
ලෝක බලවතා ලෙස සැලකෙන ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලොව පුරා රටවල් ගණනාවකට මේ වන විට තීරුබදු පනවා ඇති අතර එය ලොව පුරා විවිධාකාර කතිකාවතක් ගොඩ නගා ඇත. ඔහුගේ මෙම ප්‍රතිපත්තියේ ප්‍රධාන අරමුණ ලෙස සඳන් කර ඇත්තේ ඇමරිකානු වෙළඳ හිඟය අවම කිරීම සහ ඇමරිකානු කර්මාන්ත ආරක්ෂා කිරීමයි. ඔහු "ප්‍රතිප්‍රහාරක තීරුබදු" (reciprocal tariffs) ලෙස හඳුන්වන ක්‍රමවේදයක් මෙහි දී ක්‍රියාත්මක කරන අතර එයින් අදහස් කරන්නේ එක්සත් ජනපද භාණ්ඩ සඳහා වෙනත් රටවල් පනවන තීරුබදු වලට සමානව එම රටවලින් එක්සත් ජනපදයට ආනයනය කරන භාණ්ඩ සඳහා තීරුබදු පැනවීමයි. මෙය තරමක් වෙනස් වූ ආර්ථික ප්‍රවේශයක් ලෙස ද හැඳින්විය හැකියි.
ප්‍රධාන වශයෙන් ඔහු පනවා ඇති තීරුබදු කිහිපයක් මෙසේ අවධානයට යොමු කළ හැක.
10%ක මූලික තීරුබද්ද: 2025 අප්‍රේල් 5 වන දින සිට ලොව පුරා සෑම රටකින්ම එක්සත් ජනපදයට ආනයනය කරන භාණ්ඩ සඳහා 10% ක මූලික තීරුබද්දක් පනවා ඇත.
විශේෂිත තීරුබදු: මෙම 10% ක මූලික තීරුබද්දට අමතරව, එක්සත් ජනපදය සමඟ විශාලත ම වෙළඳ හිඟයන් ඇති රටවල් සඳහා 11% සිට 50% දක්වා වූ අමතර "ප්‍රතිප්‍රහාරක තීරුබදු" පනවා ඇත. 2025 අගෝස්තු 1 වන දින සිට මේවා ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ප්‍රධාන වශයෙන් බලපෑම් එල්ල වූ රටවල් සහ තීරුබදු අනුපාත වශයෙන් චීනය පෙන්වා දිය හැක. මෙම වසර තුළ ට්‍රම්ප් චීනයට දැවැන්ත තීරුබදු ප්‍රතිශතයක් පනවා ඇත. ආරම්භයේ දී 34% ක ප්‍රතිප්‍රහාරක තීරුබද්දක් පනවා තිබූ අතර පසුව එය 50% කින් ඉහළ දැමීමත් සමඟ මුළු තීරුබද්ද 84% ක් ලෙස වාර්තා වේ. ඇතැම් අවස්ථාවල දී චීන භාණ්ඩ සඳහා තීරුබදු 145% ක් දක්වා ඉහළ නැංවූ අවස්ථා ද ඉතිහාසයේ විය. එමෙන් ම යුරෝපා සංගමය (EU)ට එනම් යුරෝපා සංගමයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 30% ක තීරුබද්දක් පනවා ඇත. මෙය යුරෝපා සංගමය විසින් ඇමරිකානු භාණ්ඩ සඳහා පනවන තීරුබදුවලට දක්වනු ලබන සාධාරණ ප්‍රතිචාරයක් ලෙස ඔහු සඳහන් කර ඇත. මෙක්සිකෝව ගත් කල මෙක්සිකෝවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 30% ක තීරුබද්දක් පැනවීමට ට්‍රම්ප් තීරණය කර ඇත. මෙයට ප්‍රධාන හේතුවක් ලෙස දක්වා ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම (විශේෂයෙන් ෆෙන්ටනිල්) සහ දේශසීමා ආරක්ෂාව සම්බන්ධ ගැටළු ය. මීට අමතරව කැනඩාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 35% ක තීරුබද්දක් ද, බ්‍රසීලයට 50% ක තීරුබද්දක් ද, ජපානය, දකුණු කොරියාව, මැලේසියාව, කසකස්තානය, ටියුනීසියාව යන රටවල් සඳහා 25% ක තීරුබද්දක් ද, දකුණු අප්‍රිකාව සහ බොස්නියා සහ හර්සගොවීනා යන රවල් සඳහා 30% ක තීරුබද්දක් ද, බංග්ලාදේශය සහ සර්බියාව සඳහා 35% ක තීරුබද්දක් ද, කාම්බෝජය සහ තායිලන්තය සඳහා 36% ක තීරුබද්දක් ද, ලාඕසය සහ මියන්මාරය සඳහා 40% ක තීරුබද්දක් ද පනවා ඇත. ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 44% ක තීරුබද්දක් පනවා ඇති අතර මෙය ශ්‍රී ලංකාව ඇමරිකානු භාණ්ඩ සඳහා අයකරන තීරුබදුවලට සාපේක්ෂව පැනවූවක් බව ඔහු පෙන්වා දී තිබුණි. නමුත් මෙය සංස්කරණය කර ගැනීමට පවතින රජයට හැකි විය.
විශේෂයෙන් කර්මාන්ත සඳහා විශේෂිත තීරුබදු හඳුන්වා දී ඇත. එනම්,
වානේ සහ ඇලුමිනියම් කර්මාන්තය - ආනයනය කරන වානේ සඳහා 50% ක සහ ඇලුමිනියම් සඳහා 50% ක තීරුබදු පනවා ඇත. 2018 දී මුලින් 25% සහ 10% වූ මෙම තීරුබදු පසුව වැඩි කරන ලදී.

මෝටර් රථ කර්මාන්තය - ආනයනය කරන ලද මෝටර් රථ සඳහා 25% ක තීරුබද්දක් පනවා ඇත. වාහන අමතර කොටස් සඳහා ද තීරුබදු පැනවීමට නියමිතය.
තඹ කර්මාන්තය - තඹ ආනයනය සඳහා 50% ක තීරුබද්දක් පනවා ඇත.
ඖෂධ සහ අර්ධ සන්නායක කර්මාන්ත - ