/
/
title icon
කොළඹ මහ පුටුව කාටද ? තීරණය හෙටයි
කොළඹ මහ පුටුව කාටද ? තීරණය හෙටයි
Editor
13 hours ago
Share:
කොළඹ මහ පුටුව කාටද ? තීරණය හෙටයි

ඉකුත් පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිඳු පක්ෂයකට බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම හෙට දිනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඊට අදාළ ගැසට් නිවේදනය පළාත් පාලන කොමසාරිස්වරිය විසින් පසුගියදා නිකුත් කළ අතර ඒ අනුව කොළඹ නගර ශාලාවේ පැවැත්වීමට නියමිත රැස්වීමේදී, නව නගරාධිපතිවරයා සහ උප නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පළමු කාර්යය ලෙස සිදුකිරීමට නියමිතයි.

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අනුව කොළඹ මහ නගර සභාවේ 117ක් වන සමස්ත සභික සංඛ්‍යාවෙන් සභික ධුර 48ක් ජාතික ජනබලවේගයට හිමි වූ අතර සමගි ජනබලවේගයට සභික ධුර 29ක් හිමිවුණා.

එක්සත් ජාතික පක්ෂයට සභික ධුර 13ක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සභික ධුර 5ක් සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට සභික ධුර 4ක් සහ සර්වජන බලයට සභික ධුර 2ක් හිමි වු අතර සෙසු සභික ධුර සංඛ්‍යාව අනෙකුත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතර බෙදී ගොස් තිබෙනවා. 

ඡන්ද ප්‍රතිඵලයට අනුව කිසිදු පක්ෂයකට හෝ කණ්ඩායමකට සභාවේ බහුතර සභික සංඛ්‍යාව වන 59ක් දිනා ගැනීමට හැකියාව නොලැබීම තුළ කොළඹ මහ නගර සභාවේ ප්‍රධානීන් පත් කරගැනීම සඳහා හෙට පැවැත්වෙන මංගල රැස්වීමේදී ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිතයි.

ජාතික ජනබලවේගය මෙන්ම සමගි ජනබලවේගය ප්‍රමුඛ විපක්ෂය ද කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවන බවට ප්‍රකාශ කර තිබීම හේතුවෙන් හෙට පැවැත්වෙන ඡන්ද විමසීම බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබෙනවා.

කොළඹ මහ නගර සභාව සඳහා පත් වූ ජාතික ජනබලවේගයේ සභිකයින් පසුගියදා දිවුරුම්දුන් අතර සමගි ජනබලවේගයේ සභිකයින් අද පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියේ දිවුරුම්දෙනු ලැබුවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required