
ඊශ්‍රායලය සහ ඉරානය අතර සති 12ක් පුරා පැවති දැඩි ගැටුම්වලින් පසු පසුගිය සතියේ එනම් ජූනි 24 වන දින සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන ලදී. මෙම සටන් විරාමය ඇමරිකා එක්සත් ජනපදය සහ කටාර් රාජ්‍යයේ මැදිහත්වීමෙන් ඇති විය. මෙවර ඇමරිකාවේ මැදිහත් වීම මත වූ ප්‍රහාරය මත යුද්ධය තෙවන ලෝක සංග්‍රාමය වෙත ප්‍රවිෂ්ඨ වේ යැයි බියක් ලොව පුරා ඇති විණි.
ජූනි 13 වන දින ඊශ්‍රායලය විසින් "ඔපරේෂන් රයිසින් ලයන්" නමින් දියත් කරන ලද ප්‍රහාර මාලාව ඉරානයේ න්‍යෂ්ටික ස්ථාන, හමුදා පහසුකම්, මිසයිල කඳවුරු සහ ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරීන් ඉලක්ක කර ගෙන සිදු කර තිබිණ. ඊශ්‍රායලය මෙම ප්‍රහාරය සම්බන්ධව ප්‍රකාශ කර සිටියේ ඉරානය න්‍යෂ්ටික අවියක් නිපදවීමට ආසන්නව සිටි බැවින් එය වැළැක්වීම සඳහා මෙම ප්‍රහාර එල්ල කළ බවයි. කෙසේ වෙතත්, ඉරානය මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළ බව මාධ්‍ය වාර්තා කර තිබිණ.

ඊශ්‍රායලය, විශේෂයෙන් ම ගැඹුරු භූගතව පිහිටි ෆෝඩෝ න්‍යෂ්ටික බලාගාරයට එල්ල කරන ලද ප්‍රහාර පිළිබඳව විවාදයක් ගොඩනැගුණි. ඇතැම් වාර්තා මගින් තහවුරු වන්නේ මෙම පහසුකම්වලට වූ හානිය මාස කිහිපයක් තුළ නැවත අලුත්වැඩියා කළ හැකි සුළු ප්‍රහාරයන් වූ බවයි. එමෙන් ම මෙම ප්‍රහාරවලට පෙර ඉරානය විසින් තීරණාත්මක උපකරණ සහ යුරේනියම් තොග ඉවත් කර ඇති බවට වාර්තා වීම ද ඊශ්‍රායලයේ ප්‍රහාරවල සඵලතාවය පිළිබඳව ප්‍රශ්නාර්ථයක් මතු කර ඇත.
ඉරානයේ ටෙහෙරානයේ පිහිටි එවින් බන්ධනාගාරයට ඊශ්‍රායලය එල්ල කළ මිසයිල ප්‍රහාරය ගැටුම වඩාත් මතභේදාත්මක තත්ත්වයකට පරිවතනය කිරීමට සමත් විය. ඉරාන අධිකරණය සනාථ කළේ මෙම ප්‍රහාරයෙන් අවම වශයෙන් 71 දෙනෙකු මිය ගිය බවයි. මිය ගිය අය අතර බන්ධනාගාර නිලධාරීන්, කාර්ය මණ්ඩලය, රැඳවියන් සහ අවට ගොඩනැගිලිවල සිටි සිවිල් වැසියන් ද සිට ඇත. කෙසේ නමුත් මෙම ප්‍රහාරය ජාත්‍යන්තරයේ ද දැඩි විවේචනයට ලක් විය. එමෙන් ම ඉරාන රජයේ නිල මාධ්‍ය වාර්තා අනුව ජූනි 13 සිට දින 12ක ගැටුමෙන් පුද්ගලයන් 935 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. මේ අතර ළමුන් 38 දෙනෙකු සහ කාන්තාවන් 132 දෙනෙකු ද වූ බව සඳහන් විය. කෙසේ වෙතත් ඇමෙරිකානු මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ කණ්ඩායමක් වාර්තා කරනු ලැබුවේ පුද්ගලයන් 1,190 දෙනෙකු මිය ගොස් ඇති බවත් ඒ අතර සිවිල් වැසියන් 436 ක් සහ හමුදා සාමාජිකයන් 435 ක් සිටි බවයි. තුවාල ලැබූවන් ගණන 4,475 ක් ලෙස ද වාර්තා වී තිබිණ. ඊශ්‍රායල ප්‍රහාර මගින් ඉරානයේ විප්ලවවාදී ආරක්ෂක බලකායේ (Revolutionary Guard) ඉහළ පෙළේ නිලධාරීන්ට සහ න්‍යෂ්ටික විද්‍යාඥයින්ට ද හානි සිදු වූ බව වාර්තා විණි.

