/
/
title icon
වූෂු ක්‍රීඩාවෙහි ශ්‍රී ලාංකේය අභිමානය පසිඳු විජේසිංහ
වූෂු ක්‍රීඩාවෙහි ශ්‍රී ලාංකේය අභිමානය පසිඳු විජේසිංහ
Upeksha Thambavita
1 month ago
Share:
වූෂු ක්‍රීඩාවෙහි ශ්‍රී ලාංකේය අභිමානය පසිඳු විජේසිංහ

ක්‍රීඩාව යනු අප බහුතරයක් දෙනා ආදරය කරන, ඇලුම්කරන ක්ෂේත්‍රයක්. ක්‍රීඩා ලෝකයේ විවිධ ක්‍රීඩා කාණ්ඩයන් හරහා නොයෙකුත් තරු අද මේ රටට ලෝකයට දායාද වී තිබෙනවා. ඉතිං සන්නස අපි අද කතාබහ කරන්න යන්නේ ක්‍රීඩා ලෝකයේ සිටින තවත් එවැනි තරුවක් සමග. ශ්‍රී ලංකා ජාතික වූෂු කණ්ඩායමෙහි වත්මන් ක්‍රීඩක පසිඳු ප්‍රියාන් විජේසිංහ, ඉතිං ඉතාමත් ආදරෙන් ඔබව ආයුබෝවන් කියලා පිළිගන්නවා අපේ සාකච්ඡාවට.

ආයුබෝවන්!
 

මුලින්ම අප දැනගන්න කැමතියි ඔබ ගැන සහ ඔබගේ පවුලේ විස්තර?

මගේ නම පසිඳු ප්‍රියාන් විජේසිංහ. මගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, මල්ලී, මමයි. මම මේ වන විට කොළඹ නාලන්දා විද්‍යාලයේ ගණිත අංශයෙන් උසස් පෙළ හදාරනවා. ඒත් සමග ම මේ වන විට ශ්‍රී ලංකා ජාතික වූෂු කණ්ඩායම නියෝජනය කරමින් එහි ක්‍රීඩකයෙකු ලෙසට කටයුතු කරනු ලබනවා.

ඔබගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍ය මෙම වූෂු ක්‍රීඩාව ලෙසට සඳහන් කළහොත් මම නිවැරදී. ඔබ කොහොමද මෙම ක්‍රීඩාව වෙත පිවිසුණේ, මෙහි ගමන්මග කෙබඳුද?

ඇත්තටම මම මුලින්ම 2014 වසරේ දී ක්‍රීඩාවක් විදියට ජිම්නාස්ටික් හැදෑරුවා. ඒක තමයි මගේ  ක්‍රීඩා ජීවිතයේ මුල්ම අවස්ථාව. ජිම්නාස්ටික් වලින් තමයි මට වූෂුවලට පිවිසෙන්න මූලික අත්තිවාරම සකස්කලේ. එතනින් පටන්ගෙන පසුව 2019 වසරේ දී වූෂු හදාරන්න පෙළඹුණා. ඒ වන විට රටේ පැවති කොරෝනා තත්ත්වය නිසා අතරමගදී එය තාවකාලිකව නවත්වන්න සිදුවුණා. වූෂු වල තියෙනවා විවිධ කාණ්ඩයන්. මම මේ වනවිට හදාරන කාණ්ඩය Nanquan Category ආරම්භ කළේ 2020 වසරේදී. මේ විදියට තමයි වූෂුවල ආරම්භය සිදුවුණේ.

මෙම වූෂු ක්‍රීඩාව හරහා මේ වන තෙක් ඔබ ලබාගත් ජයග්‍රහණ පිළිබඳව සිහිපත් කළහොත්?

ජයග්‍රහණ පිළිබඳව සඳහන් කිරීමේ දී මුලින්ම Central Province Wushu Association-2020 තරගාවලිය තුළ Chanquan කාණ්ඩය යටතේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට මට හැකියාවක් ලැබුණා. ඉන් අනතුරුව 2022 වසරේදී Western Province School games තරගාවලිය තුළ Chanquan කාණ්ඩය යටතේ ප්‍රථම ස්ථානයත්, Daoshu කාණ්ඩය යටතේ   තෙවන ස්ථානයත්, Gunshu කාණ්ඩය යටතේ දෙවන ස්ථානයත් හිමිකර ගැනීමට හැකියාව ලැබුණා. ඊටපස්සේ 2023 වසරේ දී Inter Provincial Youth Wushu Championships තරගාවලිය තුළ දී Nanquan සහ Nangun යන කාණ්ඩ ද්විත්වය හරහා මම ප්‍රථම ස්ථානයට තේරීපත් වුණා. අනතුරුව 2023 වසරේ ම පැවති The 1st National Youth Wushu Championship තරගාවලිය හරහා Nanquan කාණ්ඩය යටතේ දෙවන ස්ථානයත්, Nangun යන කාණ්ඩය යටතේ ප්‍රථම ස්ථානයත් හිමිකරගත්තා. පසුව All Island School Games - 2023 තරගාවලිය හරහා මට Overoll Champion වීමට හැකිවුණා. අනතුරුව එම වසරේ ම Ceylon Wushu Academy යටතේ පැවති තරගාවලිය තුළින් Nanquan, Nandao සහ Nangun යන කාණ්ඩ ත්‍රිත්වය හරහාම මට පළමු ස්ථානය ලැබුණා.

