/
/
title icon
අනාගතයට පිය නගන පුංචි අඩි සටහන් - ශිෂ්‍යත්ව විභාගය
අනාගතයට පිය නගන පුංචි අඩි සටහන් - ශිෂ්‍යත්ව විභාගය
Madumalika Wickramasinghe
10 hours ago
Share:
අනාගතයට පිය නගන පුංචි අඩි සටහන් - ශිෂ්‍යත්ව විභාගය

අහස්  දියඹට විසිරුණු දහසක් සිහින පොකුරු මැද, කුඩා දෑස් තුළ දරුවෙකුගේ අහිංසක බලාපොරොත්තු දල්වන ශිෂ්‍යත්ව විභාගය, ලංකා අධ්‍යාපන පද්ධතිය තුල සුවිශේෂි සන්ධිස්ථානයකි. දශක හයකට අධික කාලයක් පුරා පැවත එන මෙම විභාගය අද වන විට හුදෙක් අධ්‍යාපනික පියවරක් පමණක්ම නොව සමාජයීය, මානසික සහ ආර්ථිකමය වශයෙන් ගැඹුරු බලපෑම් ඇති කළ සංසිද්ධියක් බවට පත්වී තිබේ.

සුන්දර අරමුණක් සහිත වූ ආරම්භය

1931 ලංකාවේ අධ්‍යාපන ඉතිහාසය ඉතාමත් වැදගත් කාල පරිච්ඡේදයෙකි. මෙම කාලය තුළ මුළු ආසියාවෙන්ම ප්‍රථම වරට සර්වජන ඡන්ද බලය ලාංකිකයන්ට ප්‍රධානය කරන ලදී.  ඡන්දය මගින් ව්‍යවස්ථාදායක සභාවේ නියෝජිතයන් පත් කරගත් අතර රාජ්‍ය මන්ත්‍රණ සභා ක්‍රමය යටතේ එක් විධායක කමිටුවක් යටතට අධ්‍යාපනය පත් වූ අතර මෙම විධායක කමිටුවේ සභාපතිවරයා අධ්‍යාපන ඇමතිවරයා ලෙස සැලකූ අතර එම ධූරයට සී. ඩබ්ලිව්. ඩබ්ලිව කන්නංගර මහතා පත්විය. 1931 සිට 1947 දක්වා මුළු යුගයේම අධ්‍යාපන ඇමතිවරයා වූ එතුමා ඇති කරන ලද අධ්‍යාපනික ප්‍රතිසංස්කරණයක් වශයෙන් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ආරම්භ විය. එය මුල් කාලයේ කුඩා පරිමාණයකින් පවත්වන ලද අතර1980න් පසුව එය සම්පූර්ණ ජාතික විභාගයකට පත් විය. අදවන විට පස්වන ශ්‍රේණිය සියලු දරුවන් මෙම විභාගය සඳහා සහභාගි වීම සාමාන්‍ය ක්‍රියාවක් බවට පත්වී ඇත . ඒ අනුව දිවයිනේ ප්‍රමුඛ පාසල් වලට ඇතුලත් වීමට දක්ෂ දරුවන්ට අවස්ථාව ලබාදීමට සහ මූල්‍යමය දුෂ්කරතා ඇති දක්ෂ සිසුන්ට ආධාර ලබා දීම මූලික අරමුණු බවට පත් විය. එකල අධ්‍යාපන අවස්ථා සීමා සහිත වූ යුගයක දුෂ්කර ප්‍රදේශවල සිටින දරුවන්ට පවා තම දක්ෂතාවයෙන් ඉදිරියට ඒමට මෙය මහගු අවස්ථාවක් විය. එය සමානාත්මතාවය පදනම් කරගත් අධ්‍යාපන පද්ධතියක් ගොඩනැගීමට ගත් මුල් පියවරක් ලෙස දැක්විය හැකිය. ශිෂ්‍යත්ව දීමනාවන් මගින් පවුල් වලට සහනයක් ලැබුණු අතර බොහෝ දරුවන්ට නිදහස් අධ්‍යාපනයේ සැබෑ වටිනාකම අත්විඳීමට හැකි විය.