මෙම ප්‍රහාරය "යුද ප්‍රකාශයක්" ලෙස අර්ථකථනය කරමින් ඉරානය ද ඊශ්‍රායලය වෙත දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කළේය. ඉරානය විසින් මිසයිල 550කට අධික සංඛ්‍යාවක් ඊශ්‍රායලය වෙත එල්ල කරන ලද අතර ඉන් බොහොමයක් අහස් ආරක්ෂක පද්ධති මගින් නිෂ්ක්‍රීය කරන ලද නමුත් ඉතිරි මිසයිල මගින් ඊශ්‍රායලයේ ප්‍රදේශ ගණනාවකට හානි සිදු විය. ඉරානයේ මිසයිල ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ පුද්ගලයන් 28 දෙනෙකු මිය ගිය බව නිල සංඛ්‍යාලේඛන තහවුරු කරන ලදි.
දැනට ක්‍රියාත්මක සටන් විරාමය පිළිබඳව සලකන කල්හි එය මේ වන විට ක්‍රියාත්මක වුවද ඉරාන බුද්ධි අංශ නිලධාරීන් ඊශ්‍රායලය දක්වන මෙම කැපවීම පිළිබඳව සැක පළ කර තිබේ. ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි (Abbas Araghchi) එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලිපියක් යොමු කරමින් ඊශ්‍රායලය සහ ඇමරිකා එක්සත් ජනපදය මෙම ආක්‍රමණයේ ආරම්භකයින් ලෙස පිළිගන්නා ලෙස ද ඉල්ලීමක් සිදු කර ඇත. කෙසේ නමුත් මෙම කෙටි යුද්ධය බටහිර ආසියාවේ පූර්ණ පරිමාණ යුද්ධයක ස්වභාවය පිළිබඳව දළ අදහසක් ලෝකයට ම ප්‍රකාශ කිරීමට සමත් විය. ඊශ්‍රායල ජෙට් යානාවලට සිරියාව සහ ඉරාකය හරහා ඉරානයට නිදහසේ පියාසර කිරීමට හැකි වීම, ඊශ්‍රායලයේ ගුවන් ආධිපත්‍යය මෙන් ම කලාපයේ උපායමාර්ගික පෙළගැස්වීම යන සුවිශේෂි බල ව්‍යාප්තිය පිළිබඳව ලෝකයට ම නිරාවරණය කිරීමට හැකි විය.

මේ වන විට සටන් විරාමයත් සමඟ සටන් නතර වී ඇතත් න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ගැටුම තවමත් විසඳී නොමැති බව දක්නට ලැබේ. ඇමරිකාව ඉරානයෙන් සම්පූර්ණයෙන් ම න්‍යෂ්ටික වැඩසටහන නතර කරන ලෙස ඉල්ලා සිටීම වෙනුවට සාකච්ඡා සහ ආර්ථික සහන හරහා ආතතීන් සමනය කිරීමට කැමැත්තක් දක්වනු බව දැකගත හැක. මෙහි දී ඉරානය ද තම න්‍යෂ්ටික වැඩසටහන රහසිගතව තබා ගනිමින් ගැටුම් වළක්වා ගැනීමට උත්සාහ කරමින් පසු වෙයි.. මෙම ප්‍රායෝගික ප්‍රවේශයට දැනට තත්ත්වය සමනය කළ හැකි වුවද ප්‍රධාන න්‍යෂ්ටික ගැටලුව නම් නිරාකරණය වන බවක් නොපෙනෙන අතර එය අනාගතයේ දී වඩාත් භයානක තත්ත්වයක් ලෝකයට ම උදා කළ හැක.
සැකසුම හා සංස්කරණය - ප්‍රසිලා සඳරුවනි