එතනින් පස්සේ 18th National Wushu Championships - 2024 තරගාවලිය යටතේ Nanquan,Nangun සහ Nandao යන කාණ්ඩ ත්‍රිත්වය හරහා මට ප්‍රථම ස්ථානය හිමිවුණා. නැවතත් එම වසරේදිම 48th National Sport Games තරගාවලිය යටතේ බස්නාහිර පළාත් මට්ටමින් සමස්ත තරග කාණ්ඩයන් තුළින් 2 වන ස්ථානය ලබාගැනීමට හැකියාව ලැබුණා. පසුව එම තරගාවලිය තුළදීම ජාතික මට්ටමින් සමස්ත තරග කාණ්ඩයන් තුළින් 3 වන ස්ථානය ලබාගැනීමට මා හට හැකි වුණා. නැවතත් 2024 වසරේ දී පැවති 2nd  National Youth and Junior Wushu Championships තරගාවලිය තුළ දී බස්නාහිර පළාත් මට්ටමින් Nanquan,Nandao සහ Nangun යන කාණ්ඩ ත්‍රිත්වයෙහිම ප්‍රථම ස්ථානය හිමිකරගනිමින් මට එය ජයගැනීමට හැකි වුණා. අනතුරුව එම තරගාවලියේ ම ජාතික මට්ටමින් Nanquan, Nandao සහ Nangu යන කාණ්ඩ ත්‍රිත්ත්වයෙහි ද පළමු ස්ථානය මා හට හිමිකර ගැනීමට හැකියාව ලැබුණා.

ඉන් අනතුරුව මෙම වසරේ පැවති Junior Youth Nationals තරගාවලිය හරහා බස්නාහිර පළාත් මට්ටමෙන් සහ ජාතික මට්ටමෙන් Champion වීමට මට හැකි වුණා. පසුව මෙම වසර තුළම පැවති 49th Senior National Games තරගාවලිය තුළ බස්නාහිර පළාත් මට්ටමින් Nanquan කාණ්ඩය යටතේ ප්‍රථම ස්ථානය හිමිකරගැනීම මට හැකි වුණා.

ක්‍රීඩාව ඔස්සේ මේ දක්වා ඔබ පැමිණි ගමන් මග තුළ ඔබට පැමිණි අභියෝග මොනවාද?

 අභියෝග කියන්නේ මෙහෙමයි. වූෂුවලට මූලික අඩිතාලම සකස්වෙන්නේ ජිම්නාස්ටික්වලින්. මම ජිම්නාස්ටික් හදාරන කාලය තුළ මගේ පුහුණු කටයුතු මෙහෙයවන්න නිසියාකාර පුහුණුකරුවෙක් මට සිටියේ නැහැ. ඒක මට ලොකු අභියෝගයක් වුණා. නිසියාකාර පුහුණුකරුවෙකු නොමැතිකම නිසා ජිම්නාස්ටික් හැදෑරීමේදී යම් යම් ගැටලු මතුවුණ  නමුත් අද, වූෂු ක්‍රීඩාව හැදෑරීමේ දී ජිම්නාස්ටික්වලින් ලැබුණු පන්නරය අතිමහත්. කෙසේවෙතත් අද වන විට මට වූෂු සදහා ඉතාමත් දක්ෂ පුහුණු උපදේශකවරයෙක් ලැබී තිබෙනවා.
 
ඔබ මේ වන විට උසස්පෙළ හදාරන ශිෂ්‍යයෙක්.ඉතිං අධ්‍යාපන ක්ෂේත්‍රය තුළින් ඔබට තිබෙන අනාගත ඉලක්කයන් මොනවාද?

