/
/
title icon
රාජිත සිය නිවෙසත් අතහැර අල්ලස් කොමිසම මග හරී - අත්අඩංගුවට ගන්නැයි නියෝගයකුත්
රාජිත සිය නිවෙසත් අතහැර අල්ලස් කොමිසම මග හරී - අත්අඩංගුවට ගන්නැයි නියෝගයකුත්
Editor
18 hours ago
Share:
රාජිත සිය නිවෙසත් අතහැර අල්ලස් කොමිසම මග හරී - අත්අඩංගුවට ගන්නැයි නියෝගයකුත්

නීතිමය ක්‍රියා පටිපාටියට පටහැනි ලෙස කිරින්ද ධීවර වරායේ වැලි කැණීම් ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට පැවරීම තුළින් රජයට රුපියල් ලක්ෂ 262 කට අධික පාඩුවක් සිදුකිරීමේ සිද්ධියේ සැකකරුවකු ලෙස නම්කර සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා දුරකථනයද විසන්ධි කර සිය නිවස අතහැර ගොස් ඇති බව අල්ලස් කොමිසම විසින් අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියා.

මෙම විමර්ශනයට අදාළව ප්‍රකාශයක් දෙන ලෙස අවස්ථා කිහිපයකදීම ඔහුට දැනුම්දීම් කර තිබුණද ඔහු විවිධ අසත්‍ය කරුණු ඉදිරිපත් කරමින් දිගින් දිගටම එම ප්‍රකාශ ලබාදීම මගහරිමින් සිටින බවත් එම කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ චෝදනා කළා.

රාජිත සේනාරත්න මහතා අසනීප තත්ත්වයෙන් පෙළෙන බවට සඳහන් වෛද්‍ය වාර්තාවක් නීතිඥවරයෙකු මාර්ගයෙන් අල්ලස් කොමිසම වෙත ඉදිරිපත් කර ඇති අතර එහි කිසිදු නීතිමය පිළිගැනීමක් දක්නට නොලැබෙන බවත් ඔවුන් සඳහන් කර සිටියා.

රටින් බැහැරව සිටින බවට ඔහු ප්‍රකාශ කර තිබෙන බවත් විවිධ අසත්‍ය කරුණු දක්වමින් කොමිසම මගහරිමින් සිටින මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන ලෙසත් අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයෙන් ඒ අනුව ඉල්ලීමක් කළා. 

සැකකරු ඉදිරිපත් කර ඇති වෛද්‍ය වාර්තා තිබේදැයි මෙහිදී මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමෙන් ප්‍රශ්න කරනු ලැබුවා.

ඊට පිළිතුරු දෙමින් එම නිලධාරීන් සඳහන් කළේ එම ලේඛන අල්ලස් කොමිසමේ ගොනුවක් තුළ බහා ඇති බවයි.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමේ නිලධාරීන්ට පෙන්වා දුන්නේ සැකකරුට වරෙන්තුවක් නිකුත් කිරීමට නම් ඊට අදාළ ලේඛන අධිකරණයේ අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය බවයි.

කෙසේ වෙතත්, මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අල්ලස් කොමිසමට බලය තිබෙන බවත් මෙහිදී මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නා.

එම බලතල උපයෝගී කරගනිමින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙසත් මෙහිදී මහේස්ත්‍රත්වරයා අල්ලස් කොමිසමට නියම කරමින් සඳහන් කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required