/
/
title icon
14වන ලියෝ සසුනිසුරාණෝ
14වන ලියෝ සසුනිසුරාණෝ
Ajith Mendis
21 hours ago
Share:
14වන ලියෝ සසුනිසුරාණෝ

    සිස්ටයින් දේවස්ථානයේ පියැසි දුම් කෝවෙන් සුදු දුම් රොටු අහස් කුසට මුසුවන තුරු දහස් ගණනක ජනයා තෙදිනක් පුරා පුල පුලා බලා සිටියේ ලොව පුරා වෙසෙන  බිලියන 1.4 ක රෝමානු කතෝලික ජනයාගේ අනාගත ආධ්‍යාත්මීය නායකයා කවුරුන්ද යන්න දැනගැනීමටය. 2025 මැයි මස 8 වන දින හවස් යාමයේ ඒ බලාපොරොත්තු සඵලවෙමින් පියැසි දුම් කෝවෙන් සුදු දුමුරොටු අහස් වියනට මුදු හැරිණි. ලෝක රෝමානු කතෝලික සභාවේ 267 වන සසුනිසුරාණන් ලෙසත්, වතිකානු රාජ්‍යයේ රාජ්‍ය නායකයා ලෙසත් ඇමරිකානු ජාතික කාදිනල් රොබට් ෆ්‍රැන්සිස් ප්‍රිවෝස්ට් හිමිපාණෝ තේරී පත්වූ වග වතිකානය ප්‍රකාශ කළේය. එසේම උන්වහන්සේ සිය නිල නාමය ලෙස “14 වන ලියෝ” යන නාමය තෝරාගත් බවත් වතිකානය ලොවට ප්‍රකාශ කළේය. මෙම අසිරිමත් පණිවුඩය ලද ජනයා උස් හඩින් ප්‍රීති ඝෝෂා කරමිින් සිය සතුට ප්‍රකාශ කළෝය. 
    මෙයට පෙර ඇමෙරිකා එක්සත් ජනපදයෙන් හෝ උත්තර අමරිකා අර්ධගෝලයෙන් මෙම උත්තරීතර පදවිය කිසිවෙකු විසින් හොඹවා නැත. ඇමරිකානු රදගුරු මණ්ඩලය නියෝජනය කරමින් කාදිනල්වරයෙකු වූ උන්වහන්සේ වර්ෂ 2023 සිට උන්වහන්සේ ලෝක රදගුරු පදවි සඳහා වූ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙසත්, ලතින් ඇමරිකාව සඳහා වූ පාප්වහන්සේගේ කොමිසමේ සභාපති ලෙසත් බොහෝ කාර්යභාරයන් ඉටුකර තිබූ පළපුරුදු දහම් තාන්ත්‍රිකයෙකි.
    රොබට් ෆ්‍රැන්සිස් ප්‍රිවෝස්ට් නමින් උන්වහන්සේ උපත ලබන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ, ඉලිනොයිස් ජනපදයේ චිකාගෝ නුවරදී ය. ඒ වර්ෂ 1955 සැප්තැම්බර් 14 වන දීය. චිකාගෝ නුවර සාමාන්‍ය කිතුණු පාසලකින් ප්‍රථමික අධ්‍යාපනයට අත්පොත් තබන රොබට් ෆ්‍රැන්සිස් ප්‍රිවෝස්ට් සිසුවා, වර්ෂ 1973 දී ශාන්ත අගොස්තීනු නිකායට අයත් කනිෂ්ඨ සෙමනේරියෙන් සිය ද්විතීයික අධ්‍යාපනය අවසන් කළේය. ඉගෙනුමට දක්‍ෂයෙක් වූ එතුමා වර්ෂ 1977 දී විලනෝවා විශ්වවිද්‍යාලයෙන් ගණිතය පිළිබඳ විද්‍යාවේදී උපාධිය හිමි කරගැනීමට සමත් විය. හැදෙන ගස දෙපෙරත්තෙන් පෙනේ යන ආප්තය සැබෑ කරමින් උන්වහන්සේ දක්‍ෂ ලෙස සිය ඉගෙනුම කරනු දකින දෙමාපියන් විශ්වාස කළේ යම් දිනෙක සිය පුතු දක්‍ෂ ගණිතඥයෙකු වනු ඇත කියාය.
