/
/
title icon
Global Eye - ලෝකබලවතා සලිත කළ දැවැන්ත ගංවතුරෙහි සවිස්තරාත්මක තොරතුරු
Global Eye - ලෝකබලවතා සලිත කළ දැවැන්ත ගංවතුරෙහි සවිස්තරාත්මක තොරතුරු
Presila Sandaruwani
16 hours ago
Share:
Global Eye - ලෝකබලවතා සලිත කළ දැවැන්ත ගංවතුරෙහි සවිස්තරාත්මක තොරතුරු

ඇමරිකා එක්සත් ජනපදය මෙම කාලවකවානුව තුළ නිතර කතා බහකට ලක්වන පුවත් නිර්මාණය කරන රටක් වන අතර පසු ගිය සතියේ එනම් 2025 ජූලි 4 සිට 7 වන දින දක්වා ම දරුණු ගංවතුර තත්ත්වයක් හේතුවෙන් ලෝකයේ ම අවධානය ඇමරිකාව වෙත එල්ල වූයේ සිදු වූ මරණ ගණන දිනෙන් දින ඉහළ ගිය  බැවිනි.

ට්‍රොපිකල් ස්ටෝම් බැරී (Tropical Storm Barry) සුළි කුණාටුවේ ඉතිරි කොටස්වලින් ලැබුණු අධික තෙතමනය සහ තවත් කුණාටු පද්ධතියක බලපෑමෙන් මෙම ගංවතුර තත්ත්වය ඇමරිකාවේ එනම් ටෙක්සාස් හිල් කන්ට්‍රි (Texas Hill Country) ප්‍රදේශයට විශේෂිතව අධික බලපෑම්කාරී ලෙස නිර්මාණය වී තිබිණ. කෙටි කාලයක් තුළ අඟල් 10 සිට 18 දක්වා ද ඇතැම් ප්‍රදේශවල අඟල් 20කට වඩා අධික වර්ෂාපතනයක් ලැබීමෙන් මෙම ගංවතුර තත්ත්වය උග්‍ර තත්ත්වයක් දක්වා වර්ධනය වී තිබිණ. එරට කාලගුණ විශ්ලේෂකයින් දක්වා තිබූ පරිදි මෙය එරටට මාස කිහිපයකට ලැබෙන සම්පූර්ණ වර්ෂාපතන අගයට සමාන වන තරම් ඉතා විශාල ගංවතුර තත්ත්වයක් විය. ගංවතුර තත්ත්වයේ වැඩි බලපෑම ටෙක්සාස් හිල් කන්ට්‍රි ප්‍රදේශයට එල්ල වී තිබූ අතර එම ප්‍රදේශය ස්වභාවිකව ම ක්ෂණික ගංවතුරට ලක්වීමේ වැඩි ප්‍රවණතාවක් දක්වන භූමියකි. මෙම ප්‍රදේශය වියළි, ඝන පස් සහිත බැවින් වර්ෂාව පසට උරා නොගැනීම ගංවතුර තත්ත්වයට හේතු වන බව පර්‍යේෂක මතයයි. මෙසේ ඇති වූ ගංවතුර තත්ත්වය වඩාත් දරුණු වූයේ ගුවාඩලුපේ ගඟේ (Guadalupe River) ජල මට්ටම අසාමාන්‍ය ලෙස වේගයෙන් ඉහළ යාම හේතුවෙනි. සමහර ස්ථානවල පැය භාගයක් වැනි කෙටි කාලයක් තුළ අඩි 26ක (මීටර් 8ක්) පමණ දැවැන්ත ප්‍රමණයකින් ජල මට්ටම ඉහළ ගොස් තිබිණ.

cee8ef2edbb708c2d2c61086c053f7f3.jpg

මේ වන විට එනම් ජූලි 11 වන දින වන විට පුද්ගලයින් 121 දෙනෙකුට අධික පිරිසකගේ මරණ තහවුරු වී ඇති අතර පුද්ගලයින් 160කට අධික පිරිසක් අතුරුදහන් වී ඇත. මියගිය අයගෙන් වැඩි දෙනෙක් විශේෂයෙන් ම පුද්ගලයින් 96 දෙනෙකු පමණ ම වාර්තා වන්නේ කර් කවුන්ටි (Kerr County) යන ප්‍රදේශයෙනි. මෙම ප්‍රදේශය ද මෙම දැවැන්ත ගංවතුර තත්ත්වයෙන් දරුණු ලෙස පීඩාවට පත් විය. මෙහි ඇති කඳවුරු සහ කඳවුරු බිම් ගණනාවක් ද ජලයෙන් යට වී ගොස් තිබිණ. කැම්ප් මිස්ටි (Camp Mystic) කඳවුරෙහි එනම් සියවස් ගණනක් පැරණි ගැහැණු ළමුන් සඳහා වූ ක්‍රිස්තියානි ගිම්හාන කඳවු‍රෙහි කඳවුරුකරුවන් සහ උපදේශකයන් 27 දෙනෙකු ඇතුළුව විශාල පිරිසක් මෙම ගංවතුර තත්තවය හේතුවෙන් ජීවිතක්ෂයට පත් විය. මෙම කඳවුරේ කුටි අතිශයින් භයානක ගංවතුර කලාපයක ඉදිකර ඇති බවට වාර්තා වී තිබුණි. එමෙන් ම ට්‍රැවිස් කවුන්ටි (Travis County), බර්නෙට් කවුන්ටි (Burnet County), කෙන්ඩල් කවුන්ටි (Kendall County), විලියම්සන් කවුන්ටි (Williamson County) සහ ටොම් ග්‍රීන් කවුන්ටි (Tom Green County) යන ප්‍රදේශවලින් ද මරණ වාර්තා වී තිබුණි. ඉතා විශාල කේදවාචකයක් ඇති කළ මෙම ගංවතුර තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශවල නිවාස, ව්‍යාපාරික ස්ථාන, දේපල සහ යටිතල පහසුකම්වලට විශාල හානියක් සිදු වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබූ අතර එම මුළු හානිය ඩොලර් බිලියන 18 සිට 22 දක්වා විය හැකි බවට ද ඇස්තමේන්තු කර ඇත.

