
ලෝක ටෙස්ට් ක්‍රිකට් වංශ කතාවේ ස්වර්ණමය කඩඉමක් සනිටුහන් කරමින් මෙවර (2023-2025) ටෙස්ට් ලෝක ශූරතාව දිනාගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම අද සමත් වුණා.
ඒ, ඵෙතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පැවති ටෙස්ට් ලෝක ශූරතාවෙයේ අවසන් මහා තරගයෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුළු 5කින් පරාජයට පත් කරමින්.
කිසිදා නොලද ක්‍රිකට් ලෝක කුසලානයක පහස විඳ ගැනීමේ අවස්ථාව ඉතිහාසය පුරාවටම නොලද දකුණු අප්‍රිකානුවන්ට මේ සමග එම අවස්ථාව උදාවුණා.
ඔස්ට්‍රේලියානු කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 282ක ඉලක්කය කඩුලු 5ක් දැවී තිබියදී පසුකර යෑමට දකුණු අප්‍රිකාව සමත් විය.
තරගයේ 04වන දිනය වූ අද දිනයේ තරගය ආරම්භ කරන විට ඔවුන් කඩුලු 2ක් දැවී ලකුණු 213ක් රැස්කරගෙන ජයග්‍රහණයට ලකුණු 69ක් පසුපසින් සිටියා.
දකුණු අප්‍රිකානු ජයග්‍රහණයේ නියමුවා වූ ඒඩියන් මාක්‍රම් පන්දු 207කට මුහුණ දෙමින් ලකුණු 136ක් රැස්කරගෙන සිටියදී ජය පෙනෙන මානයේදී දැවී ගියා.
ඔහු ටෙම්බා බවුමා සමගින් තෙවන කඩුල්ලට ගොඩනැගූ ලකුණු 147ක වටිනා සබඳතාව දකුණු අප්‍රිකානු ජයග්‍රහණයේ තීරණාත්මක සාධකය වුණා.
මෙහිදී බවුමා ලකුණු 66ක් රැස්කරගෙන සිටියදී දැවී ගියා.
පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව පළමු ඉනිමට සියලුදෙනා දැවී ලකුණු 212ක් රැස්කළ අතර, ඊට පිළිතුරු ලෙස දකුණු අප්‍රිකාවට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 138ක් පමණයි.
කෙසේ වෙතත්, ලකුණු 74ක් ඉදිරියෙන් සිටිමින් දෙවන ඉනිම ඇරඹූ ඔස්ට්‍රේලියාවට එවර රැස්කළ හැකිවූයේ ලකුණු 207ක් පමණක් වූ අතර, ඒ හේතුවෙන් දකුණු අප්‍රිකාවට සිය දෙවන ඉනිමේදී ලකුණු 282ක ඉලක්කයක් හිමිවුණා.
මෙම ජයත් සමග ශූරයන් සඳහා පිරිනමන අමෙරිකානු ඩොලර් මිලියන 3.6ක් හෙවත් ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 108ක ත්‍යාග මුදලට හිමිකම් කීමට දකුණු අප්‍රිකාවට හැකිවනවා.
වසර 136ක (වසර 1889) ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයක් ඇති ලොව තෙවන පැරණිම ක්‍රිකට් කණ්ඩායම ලෙසින් සැලකෙන දකුණු අප්‍රිකාව, සිය ක්‍රිකට් ඉතිහාසයේ කුමන හෝ ආකෘතියකින් ලෝක කුසලානයක් දිනාගත් පළමු හා එකම අවස්ථාව ලෙසින් මෙය වාර්තා අතරට එක්වනවා.
ඔවුන් මීට පෙර ICC තරග මාලාවක ජයග්‍රහණය තිබූ එකම ශූරතාව වූයේ 1998 වසරේ පැවති පළමු ශූරයන්ගේ කුසලාන තරගාවලියේ ශූරතාව පමණයි.
ලෝක කුසලානය පෙනෙන මානය දක්වා පැමිණ අවාසනාවන්ත ලෙස ඉවතට විසිවන කණ්ඩායමක් ලෙස ප්‍රකට දකුණු අප්‍රිකාව, අවසන්වරට 2024 වසරේ පැවති විස්සයි20 ලෝක කුසලානයේද අවසන් මහා තරගයේදී පරාජයට පත්වුණා.
සමස්තයක් ලෙස දකුණු අප්‍රිකාව ක්‍රිකට් ආකෘති ත්‍රිත්වය යටතේම ලෝක කුසලාන අවසන් මහා තරගයක්, අවසන් පූර්ව තරග 12ක් හා අර්ධ අවසන් පූර්ව තරග 2ක් ක්‍රීඩාකර තිබෙනවා.