බලාපොරොත්තුවක බර සහ ළමා මනසට බලපෑම්

කෙසේ වෙතත්, කාලයාගේ ඇවෑමෙන් ශිෂ්‍යත්ව විභාගයේ අරමුණු ක්‍රමයෙන් වෙනස් විය. ප්‍රමුඛ පාසල් වලට ඇතුළත් වීම සඳහා ඇති ප්‍රධානතම මාර්ගය බවට මෙය පත්වීමත් සමගම දැවැන්ත තරගයක් නිර්මාණය විය. මේ තරගය කුඩා දරුවන්ගේ අහිංසක ලෝකයට දැඩි පීඩනයක් ගෙන ආ අතර පස් වන ශ්‍රේණියේ දරුවකුට තම ළමා වියේ සතුට, විනෝදය ගවේෂණය කිරීම වෙනුවට පොත්පත් සමග පොර බඳින්නට සිදුවිය. උදෑසන පටන් රාත්‍රිය වනතුරු ටියුෂන් පන්ති, ගෙදර වැඩ සහ පුනරීක්ෂණ අතර ඔවුන්ගේ දෛනික කටයුතු සිර විය. " විභාගයෙන් සමත් විය යුතුයි" යන පීඩනය ඔවුන්ගේ කුඩා හදවත් තුළට කාවැදුණි. මෙහි ප්‍රතිඵලයක් ලෙස බොහෝ දරුවන්ට මානසික ආතතිය, සාංකාව, නින්ද නොයාම සහ ආහාර අරුචිය වැනි ගැටලුවලට මුහුණ දීමට සිදුවිය. සමහරු විභාගය අසමත් වීමෙන් තම දෙමාපියන්ගේ බලාපොරොත්තු බිඳ දමා වී යන භීතියෙන් පෙළුනු අතර ළමා කාලයේ නිර්මාණශීලීත්වය සහ ස්වයංසිද්ධ බව යටපත් වී විභාග කේන්ද්‍රිය අධ්‍යාපනයකට ඔවුන් හුරු විය.

දෙමාපියන්ගේ ගැටලු සහ සමාජීය බලපෑම්

දරුවන්ට ඇති වූ පීඩනය මෙන්ම දෙමාපියන්ටද ශිෂ්‍යත්ව විභාගය විශාල අභියෝගයක් බවට පත්විය.තම දරුවාට හොඳම අධ්‍යාපනය ලබාදීමට ඇති දැඩි ආශාව හේතුවෙන් දෙමාපියන් ආර්ථිකම වශයෙන් දැඩි පීඩනයකට ලක් විය . අධික ටියුෂන් පන්ති ගාස්තු, අමතර පොත්පත් සහ අනෙකුත් මගින් පවුල් වල ආර්ථිකයට දැඩි ලෙස බලපෑම් ඇතිවූ අතර  ඇතැම් දෙමව්පියන් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් රැකියා අතහැර දැමූ අවස්ථා පවා වාර්තා විය. දරුවන්ගේ සාමාර්ථය තම සමාජ තත්ත්වය හා බැඳී ඇතැයි යන මිත්‍යා විශ්වාසය නිසා දෙමාපියන් තම දරුවන්ට අධික ලෙස බලපෑම් කිරීමට පෙළඹුණි. මෙය පවුල් තුළ නොසන්සුන්තා ඇති කළ අතර දරුවන් සහ දෙමාපියන් අතර සබඳතාවලට පවා අහිතකර දෙස බලපෑවේය. ශිෂ්‍යත්ව විභාගය සමාජයේ “ජයග්‍රාහකින් සහ පරාජිතයන් “යනුවෙන් බෙදීමක් ඇති කළ අතර එය සමස්ත අධ්‍යාපන ක්‍රමයටම අහිතකර ලෙස බලපෑවේය.

තාක්ෂණයේ බලපෑම: නව මානයක් සහ අභියෝග

නූතන යුගයේ තාක්ෂණය ශිෂ්‍යත්ව විභාගය වටා ගෙතුණු සංස්කෘතියට සෘජුවම හා වක්‍රව බලපෑම් කරමින් සිටී. මෙම බලපෑම් විභාගයට සූදානම් වීමේ ක්‍රියාවලියේ සිට විභාගය මුල් අරමුණු වෙනස්වීම දක්වා විහිදේ.