    දේව කැඳවීම සෑම විටම අභිරහස්‍යමය යථාර්තයකිය යන්න සාක්ෂාත් කරමින් උන්වහන්සේගේ සිහිනය වූයේ දිනෙක පූජකවරයෙකු වීමටයි. ගණිතයට කොතරම් දක්‍ෂයෙක් වුවත් පූජකවරයෙකු වීමේ දැඩි අභිලාෂයෙන් යුතුව, 1977 සැප්තැම්බර් මාසයේදී ශාන්ත අගොස්තීනු නිකායට එක්වූ ප්‍රිවෝස්ට් පූජක සිසුවා, 1978 සැප්තැම්බර් මස සිය පළමු පැවිදි ප්‍රතිඥාව ද, 1981 අගෝස්තු මස සදාකාලික පැවිදි ප්‍රතිඥාව ද ලබා දුන්හ. ඉන් අනතුරුව, 1982 දී චිකාගෝහි කතෝලික දේවධර්ම සංගමයෙන් දේවධර්මය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය දිනා ගත්හ. ගණිතය පිළිබඳ විද්‍යාවේදි උපාධිය දිනාගෙන සිය පාසල් අධ්‍යාපනය නිමා කරන උන්වහන්සේ ඉන්පසුව කිතු දහම පිළිබඳ උපාධියෙන් තෘප්තිමත් විය. දෙවියන් වහන්සේගේ සැළසුම් මිනිසාට සිතාගත නොහැකි බව ප්‍රඛට කරමින් රොබට් ෆ්‍රැන්සිස් ප්‍රිවෝස්ට් සිය පූජක දිවිය ඇරඹීමට පිඹුරු පත් සැකසීය.
    සියලු අභියෝග ජයගනිමින් උන්වහන්සේ පූජකවරය ලබන්නේ වර්ෂ 1982 ජූනි 19 වන දී රෝමයේදීය. පසුව උන්වහන්සේ රෝමයේ තෝමස් ඇක්වයිනාස් උසස් විද්‍යාලයට ඇතුළත් විය.  උන්වහන්සේගේ අභිලාෂය වූයේ දේව ධර්මය උගෙනීමයි. සිය අධ්‍යාත්මික හා ශාස්ත්‍රීය ගමන තවදුරටත් පුළුල් කරමින් 1984 දී සභා නීතිය පිළිබඳ බලපත්‍ර උපාධිය ලබා සෑහීමට පත් නොවූ උන්වහන්සේ 1987 දී එම විද්‍යාලයෙන්ම සභා නීතිය පිළිබඳ ආචාර්ය උපාධිය ද ලබා ගනිමින් අධ්‍යාපනයේ බොහෝ ඉදිරිගාමි විය.
    රෝමයේ දී සිය ආචාර්ය උපාධිය අවසන් කරන උන්වහන්සේ නැවත ඇමරිකාවට ගොස් සිය දහම් දූත සේවාව සඳහා තෝරාගනු ලබන්නේ ලතින් ඇමරිකාවේ පේරු රාජ්‍යයයි. එය පේරු රාජ්‍යයේ අගොස්තීනු දූත මෙහෙවර ලෙස හැඳින්වෙයි. උන්වහන්සේ, කලක් එහි චුලුකානාස් ප්‍රාදේශීය පූර්ව පදවියේ චාන්සලර්වරයා ලෙසද කටයුතු කර තිබේ. එසේම දශකයක කාලයක් පේරු රාජ්‍යයේ ටෘහිලෝ හි ශුද්ධවූ අගොස්තීනු ජාතික දෙව්සත්හලේ ප්‍රධානියා ලෙස ද කටයුතු කළහ. එම කාලය තුළ උන්වහන්සේ දෙව්සත්හලෙහි සභා නීතිය පිළිබඳ මහාචාර්යවරයා මෙන්ම අධ්‍යයන පීඨාධිපති ධුරය දැරීම, ප්‍රාදේශීය දේවස්ථාන විනිසුරුවරයෙකු ලෙස සේවය කිරීම සහ ටෘහිලෝ උපදේශක මණ්ඩලයේ සාමාජිකත්වය දැරීම වැනි විවිධ වගකීම් රාශියක් උසුලා තිබේ. ඇමරිකාවේ උපත ලැබුවද උන්වහන්සේට වර්ෂ 2015 දී පේරු රාජ්‍යයේ පුරවැසිභාවය ලබාදීමට පේරු රාජ්‍ය බලාධිකාරිය තීරණය කළේ උන්වහන්සේ සාන්ත සභාව තුළ දිගු ගමනක් යන ආකාරය දුටු නිසා මෙන්ම එය අනාගතයේ පේරු රාජ්‍යයේ ප්‍රහර්ෂණයටද කාරණා වනු ඇතැයි නිගමනය කළ නිසා විය හැකිය. 
    සාන්ත සභාව තුළ දිගු ගමනක ඉඟි පෙන්වූ ප්‍රිවෝස්ට් හිමිපාණන් 2001 දී, අගොස්තීනු නිකායේ ශ්‍රේෂ්ඨාධිපති ලෙස තේරි පත්විය. එම සේවා කාලය අවුරුදු හයක් විය. උන්වහන්සේ අගොස්තීනු නිකායට සිදුකරන සේවය සැළකිල්ලට ගනිමින් උන්වහන්සේ, 2007 දී එම තනතුර සඳහා දෙවන වරටත් තේරී පත් විය. මෙම කාලසීමාවෙන් අනතුරුව, 2013 සිට 2014 දක්වා චිකාගෝහි ශාන්ත අගොස්තීනු කන්‍යාරාමයේ පුහුණු අධ්‍යක්ෂවරයා ලෙසත්, ඇමරිකාවේ මධ්‍යම බටහිර පළාත් විකාර්වරයා ලෙසත් උන්වහන්සේ සේවය කර තිබේ.
