/
/
title icon
Global Eye - දකුණු ආසියාවේ ඇවිලෙන යුධ ගිනි (ඉන්දු - පකිස්ථාන යුද්ධය)
Global Eye - දකුණු ආසියාවේ ඇවිලෙන යුධ ගිනි (ඉන්දු - පකිස්ථාන යුද්ධය)
Presila Sandaruwani
9 hours ago
Share:
Global Eye - දකුණු ආසියාවේ ඇවිලෙන යුධ ගිනි (ඉන්දු - පකිස්ථාන යුද්ධය)

ඉන්දියාවේ පෙහෙල්ගාම් ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් මේ වන විට දෙරට අතර ඇතිව ඇති මත ගැටුම් තවදුරත් ඉහළ ගොස් තිබේ. එය යුධමය තත්ත්වයක් දක්වා පරිවර්තනය වූයේ මැයි 7 වන දා ය.

පසුගිය 22 වැනි දින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු දෙරට අතර තිබූ සබඳතා පළුදු වූ අතර මේ හේතුවෙන් ඉන්දීය රජය පාකිස්ථානයට එරෙහි පියවරයන් රැසක් ගනු ලැබී ය.එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාව 1960 දී දෙරට අතර අත්සන් කරන ලද තීරණාත්මක ජල බෙදා ගැනීමේ ගිවිසුමක් වූ ඉන්දු ජල ගිවිසුම අත්හිටුවීමට ද පියවර ගැනුණි. එමෙන් ම ඉන්දියාවේ සිටින සියලු ම පාකිස්ථාන ජාතිකයින්ගේ වීසා අවලංගු කිරීමට ඉන්දියානු රජය පියවර ගත් අතර ඔවුන්ට රටින් පිටවීම සඳහා දිනයක් ද ලබා දී තිබුණි. මෙම වීසා අවලංගු කිරීම් අතරට වෛද්‍ය වීසා ද ඇතුළත් වූ අතර ඊට ප්‍රතිචාර වශයෙන් පාකිස්තානය සිම්ලා ගිවිසුම ඇතුළුව ඉන්දියාව සමග ඇති සියලු ද්විපාර්ශ්වික ගිවිසුම් අත්හිටුවන බවටත් පවසා තිබුණි. ඉන්දියාව විසින් පාකිස්ථානයට එරෙහිව තැබූ එක් දැඩි පියවරක් ලෙස පාකිස්ථානයෙන් ආනයනය කරනු ලබන සියලු ම ආනයන තහනම් කිරීම පෙන්වා දිය හැක. ඉන්දියාව පාකිස්ථානයෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ අතරට ප්‍රධාන වශයෙන් ඖෂධ නිෂ්පාදන, පලතුරු, බීජ ඇතුළත් වේ. ඉන්දීය තොරතුරු වාර්තාවලට අනුව ජාතික ආරක්ෂාව සහ රාජ්‍ය ප්‍රතිපත්තියේ යහපත සඳහා මෙම පියවර ගෙන ඇති බව සඳහන් වේ. පෙහෙල්ගාම් ප්‍රහාරයෙන් පසුව ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇති එක ම වෙ‍ෙළඳ මාර්ගය වන වාගා - අත්තරි හරස් මාර්ගය ද මේ වන විටත් අවහිර කර ඇත. මේ අතර ඉන්දියාව විසින් පාකිස්ථාන නැව් ඉන්දියානු වරායන්ට ඇතුළු වීම ද තහනම් කර ඇත. ඉන්දියාවේ වරාය, නාවික හා ජල මාර්ග අමාත්‍යංශය සඳන් කරන පරිදි පාකිස්ථාන ධජය සහිත නැව් ඉන්දීය වරායන්ට ඇතුළු වීම තහනම් කර ඇති අතර ඉන්දීය ධජය සහිත නැව් පාකිස්ථාන වරායන්ට පිවිසීම ද තහනම් කර ඇත. එමෙන් ම ඉන්දියාව පාකිස්ථානයෙන් ආනයන තහනම් කිරීම හේතුවෙන් පාකිස්ථානු ආර්ථිකයට දැවැන්ත පහරක් එල්ල වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. 