අධ්‍යාපන සම්පත් සඳහා ප්‍රවේශය :

අද වන විට අන්තර්ජාලය ඔස්සේ විවිධ අධ්‍යාපන සම්පත් (ආදර්ශ ප්‍රශ්න පත්‍ර, කෙටි සටහන් ,වීඩියෝ පාඩම්) පහසුවෙන් ලබා ගත හැකිය. යූටියුබ්, ෆේස්බුක් වැනි සමාජ මාධ්‍යවේදිකා සහ විවිධ අධ්‍යාපනික යෙදුම් මේ සඳහා භාවිත වේ. කොවිඩ්-19 වසංගතයත් සමඟ zoom,  google meet  තාක්ෂණයන් භාවිතා කරමින් online ටියුෂන් පන්ති පැවැත්වීම ප්‍රචලිත විය. මෙය භූගෝලීය බාධා අඩු කරමින් දුරස්ථ සිසුන්ට පවා පන්තිවලට සම්බන්ධ වීමට අවස්ථාව ලබා දුනි.

 තරගකාරීත්වය ඉහළ යාම:

 තාක්ෂණය මගින් විභාග තොරතුරු, ප්‍රතිඵල සහ ඉහළ ලකුණු ලබාගත් අය පිළිබඳ තොරතුරු ක්ෂණිකව සමාජගත වීම සිදුවෙයි. සමාජ මාධ්‍ය ඔස්සේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල සහ දරුවන්ගේ සාර්ථකත්වය පිළිබඳ කතා බෙදා ගැනීම නිසා දෙමාපියන්ට තම දරුවන් සම්බන්ධයෙන් අමතර පීඩනයක් ඇති විය හැකිය. "අන් අය කරන දේවල්" දැකීමෙන් තමන්ගේ දරුවන්ටත් ඒ හා සමානව හෝ ඊට වෙනස්  හොඳ  අධ්‍යාපනයක් ලබාදිය යුතු යැයි යන හැඟීම ඇති විය.

ළමා මානසිකත්වයට සහ දෙමාපියන්ට ඇති බලපෑම්: 

මාර්ගගත අධ්‍යාපනය සහ තාක්ෂණික උපාංග භාවිතය වැඩිවීමත් සමඟ දරුවන් තිරය මත ගතකරන කාලය වැඩි වී ඇත. මෙය ඔවුන්ගේ ඇස් පෙනීමට, නින්දට සහ ක්‍රියාශීලී ජීවන රටාවට අහිතකර ලෙස බලපෑ හැකිය. අධ්‍යාපන කටයුතු සඳහා තාක්ෂණය භාවිතා කළ ද අන්තර්ජාලය සහ ස්මාර්ට් උපාංග වලට ඇබ්බැහි වීමේ අවධානම දරුවන් අතර පවතින ප්‍රබල ගැටලුවක් බවට පත්ව තිබේ.  එසේම ඇතැම්  දෙමව්පියන්ට තම දරුවන්ගේ මාර්ගගත අධ්‍යාපන කටයුතු අධීක්ෂණය කිරීමට අවශ්‍ය තාක්ෂණික දැනුම නොමැති වීමද ගැටළුවක් බවට පත් වී ඇත. 

මුල් අරමුණු වෙනස් වීම සඳහා තාක්ෂණයේ දායකත්වය:

තාක්ෂණය දියුණුවත් සමඟ කේන්ද්‍රීය පන්ති ජාලය වඩාත් පුළුල් වී ඇත. රටේ ඕනෑම තැනක සිට හොඳම ගුරුවරයා යැයි සැලකෙන ගුරුවරුන්ගේ මාර්ගගත පන්ති වලට සම්බන්ධ වීමට ඇති හැකියාව නිසා සෑම දරුවෙකුටම පාහේ විශේෂඥ මඟ පෙන්වීමක් ලබා ගැනීමට අවස්ථාව ලැබී ඇත. මෙය විභාගය තවත් තරගකාරී කර ඇත. වර්තමානයේ විභාගය ජයගැනීමට අවශ්‍ය"හැකියාව" පමණක් නොව තාක්ෂණික සම්පත් වෙත ප්‍රවේශයද වැදගත් සාධකයක් වී ඇත. අන්තර්ජාල පහසුකම් නොමැති, ස්මාර්ට් උපාංග නොමැති දරුවන්ට අත්වන අවාසිය මෙහිදී ප්‍රමුඛ වන අතර, මෙය මුලින් සමානාත්මතාවය අරමුණු කළ විභාගය තුළ ඩිජිටල් බෙදීම හේතුවෙන් අසමානතා නිර්මාණය වීමට දායක වී ඇත.