ඔව් මම මේ වන විට ගණිත අංශයෙන් අපොස උසස් පෙළ හදාරනවා. අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ තිබෙන මගේ ප්‍රධානතම ඉලක්කය තමයි අනාගතයේ දවසක මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට තේරිපත්ව මගේ උසස් අධ්‍යාපන කටයුතු හැදෑරීම. ඉතිං මම ඒ තැනට යන්න ගොඩක් මහන්සි වෙලා මගේ අධ්‍යාපන වැඩකටයුතු සිදුකරනවා.
 

මෙම ක්‍රීඩාවට අමතරව ඔබකරන වෙනත් බාහිර වැඩකටයුතු මොනවාද?

මම වූෂුවලට අමතරව මේ වන විට මගේ විනෝදාංශයක් විදිහට කැලිස්ත්එනික්ස් (Calisthenics) හදාරනවා. ඒ වගේ ම මම සංගීතයට දැඩි කැමැත්තක් දක්වනවා. මං ගිටාර් වාදනයට ඉතාමත් කැමතියී. ඉතිං මම මගේ ෆ්‍රී ටයිම් එකට ගිටාර් වාදනය කිරීම සිදුකරනවා.
 

ඔබේ වැඩකටයුතු වලට පවුලෙන් ලැබෙන සහයෝගය කෙබඳුද?

ඇත්තට ම මම මේ දක්වා පැමිණි ගමන්මගේ මගේ ලොකුම ශක්තිය වුණේ මගේ පවුල. අම්මා, තාත්තගෙන් මගේ වැඩවලට මට ලොකු සහයෝගයක් ලැබෙනවා. ඇත්තට ම ක්‍රීඩකයෙක් විදියට ක්‍රීඩා කටයුතු සදහා අපිට ලොකු පිරිවැයක් දරන්න සිදුවෙනවා. ඉතිං මගේ පවුලෙන් මට ඒ සදහා ලොකු සහයෝගයක් ලැබෙනවා.
 

ශ්‍රී ලංකා වූෂු ජාතික කණ්ඩායම තුළ සමාජිකත්වය දරන ඔබගේ, ක්‍රීඩා ක්ෂේත්‍රය තුළින් තිබෙන අනාගත සැලසුම් මොනවාද?

මම බොහෝදුරට ලබන වසරේ සිට මගේ උසස් පෙළ විභහග කඩයිම අවසන් වන තුරු තාවකාලිකව වූෂු ක්‍රීඩාකිරීම නවතා දමනවා. පසුව නැවත උසස් පෙළින් පසුව වසර 2-3 අතර කාලයක් මම වූෂු ක්‍රීඩාකිරීම සිදුකරනවා. පසුව මම ක්‍රීඩකයෙක් ලෙසට ක්‍රීඩා කිරීම නවතාදමා අන්තර්ජාතික වූෂු විනිසුරු පාඨමාලාව හැදෑරීමට බලපොරොත්තු වෙනවා. ඉතිං මෙම සුදුසුකම් සියල්ල සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ජාතික වූෂු සම්මේලනය තුළ උසස් තනතුරක් දරමින් ශ්‍රී ලංකා ජාතික වූෂු කණ්ඩායම තව තවත් ඉහළ තලයකට ගෙන ඒමට මගේ උපරිම මඟපෙන්වීම් ලබාදෙනවා.

ඔබගේ පවුලේ සහයෝගය හැරුණු කොට මේ දක්වා ඔබ පැමිණි ගමන්මගෙ ඔබට ශක්තියක් වූ පිරිසක් ඔබ වටා ඇති. අවසාන වශයෙන් අපි ඔවුන්ව මතක් කරමු.

පවුලේ සහයෝගය හැරුණු විට යම්කිසි මට්ටමකට බාහිර පිරිසක් මා වටා සිටිනවා. ක්‍රීඩාව සම්බන්ධව කටයුතු කිරීමේ දී ඔවුන්ගෙන් මට මගපෙන්වීම්, උපදෙස් ලැබෙනවා. ඉතිං ඒ දේවල් වලට මම ඔවුන්ට ස්තූතිවන්ත වෙනවා මේ වෙලාවේ.

හොදයි. ඒ අනුව අද අපගේ සාකච්ඡාව මෙතනින් නිමයි. අපගේ ආරාධනය පිළිගෙන අප සමග අද කතා බහට එක් වූ පසිඳු ප්‍රියාන් විජේසිංහ ඔබට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙන ගමන් ඔබගේ ක්‍රීඩා කටයුතු, අධ්‍යාපන කටයුතු ඇතුලු අනෙකුත් සියලු වැඩකටයුතු සාර්ථක වේවායි සන්නස අපි ඔබට සුබපැතුම් එක්කර සිටිනවා.

ස්තූතී.

 

උපේක්ෂා තඹවිට
 
 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required