එල්ල වූ දැවැන්ත ම ත්‍රස්ත ප්‍රහාරය

මේ වන විට ඉන්දියාව හා පාකිස්ථානය අතර දැඩි ව්‍යාකූල තත්ත්වයක් පවතින අතර එළැඹෙන මොහොතේ කුමන කුමන තත්ත්වයකට එය පරිවර්තනය වේදැයි මුලු ලෝකයේ ම අවධානය යොමුව ඇත. Global Eye අද දිගහැරුම මෙම තත්ත්වය සම්බන්ධවයි.

අප්‍රේල් 22 වන දින දකුණු කාශ්මීරයේ පහල්ගම්හි ජනප්‍රිය සංචාරක ප්‍රදේශයක වෙඩි තැබීමක් සිදු වූ අතර එහි දී පුද්ගලයින් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය. සංචාරකයින් පිරිසක් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල වී ඇති  අතර ඉන් බහුතරය දේශීය සංචාරකයින් වේ. එම ප්‍රහාරයෙන් ඉන්දීය නාවික හමුදා නිලධාරියෙකු මෙන් ම බුද්ධි කාර්යාංශයේ නිලධාරියෙකු ද ජීවිතක්ෂයට පත් වුණි. ජම්මු කාශ්මීර ප්‍රදේශයේ මෑතක සිදු වූ දරුණුත ම ප්‍රහාරය මෙය ලෙස සැලකෙයි. මෙම ත්‍රස්ත ප්‍රහාරය වාර්තා අතරට එක්වන්නේ 2008 මුම්බායි ප්‍රහාරයෙන් පසු ඉන්දියාවේ සිවිල් ජනයා ඉලක්ක කරගනිමින් එල්ල වු දරුණුත ම ප්‍රහාරය ලෙස ය. ප්‍රහාරයෙන් තවත් පිරිසක් තුවාල ලබා තිබූ අතර ඔවුන් රැගෙන ඒම සඳහා හමුදා හෙලිකොප්ටර් යානා ද යොදා ගෙන තිබුණි. ප්‍රහාරය සම්බන්ධව කිසිදු අයෙක් වගකීම බාර නොගත් අතර ඉන්දීය සැකය පකිස්ථානය වෙත යොමු විය. කෙසේනමුත් ප්‍රහාරයෙන් දින කිහිපයකට පමණ පසු මෙම ප්‍රහාරයේ වගකීම කාෂ්මීරයේ ක්‍රියාත්මක ප්‍රතිරෝධී පෙරමුණ නම් සංවිධානයක් භාරගන්නා ලදි. ඉන්දියාවේ මතය අනුව එම සංවිධානය පාකිස්තානයේ ක්‍රියාත්මක ලක්ෂර් ඊ තයිබා සහ හිස්බුල් මුජහඩීන් (TRF) වැනි සන්නද්ධ සංවිධානවලට අනුබද්ධ සංවිධානයකි.