    2014 නොවැම්බර් 3 වන දින, ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් ප්‍රිවෝස්ට් හිමිපාණන් පේරු හි චික්ලායෝ රදගුරු පදවියේ අපෝස්තලික පරිපාලක ලෙසත්, සුෆාර් හි නාමික රදගුරු ලෙසත් පත් කරන ලදී. 2014 දෙසැම්බර් 12 වන දින චික්ලායෝ හි ශාන්ත මරියා ආසන දෙව්මැදුරේදී උන්වහන්සේ රදගුරු අභිෂේකය ලැබූ අතර, 2015 සැප්තැම්බර් 26 වන දින චික්ලායෝ හි රදගුරුතුමන් ලෙස නිල වශයෙන් පත් කරන ලදී. මේ ආකාරයට උන්වහන්සේ පේරු රාජ්‍යයේ කිතු දහම වෙනුවෙන් විශාල වැඩ කටයුතු රාශියක් ඉටු කර තිබේ. මේ කාලය තුළ උන්වහන්සේගේ හැකියාවේ පරිමාව පිළිබඳ ඉඟි වතිකානයටද  දැනෙන්නට විය. 
    ඒ  නිසා පේරු රාජ්‍යයේ සේවය කරන සමයේදී ඊට සමගාමීව උන්වහන්සේට වතිකානුවේ ද වැදගත් තනතුරු කිහිපයක් හිමිවිය. 2019 ජූලි 13 වන දින රෝමයේ පූජකවරුන් සඳහා වූ සංසදයේ සාමාජිකයෙකු ලෙස උන්වහන්සේ පත් වූ අතර, 2020 අප්‍රේල් 15 වන දින පේරු හි කලාඕ හි අපෝස්තලික පරිපාලක ලෙසද පත් කරන ලදී. 2020 නොවැම්බර් 21 වන දින ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් උන්වහන්සේ රදගුරුවරුන් සඳහා වූ සංසදයේ  සාමාජිකයෙකු ලෙස නම් කරන ලදී.
    පේරු රදගුරු සම්මේලනය තුළ ද ප්‍රිවෝස්ට් හිමිපාණෝ ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කළහ. 2018 සිට 2020 දක්වා එහි ස්ථිර සභාවේ සේවය කළ උන්වහන්සේ, 2019 දී අධ්‍යාපන හා සංස්කෘතික කොමිසමේ සභාපති ලෙස තේරී පත් වූහ. එමෙන්ම, කැරිටාස් පේරු හි නායකත්ව මණ්ඩලයේ සාමාජිකයෙකු ද වූහ. 2023 ජනවාරි 30 වන දින, ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් ප්‍රිවෝස්ට් හිමිපාණන් වතිකානුවේ ඉතා වැදගත් තනතුරක් වන රදගුරු පදවි සඳහා වූ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස පත් කරන ලදී. එම වසරේම සැප්තැම්බර් 30 වන දින පැවති කොන්සිස්ටරියේදී, ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් උන්වහන්සේ රෝමයේ සැන්ටා මොනිකා ඩෙග්ලි අගොස්තීනියානු දේවස්ථානයේ කාදිනල් ඩීකන් ලෙස උසස් කරන ලදී. 2025 පෙබරවාරි 6 වන දින, ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් ප්‍රිවෝස්ට් හිමිපාණන් කාදිනල් තනතුරට උසස් කරමින්, රෝමයේ ඇල්බානෝ උපනගර රදගුරු පදවිය භාර කළේය.
    ඇමරිකානු මහාද්වීපයෙන්, විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදයෙන් පත්වූ පළමු පාප් වහන්සේ ලෙස 14 වන ලියෝ පාප් වහන්සේ ඉතිහාසයට එක්වෙයි. උපතින් ආමරිකානුවෙක් වුවත් පේරු රාජ්‍ය හා බැඳි දහම් ප්‍රේමය සේම අගොස්තීනු නිකායේ නායකත්වය සහ වතිකානුවේ ඉහළ තනතුරු දැරීම තුළින් ලබාගත් අත්දැකීම් සම්භාරය උන්වහන්සේට ලෝක කතෝලික සභාවේ සුක්කානම මෙහෙයවීමට බෙහෙවින් උපකාර වනු ඇත. එසේම දෙවි සමිඳාණන්ගේ අභිරහස්‍යමය තේරීම උන්වහන්සේ නිසා, උන්වහන්සේට අවැසි ශක්තිය ධෛර්ය නිසියාකාරයෙන් ලැබෙනු ඇත.

- අජිත් මෙන්ඩිස් -

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required