
ආසියානු මීටර් 800 රන් පදක්කම් දිනූ ඔලිම්පික් ක්‍රීඩිකා තරුෂි දිල්සාරා කරුණාරත්න දිසානායක මේ වන විට ඇමරිකාවේ ලුසියානා ප්‍රාන්තයේ නිව් ඔරලෙන්ස්හි පිහිටි තුලේන් විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා පුහුණු හා කළමනාකරණ උපාධියක් හදාරමින් සිටියි. ඒ ආසියානු මලල ක්‍රීඩා ශුරතාවලියේ දී ඇය පෙන්වූ දක්ෂතා සැලකිල්ලට ගෙන වසර 4ක පූර්ණ ශිෂ්‍යත්වයක් ලබා දීමට කටයුතු කර තිබීම හේතුවෙනි. තුලේන් විශ්වවිද්‍යාලය සතුව තුලේන් ග්‍රීන් වේව් නමින් මලල ක්‍රීඩා කණ්ඩායමක් ඇති අතර, තරුෂි එම කණ්ඩායම නියෝජනය කරයි.
චීනයේ හැංජෝ නුවර පැවැත් වූ 19 වන ආසියානු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දීමට තරුෂි කරුණාරත්න 2023 වසරේ ඔක් 4 වැනි දා සමත් විය. මීටර් 800 කාන්තා ධාවන තරග ඉසව්වෙන් ඇය මෙම රන් පදක්කම දිනා ගැනීමට සමත් වුයේ මිනිත්තු 2යි තත්පර 03 දශම 2.0කින් තරගය අවසන් කරමින්ය. එලෙස මලල ක්‍රීඩා ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් හිමි වූයේ 21ක් වසරකට පසුය. ආසියානු ක්‍රීඩා උළලක මලල ක්‍රීඩා ඉසව්වකින් ශ්‍රී ලංකාව මීට පෙර අවසන් වරට රන් පදක්කමක් ජයග්‍රහණය කළේ 2002 වසරේ දී ය.
තරුෂි කරුණාරත්න වාර්තා පොත් අතරට එක් වූයේ ශ්‍රී ලංකාවට ආසියානු ක්‍රීඩා උළෙලක දී රන් පදක්කමක් දිනා දුන් තෙවන ක්‍රීඩිකාව ලෙස ය. මීට පෙර ආසියානු ක්‍රීඩා උළෙල දෙකක දී පාසල් යන වයසේ පසු වූ ක්‍රීඩිකාවන් දෙදෙනෙකු ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම් දිනා දීමට සමත් වී තිබේ. ඒ 1994 සහ 1998 වසරවල දී පිළිවෙලින් දමයන්ති දර්ශා සහ ශ්‍රියානි කුලවංශ යන අයය.
ඇයගේ පුහුණුකරු වූයේ සුසන්ත ප්‍රනාන්දු මහතා ය. ඔහු 34 වසරක් මළල ක්‍රීඩා පුහුණුකරුවෙකු වශයෙන් ජාත්‍යන්තරව රන් පදක්කම් රැසක් දිනා දුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් ශ්‍රී ලංකාවට දයාද කළ අයෙකි. ඒ අතුරින් ඉතා වටිනාම පදක්කම් දිනා දී ඇත්තේ තරුෂි ය. තරුෂි ඔහුගෙන් ගුරුහරුකම් ලබා ගෙන ඇත්තේ වයස අවුරුදු 12 දී සිටය.
ඇයගේ පළවෙනි ඉලක්කය ලෙස ආසියානු කනිෂ්ඨ ක්‍රීඩා උළෙල ජයග්‍රහණය කිරීමටත්, ඊට පසු ආසියානු මලල ක්‍රීඩා ශුරතාවලිය ජයග්‍රහණය කිරීමටත්, ඉන්පසු ආසියාවේ ප්‍රබලතම ක්‍රීඩා උළෙල වන ආසියානු ක්‍රීඩා උළෙල ජයග්‍රහණය කරන්නටත්, පොදුරාජ්‍ය මණ්ඩලීය, ලෝක සහ ඔලිම්පික් ධාවන තරග ඉසව් සඳහා ද තරුෂි කරුණාරත්න ක්‍රීඩිකාව පියවරෙන් පියවර ගෙන යාමට කටයුතු කළේ ඔහු ය.
දුලාංජලි විජේසිංහ