29c7841ae4ecaaabc366400f195d484a.png

ප්‍රහාරයෙන් පසු දින ඉන්දීය අග්‍රාමාත්‍ය නරෙන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් පැවැති ජාතික ආරක්ෂාව පිළිබඳ කැබිනට් කමිටු සාකච්ඡාවේ දී ගත් තීරණයකට අනුව ඉන්දියාවේ රැඳී සිටින සියලු ම පාකිස්ථාන ජාතිකයන්ට පැය 48ක් ඇතුළත සිය රටින් පිටව යන ලෙස ඉන්දීය රජය නියෝග කරන ලදි. සුප්‍රකට අට්ටාරි දේශසීමා පිවිසුම වසා දැමීමට ද ඉන්දියාව කටයුතු කළේය. එමෙන් ම ඉන්දියාව පාකිස්තානය සමග පවත්වමින් තිබූ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පහත හෙළීමට ද කටයුතු සිදු කළ අතර දිල්ලියේ පිහිටි පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ ආරක්ෂක හමුදා නිලධාරීන්ට ඉන්දියාවෙන් ඉවත්වීමට සතියක කාලයක් ලබා දීමට තීරණය කළේ ය. එපමණක් නොව පාකිස්තානයේ රැඳීසිටින සිය ආරක්ෂක උපදේශකවරුන් ද ඉවත් කර ගැනීමට ඉන්දියාව තීරණය කළේ ය. එමෙන් ම සාර්ක් නිදහස් වීසා බලපත්‍ර යටතේ පාකිස්තාන ජාතිකයින්ට ඉන්දියාවට පැමිණීම තහනම් කර ඇති අතර මෙම වීසා බලපත්‍ර යටතේ ඉන්දියාවේ සිටින සෑම පාකිස්තාන ජාතිකයෙකු ම පැය 48ක් ඇතුළත ඉන්දියාවෙන් පිටව යන ලෙස උපදෙස් ලබා දී තිබුණි. මෙහි දී ඉන්දියාව ගත් තවත් ඍජු තීරණයක් වන්නේ 1960 වසරේ සිට පාකිස්තානය සමග දශක ගණනාවක් පුරා පැවත ආ පැරණි ඉන්දුස් ජල ගිවිසුම දින නියමයක් නොමැතිව අත්හිටුවීමට කටයුතු කිරීමයි. ඉන්දියාවට අයත් ඉන්දු ගංඟාව සහ එහි අතු ශාඛාවලින් පාකිස්තානයේ මිලියන ගණනකට සංඛ්‍යාවකට ජලය සැපයෙන අතර මෙමගින් පාකිස්තානයේ ජල සැපයුමට දැවැන්ත බලපෑමක් එල්ල විය. අතීතයේ ජලයේ අයිතිය මුල්කර ගනිමින් අවස්ථා කිහිපයක දී දෙරට අතර යුද ගැටුම් ද පැවතී තිබුණි.  

d1b49baf18a57d880db28fbc7cb8e993.jpg

අප්‍රේල් 24 වන දින ඉන්දියානු රජය විසින් විශේෂ නිවේදනයක් සිදු කළ අතර එහි දී ඉන්යාවේ සිටින සියලු ම පාකිස්තාන ජාතිකයින් අප්‍රේල් 29වනදාට ප්‍රථම එරටින් පිටවිය යුතු බව සඳහන් විය. ප්‍රහාරය සම්බන්ධව කිසිදු වගකීමක් පකිස්ථානය රැගෙන නොමැති වුවත් ඔවුන් මෙම ඉන්දීය විධි විධාන හමුවේ ප්‍රතිචාර දක්වමින් පකිස්ථානු රජය ඉන්දීය පුරවැසියන්ට නිකුත් කර ඇති සියලු ම විශේෂ වීසා අවලංගු කිරීමට කටයුතු කළ අතර ඉන්දියාවට අයත් හෝ ඉන්දීය ගුවන් සේවා මගින් පවත්වා ගෙන යන ගුවන්යානා සියල්ලට ම ඔවුන්ගේ ගුවන් කලාපය වාරණය කිරීමට කටයුතු කරන ලදි. එමෙන් ම ඉන්දු ගංගාවල ජලය පාකිස්තානය වෙත ගලා ඒම නතර කිරීමට ඉන්දියාව ගත් මෙම තීරණය යුදමය හැසිරීමක් ලෙස සලකන බවත් ඊට එරෙහිව තම රටේ සමස්ත බලයම යෙදවීමට පියවර ගන්නා බවත් පාකිස්තානය අවධාරණය කරන ලදි. මේ අතර ඉන්දියාව විසින් වීසා අවලංගු කිරීමට ගත් තීරණය නවදිල්ලියේ සිටින පාකිස්තාන රාජ්‍ය තාන්ත්‍රිකයන්ට බලනොපාන අතර එහෙත් ඉන්දීය නියෝග මත ඔවුන්ගේ සංඛ්‍යාව අඩුකර ඇති බව සඳහන් ය. එමෙන් ම ඉන්දු ගංගාවල ජලය අත්හිටුවීම සම්පූරණයෙන් ම සිදු කර නොමැති අතර ජල සැපයීම බාල කර ඇති බව වාර්තා වෙයි.