ගංවතුර ආරම්භ වූ දින සිට මේ දක්වා පුද්ගලයින් 440කට අධික පිරිසක් මුදාගෙන ඇති බව නිල වාර්තාවල සඳහන් වන අතර මේ සඳහා හෙලිකොප්ටර් යානා ද යොදවා තිබුණි. ගංවතුර පහව ගිය පසු අතුරුදහන් වූවන් සොයා ගැනීම සඳහා විශාල වශයෙන් සෙවීමේ සහ ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකව පැවැති අතර සුන්බුන් ගොඩවල් අතර මෙම සෙවීම් කටයුතු තවමත් සිදු කරමින් පවති. එමෙන් ම ස්වේච්ඡා සේවකයන් 2,000කට අධික පිරිසක් ද කර් කවුන්ටි ප්‍රදේශයේ හදිසි මෙහෙයුම් සඳහා සහාය වී තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණ. අතුරුදහන් වූවන් සොයා ගැනීමේ බලාපොරොත්තු මේ වන විට ක්ෂය වෙමින් පවතින අතර මියගිය අයගේ සිරුරු සොයා එම පවුල්වලට සහනයක් ලබා දීමට කටයුතු කිරීම එම බලධාරීන්ගේ අපේක්ෂාව වන බව ද එම මාධ්‍ය වාර්තා දක්වා තිබුණි.

109533af81724efad8c0246f074e4356.jpg

මෙම සිද්ධිය සම්බන්ධව විවිධ මත පළවීම් හා චෝදනා එල්ල වීම් ද වාර්තා වී තිබ්ණ. දේශීය නිලධාරීන්ට ගංවතුර අනතුරු ඇඟවීම් පුවත් ප්‍රමාණවත් ලෙස නිකුත් නොකිරීම සහ හානියට පත් කඳවුරු ඉවත් කිරීමට නිසි පියවර නොගැනීම සම්බන්ධයෙන් මෙසේ විවේචන එල්ල වී ඇත. ඇතැම් ප්‍රදේශවාසීන් ප්‍රකාශ කර තිබුණේ තමන්ට කිසිදු අනතුරු ඇඟවීමක් නොලැබුණු බවයි. කර් කවුන්ටිහි නිලධාරීන් පවසා ඇත්තේ ඔවුන් මෙවැනි ගංවතුර තත්ත්වයක් තවත් අවුරුදු 100කින් බලාපොරොත්තු නොවූ බවයි. කෙසේ වෙතත් වසර ගණනාවක් තිස්සේ මෙම කලාපයේ ගංවතුර අවදානම පිළිබඳව රජය දැනුවත්ව සිටි බවත්, තර්ජනය වැඩි වෙමින් පවතින බවට පසුගිය වසරේ වාර්තාවක් මගින් අනතුරු අඟවා තිබූ බවත්, නමුත් ඒ සඳහා නිසි පියවරක් බලධාරීන් නොගත් බවත් ප්‍රකාශ කරමින් ජනතාව රජයට චෝදනා එල්ල කරමින් පවති. මේ අතර ටෙක්සාස් ආණ්ඩුකාර ග්‍රෙග් ඇබට් (Greg Abbott) ප්‍රාන්ත ව්‍යවස්ථාදායකයෙන් නව ගංවතුර අනතුරු ඇඟවීමේ පද්ධතියක් සහ හදිසි සන්නිවේදන ජාල වැඩිදියුණු කිරීම සඳහා අරමුදල් අනුමත කරන ලෙස රජයෙන් ඉල්ලා ඇති බව ද වාර්තා වේ. කෙසේවෙතත් මෙම ගංවතුර තත්ත්ව‍යෙහි බලපෑම දීර්ඝ කාලයක් පුරා ටෙක්සාස් ප්‍රාන්තයට බලපෑමට හැක.

20b6e7e35012179c12fb9b0caa1587c3.jpg

පසුගිය වසරේ එනම් 2024 වසරේ දී ද ටෙක්සාස් ප්‍රාන්තයට දැඩි ගංවතුර තත්ත්වයන් කිහිපයකට ම මුහුණ දීමට සිදු විය. මෙයින් වඩාත් දරුණු හා මාරාන්තික ගංවතුර තත්ත්වය ඇති වූයේ 2024 වසරේ අප්‍රේල් 26 සිට ජුනි 5 දක්වා සහ ජූලි 3 සිට 7 දක්වා යන කාලය තුළ ය. විශේෂයෙන් ම ජූලි මස මුල දී ඇති වූ ගංවතුර තත්ත්වය ඉතිහාසයේ මෙම ප්‍රාන්තය තුළ සිදු වූ දරුණුත ම ව්‍යසනයක් ලෙස වාර්තා විය. එම ගංවතුර තත්ත්වයට හේතු වූයේ ද අධික වර්ෂාපතනයයි.  

 

6336029fe176449a45ebd0d18c9fc4cc.jpg
2854787d2bee6d21e3a45f885c023ebd.jpg
109533af81724efad8c0246f074e4356.jpg
05a08b9767dd183855d8aa4adec6559b.jpg
fba273c4fc5a41a78315b248e7e5aef8.jpg


සැකසුම හා සංස්කරණය - ප්‍රසිලා සඳරුවනි

 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required