069e6d914a33fe17b9c6742502297684.jpg


එපමණක් නොව පාකිස්ථාන යූ ටියුබ් නාලිකා ඉන්දියාවේ තහනම් කිරීමට ඉන්දියාව පියවර ගත් අතර ඊට දින කිහිපයකට පසු පාකිස්ථාන ගුවන් විදුලිය තුළ ඉන්දියානු ගීත ප්‍රචාරය කිරීම තහනම් කිරීමට ද පාකිස්ථානය පියවර ගෙන තිබුණි. පාකිස්ථාන විකාශන සංගමය නිවේදනය කළේ වහාම ක්‍රියාත්මක වන පරිදි රට පුරා ඇති සියලු ම ඉන්දියානු ගීත ගුවන්විදුලි මධ්‍යස්ථානවලින් ඉවත් කරන බව ය. මේ අතර ඉන්දියාව විසින් පාකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින් රැසකගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම් ඉන්දියාව තුළ අවහිර කිරීමට ද පියවර ගෙන තිබුණි. ඒ අනුව මේ වන විට ටෙස්ට් නායක ෂාන් මසූඩ්, වේග පන්දු යවන්නන් වන හසන් අලි සහ නසීම් ෂා, පිතිකරු ඉමාම්-උල්-හක්, තුන්ඉරියව් ක්‍රීඩක ෂදාබ් ඛාන්, බාබර් අසාම්, මොහොමඩ් රිස්වාන් සහ වසීම් අක්‍රම්ගේගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම් ඉන්දියාව තුළ අවහිර කිරීමට ඉන්දීය රජය පියවර ගෙන ඇත.

මෙවැනි වාතාවරණයක් යටතේ පැවැති ඉන්දීය - පකිස්ථාන මත ගැටුම මැයි 6 දින ඉන්දියාව යුද්ධය ප්‍රකාශ කරන ලදි. ඒ අනුව ඉන්දීය සන්නද්ධ හමුදා පකිස්තානයේ සහ පකිස්තාන පාලනය යටතේ පවතින ජම්මු සහ කාශ්මීරයේ ස්ථාන 09කට පහර දෙමින් "සින්දූර් මෙහෙයුම" දියත් කරන ලදි. ඒ බව ඉන්දීය රජය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙන ලදි. මෙම මෙහෙයුම කාශ්මීරයේ වෙසෙන ත්‍රස්තවාදීන් වෙත එල්ල කළ නිරවද්‍ය ප්‍රහාරයන් බව ඔවුන් ප්‍රකාශ කර තිබූ අතර ස්ථාන 9ක් මෙම මෙහෙයුමේ ඉලක්කය වී තිබුණි.

6818301e478d8f8180885c72ca42c07d.jpg


මැයි 6 වන දා මැදියම් රැයේ සිට එල්ල කළ එම ප්‍රහාරවලින් සිවිල් වැසියන් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් 46 දෙනෙකු තුවාල ලැබූ බව පාකිස්තානය නිවේදනය කරන ලදි. මෙසේ ප්‍රහාරයට ලක් වූවන් අතර ළමුන් ද සිටින බව වාර්තා විය. එමෙන් ම එම ප්‍රහාරයෙන් ඉස්ලාමීය දේවස්ථාන සහ සිවිල් වැසියන්ට දැඩි හානි සිදු වී ඇති බව පකිස්ථානය නිවේදනය ද කර තිබුණි. ඉන්දීය ප්‍රහාරය නිර්දය ලෙස යුද ප්‍රකාශ කිරීමක් ලෙස හැඳින්වූ පාකිස්තාන හමුදා ප්‍රකාශක අහමඩ් ෆරීෆ් චවුද්රි ඊට නිසි ප්‍රතිචාර දැක්වීම සඳහා පාකිස්තානයට ඇති අයිතිය අවධාරණය කර ඇත.

ඒ පිළිබඳ අදහස් දක්වන අහමඩ් ෆරීෆ්,

"ඉන්දීය ප්‍රහාරය හමුවේ පාකිස්තානයේ ස්වෛරීත්වය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කරගැනීම සඳහා ප්‍රතිචාර දැක්වීමට අපි අපේ සන්නද්ධ හමුදා, ගොඩබිම් හමුදා සහ ගුවන් හමුදාවන්ට උපදෙස් ලබා දුන්නා. ඒ අනුව ඉන්දියාවට අයත් රෆාල් වර්ගයේ ප්‍රහාරක යානා 03ක්, එස්.යු. 30 ප්‍රහාරක යානයක් සහ මිග් 29 ප්‍රහාරයක යානයක් මෙන් ම ඩ්‍රෝන යානයක් ද බිම හෙලීමට ඔවුන් සමත් වුණා"

කෙසේ නමුත් පකිස්ථානය විසින් ඉන්දීය ප්‍රහාරක යානා 5ක් බිම හෙලීමට සමත් වූ බව දක්වාඅ සිටි නමුත් ඉන්දීය ප්‍රහාරක යානා 5ක් විනාශ වූ බව නිශ්චිතව ම තවමත් ඉන්දියාව තහවුරු කර නොමැත.