මෙම ප්‍රහාරය සම්බන්ධව මාධ්‍ය හමුවකට එක්වෙමින් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයා ප්‍රකාශ කර ඇත්තේ ඔවුන් මෙම සිදුවීම තරයේ හෙළා දකින බවයි. "අපි ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකිමු. චීනය සියලු ආකාරයේ ත්‍රස්තවාදයට තරයේ විරුද්ධයි'' යනුවෙන් ඔහු එහි දී පවසා තිබු අතර අහිමි වූ ජීවිත වෙනුවෙන් සහ විපතට පත් පවුල්වලට හා තුවාල ලැබූවන්ට චීන රජය වෙනුවෙන් ශෝකය පළ කිරීම ද සිදු කර තිබුණි. එමෙන් ම ඉන්දියාවේ චීන තානාපතිවරයා ද මෙම ප්‍රහාරය තරයේ හෙළා දකින බව පවසා තිබුණි. එමෙන් ම එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් විසින් ද මෙම ප්‍රහාරය හෙළාදැක තිබේ. සිවිල් ජනතාවට එරෙහිව සිදු වන ප්‍රහාර කිසිම තත්ත්වයක් යටතේ පිළිගත නොහැකි බව ද ඔහු අවධාරණය කර ඇත. මේ අතර යුරෝපා සංගමය ද ඉන්දියාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හෙළාදැක තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි. යුරෝපා සංගමය පෙන්වා දෙන්නේ මෙම සිදුවීමෙන් ඉන්දියාව බිඳ දැමීමට නොහැකි වනු ඇති බව ය. මෙම පීඩාකාරී තත්ත්වයේ දී ඉන්දියාව තවත් ශක්තිමත් වනු ඇති බවත් යුරෝපා සංගමය ඉන්දියාව සමග සිටින බවත් ඔවුන් තවදුරටත් සඳහන් කර තිබුණි. එමෙන් ම ත්‍රස්තවාදයට එරෙහිව ඉන්දියාව ගන්නා ක්‍රියාමාර්ග සඳහා අගමැති නරේන්ද්‍ර මෝදිට ට්‍රම්ප් පරිපාලනයේ පූර්ණ සහයෝගය ලැබෙනු ඇති බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබුණි. එහි ප්‍රකාශිකාව පවසා ඇත්තේ පෙහෙල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඔවුන් ඉන්දීය රජය සමඟ නිරන්තර සන්නිවේදනයේ යෙදී සිටින බව‍ ය. එපමණක් නොව අමෙරිකාව තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව ද ඇය පවසා ඇත. මේ අතර අමෙරිකානු රාජ්‍ය ලේකම් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් සමග දුරකථන සංවාදයක ද නිරතවෙමින් මේ පිළිබඳව සාකච්ඡා කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි. එහිදී ද පවසා ඇත්තේ ත්‍රස්තවාදයට එරෙහිව අමෙරිකාව ඉන්දියාව සමග ශක්තිමත්ව සිටින බව ය. එමෙන් ම මේ සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවල දී සහාය ලබා දෙන ලෙසත්, කාශ්මීරයේ ප්‍රහාරය හෙළා දකින ලෙසත් අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා පාකිස්තානයට දැනුම්දී තිබුණි. මෙම වාතාවරණය යටතේ පාකිස්තානයට එරෙහිව ගන්නා සියලු ක්‍රියාමාර්ග සඳහා ඉන්දියාවේ විපක්ෂයේ සියලු පක්ෂ සහාය දැක්වීමට ද තීරණය කර ඇත.  

99e33b7d1003caaf8331ca9d75942830.jpg

සංචාරකයින් ඉලක්ක කර ගනිමින් එල්ල කළ මේ දැවැන්ත ප්‍රහාරයේ හේතුකරුවන් වන ත්‍රස්තවාදීන්ට දැඩි දඩුවම් පමුණු වීමට කටයුතු කරන බවට ඉන්දීය අගමැති මෝදි අවධාරණය කර ඇත. "ඉන්දියාව ත්‍රස්තවාදීන් හඳුනාගෙන ඔවුන්ට සහ ඔවුන්ට සහාය දක්වන පිරිසට දැඩි දඬුවම් පමුණුවන බවට මුළු ලෝකයටම ප්‍රකාශ කරනවා. ත්‍රස්තවාදයට දඬුවම් හිමි නොවී තිබෙන්නේ නැහැ."