 

කාලයත් සමග වෙනස් වූ අරමුණු

ශිෂ්‍යත්ව විභාගයේ මුල් අරමුණු යහපත් වුවත් වර්තමානය වන විට ඒවා සැලකිය යුතු ලෙස වෙනස් වීමකට ලක්වී ඇත.

 මුල් අරමුණු : 

දක්ෂතා හඳුනා ගැනීම:  දක්ෂ සිසුන් මුල් අවධියේදීම හඳුනාගෙන ඔවුන්ට ඉහළ අධ්‍යාපන අවස්ථා ලබා දීම.

සමානාත්මතාවය: දුෂ්කර ප්‍රදේශවල සිසුන්ට ප්‍රමුඛ පාසල්වලට ඇතුළත් වීමට හා ශිෂ්‍යත්ව ලබා ගැනීමට අවස්ථාව සලසා දීම.

ආධාර ලබාදීම: මූල්‍යමය දුෂ්කරතා ඇති සිසුන්ට අධ්‍යාපනය සඳහා ආධාර ලබා දීම.

වර්තමාන අරමුණු (ප්‍රායෝගිකව):

ප්‍රමුඛ පාසල් ප්‍රවේශය: ප්‍රාථමික පාසල් සිසුන්ට ප්‍රධාන පෙළේ පාසල් වලට ඇතුළත් වීමට ඇති ප්‍රධානතම සහ බොහෝ විට  එකම මාර්ගය බවට පත්වීම.

තරගකාරීත්වයේ උච්චතම අවස්ථාව:  දරුවන්ගේ සාමාන්‍ය බුද්ධියට වඩා කටපාඩම් කිරීමේ හැකියාව සහ විභාගයේ රටාවට අනුගත වීම මත ලකුණු ලබා ගැනීමේ තරගයක් බවට පත්වීම.

ළමා අනාගතය තීරණය කිරීම: සමාජය තුළ දරුවකුගේ අනාගත සාර්ථකත්වය තීරණය කරන ප්‍රධානතම කඩඉමක් ලෙස මෙය සැලකීම.

අද වන විට, ශිෂ්‍යත්ව විභාගය හුදෙක් දැනුම මැන බලන විභාගයක් නොව දරුවන්ගේ හැකියාවන් සීමා කරන ඔවුන්ට අනවශ්‍ය පීඩනයක් ගෙන දෙන සහ සමාජය තුළ දැඩි තරගකාරිත්වයක් නිර්මාණය කරන සංකීර්ණ ගැටළුවක් බවට පත්ව තිබේ. දරුවෙකුගේ සැබෑ හැකියාව, නිර්මාණශීලීත්වය සහ සමස්ත සංවර්ධනයට වඩා විභාග ප්‍රතිඵලවලට මුල් තැන දෙන සමාජයක් බිහිවී ඇත. ශිෂ්‍යත්ව විභාගයේ අරමුණ නැවත සමාලෝචනය කර දරුවන්ගේ මානසික සෞඛ්‍ය සහ සමස්ත යහපැවැත්මට හිතකර වන පරිදි ප්‍රතිසංස්කරණය සිදුකිරීම කාලීන අවශ්‍යතාවයකි. එසේ නොවුනහොත්, මේ "සිහිනයක බර" ඉදිරියටත් බොහෝ දරුවන්ගේ ළමා විය අහිමි කරනු නොඅනුමානය. තාක්ෂණය යනු මෙවලමක් පමණක් වන අතර එය භාවිතා කරන ආකාරය මත එහි ප්‍රතිඵලය රඳා පවතී. ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් පවතින අභියෝග වලට පිළිතුරු සෙවීමේදී තාක්ෂණයේ  නිවැරදි භාවිතය පිළිබඳව ද අවධානය යොම  කිරීම ඉතා වැදගත්ය.

මදුමාලිකා වික්‍රමසිංහ

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required