මෙවන් පසුබිමක ජම්මු කාෂ්මීරයේ පුල්වාමා දිස්ත්‍රික්කයේ ගම්මානයකට කඩා වැටී තිබු ප්‍රංශයේ නිෂ්පාදිත ප්‍රහාරක ජෙට් යානයක සුන්බුන්වල දර්ශන ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණි. පාකිස්තාන හමුදාව ඉන්දීය කාෂ්මීරයේ දේශ සීමා ප්‍රදේශයට ෂෙල් වෙඩි ප්‍රහාර ඉල්ලකර ඇති බවත්, එහි දී සිවිල් වැසියන් දසදෙනෙකු ජීවිතක්ෂයට පත්ව 48 දෙනෙකු තුවාල ලැබූ බව ඉන්දීය පොලීසිය සඳහන් කරන ලදි. මාධ්‍ය හමුවක් පවත්වමින් ඉන්දීය විදේශ ලේකම් වික්‍රම මිස්රි සඳහන් කළේ පෙහෙල්ගාම් ප්‍රහාරයට පාකිස්තානය සම්බන්ධ බවට ඉන්දීය බුද්ධි සේවාවන් තහවුරු කර ඇති බවයි. පාකිස්තානය ත්‍රස්තවාදීන්ට ක්ෂේම භූමියක් බවත්, ඉන්දියාව මෙම ප්‍රහාර දියත් කළේ දේශසීමාව හරහා එල්ලවන ත්‍රස්තවාදයට ප්‍රතිචාර දැක්වීමට බවත් ඉන්දීය විදේශ ලේකම්වරයා වැඩිදුරටත් එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර තිබිණ.  

3dab509da48f9b146444ffd177d0a183.jpg

මේ අතර අද දින අලුයම ඉන්දියාව විසින් පාකිස්තාන හමුදාව ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල කර තිබුණි. පාකිස්තාන හමුදාව ප්‍රකාශ කළේ රාවල්පිණ්ඩි හි නූර් ඛාන් හමුදා කඳවුර, චක්වාල් හි මුරිඩ් ගුවන් කඳවුර සහ ෂෝර්කෝට් හි රෆිකි ගුවන් කඳවුර ඇතුළු පාකිස්තානයේ ප්‍රධාන ගුවන් හමුදා කඳවුරු තුනකට ඉන්දියාව මිසයිල ප්‍රහාර එල්ල කළ බවයි. මේ අතර ඊයේ දිනයේ ජාත්‍යන්තර දේශසීමා සහ පාලන රේඛාව හරහා පාකිස්තාන ඩ්‍රෝන් 26ක් නිරීක්ෂණය කිරීමට හැකි වූ බව ඉන්දියාව ප්‍රකාශ කර සිටියේ ය. මෙම ඩ්‍රෝන යානා කිහිපයක් ම සන්නද්ධ ඩ්‍රෝන යානා බවත්, සිවිල් සහ හමුදා ඉලක්ක වෙත එල්ල කළ ඒවා බවටත් සැකකරන බව ද ඉන්දියාව වාර්තා කර තිබිණ.

කෙසේ නමුත් එළැඹෙන ඉදිරි දින කිහිපය තුළ දැවැන්ත යුධමය තත්ත්වයක් දෙරට අතර උද්ගත වීමට ඉඩකඩ ඇති බව විද්වත් මතයයි. මෙමගින් ඉන්දියාවට හා පකිස්ථානයට පමණක් නොව ඒ ආශ්‍රිත රටවලට ද විශාල බලපෑමක් ඇති විය හැකි බව නොඅනුමාන ය.

 

සැකසුම හා සංස්කරණය - ප්‍රසිලා සඳරුවනි

 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required