මෙම උණුසුමත් සමඟ අප්‍රේල් 25 වන දින රාත්‍රියේ ජම්මු කාෂ්මීරයේ ඉන්දියාව සහ පාකිස්තානය අතර හමුදා පාලන සීමාව ආසන්නයේ දී දෙරටේ හමුදා අතර ඊයේ රාත්‍රියේ වෙඩි හුවමාරුවක් සිදුවී තිබේ. ඉන්දීය හමුදා මුරපොළ ඉලක්ක කරමින් පාකිස්තාන හමුදා එල්ල කළ වෙඩි ප්‍රහාරයකට ප්‍රතිචාර ලෙස ඉන්දීය ආරක්ෂක හමුදා වෙඩි තැබීමක් සිදු කර ඇති බව සිද්ධිය සම්බන්ධව වාර්තා විය. කෙසේ වුවද ඉන් කිසිදු ජීවිත හානියක් සිදු වී නොතිබුණි. ඒ අනුව දෙරටේ ම හමුදා පාලන සීමාව ආසන්නයේ වාසය කරන පිරිසට අවධානයෙන් පසුවන ලෙසට බලධාරීන් නියෝග කර ඇත.

මේ අතර පහල්ගම්හි ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ බවට සැකකෙරුණු ත්‍රස්තවාදීන් දෙදෙනෙකුගේ නිවාස අප්‍රේල් 24 වන දා රාත්‍රියේ දී පුපුරා ගොස් ඇත. ඔවුන්ගේ නිවාස තුළ අටවා තිබූ පුපුරණ ද්‍රව්‍ය ඊට හේතු වී තිබූ බව පරීක්ෂණ වාර්තා මගින් තහවුරු විය. මේ සම්බන්ධව ඉන්දීය ආරක්ෂ අංශ විසින් අප්‍රේල් 25 වන දින සිදු කළ මෙහෙයුමකින් ලෂ්කර්-ඊ-තායිබා (LeT) සංවිධානයේ ඉහළ පෙළේ අණදෙන නිලධාරියෙකු වන අල්තාෆ් ලලි වෙඩි තබා ඝාතනය කර ඇත. ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කර සිටියේ බන්ඩිපුරාහි දි සිදු වූ වෙඩි හුවමාරුවෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද තුවාල ලැබූ බවයි. එමෙන් ම මෙම ප්‍රහාටයට සම්බන්ධ සැකකරුවන් 19 දෙනෙකු ඉන්දීය ආරක්ෂක විසින් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ. ඇසෑම්, මේඝාලය සහ ත්‍රිපුර යන ප්‍රාන්තවලින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අතර මන්ත්‍රීවරයෙකු, මාධ්‍යවේදියෙකු, සිසුන්, නීතිඥයෙකු සහ විශ්‍රාමික ගුරුවරුන් ද ඇතුළත් බව වාර්තා වේ. මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ සිය සමාජ මාධ්‍ය තුළ ඉන්දීය විරෝධී සටහන් පළ කිරීම හේතුවෙනි. මේ සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බව ද වාර්තා වේ.

ed2d50f6ffb0ee2d74fa0462e988d872.jpg

මේ අතර ඉන්දීය කාශ්මීරයේ පෙහෙල්ගාම් වෙත එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් සිව්දෙනා තවමත් සුරක්ෂිතව දකුණු කාෂ්මීරයේ රැඳීසිටින බවට විශ්වසනීය තොරතුරක් ලැබී ඇති බව මැයි 2 වන දින නවත ම පුවත් ඔස්සේ වාර්තා විය. ත්‍රස්තවාදීන් සොයා පොලීසිය දැවැන්ත මෙහෙයුමක් දියත් කරන පසුබිමක මෙම පුවත වාර්තාවීම විශේෂත්වයකි. කෙසේ නමුත් කෙටි කාලයක් තුළ වරදකරුවන්ට දඩුවම් කිරීමට ඉන්දියානු රජය පියවර ගැනීමට සූදානමින් සිටින බව වාර්තා වේ. නමුත් පකිස්තානය අතර පවතින මෙම මතභේදාත්මක තත්ත්වය කෙසේ නිමවේද යන්න පිළිබඳව මතයක් ගොඩනගා ගැනීම තවම අපහසු කාර්‍යයකි.

සැකසුම හා සංස්කරණය - ප්‍රසිලා සඳරුවනි

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required