
ගාල්ල මහ නගර සභාවේ බලය තහවුරු කර ගැනීමට ජාතික ජන බලවේගය අද සමත් වුණා.
ඒ, ගාල්ල මහනගර සභාවේ මංගල රැස්වීම දකුණු පළාත් පළාත් පාලන කොමසාරිස් එරන්දි උමංගා මැන්දිස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ රැස්වූ අවස්ථාවේදීයි.
නගරාධිපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ ඇල්විටිගල ඉහල ගමගේ සුනිල් මහතාගේ නම යෝජනා කෙරුණු අතර, සමගි ජන බලවේගය විසින් මොහමඩ් මවුසුන් මොහමඩ් රෝෂාන් මහතාගේ නම යෝජනා කරනු ලැබුවා.
නගරාධිපතිවරයා තෝරා ගනු ලබන්නේ රහස් ඡන්දයකින්ද නැතහොත් විවෘත ඡන්දයකින්ද යන්න තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් පැවති අතර, එහිදී රහස් ඡන්දයක් පැවැත්වීම සඳහා සහිකයින් 19 දෙනකු ඡන්දය ප්‍රකාශ කළා.
විවෘත ඡන්දයකට සභිකයින් 17 දෙනෙකු සිය ඡන්දය භාවිත කර තිබුණා.
ඒ අනුව ඊට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ, එක්සත් ජාතික පක්ෂයේ සහ පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරු 16 දෙනෙකු සභාගැබෙන් පිටව ගියා.
මෙහිදී සභා ගර්භය තුළ දැඩි උණුසුම්කාරී තත්ත්වයක්ද හටගත් අතර, එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභිකයින් තිදෙනා සභා ගර්භය තුළ රැඳී සිටියා.
අනතුරුව දකුණු පළාත් පළාත් පාලන කොමසාරිස්වරිය විසින් සභා රැස්වීම විනාඩි 30කට කල් තැබුවා.
යළි සභා රැස්වීම ආරම්භවීමෙන් පසුව නගරාධිපතිවරයා තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත් වූ අතර, එහිදී ජාතික ජන බලවේගයේ ඇල්විටිගල ඉහළ ගමගේ සුනිල් මහතා ඡන්ද 19ක් ලබාගනිමින් නගරාධිපති ධුරයට තේරී පත්වුණා.
උප නගරාධිපතිවරය වශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රියන්ත සහබන්දු මහතා නිතරගයෙන් තේරී පත්වුණා.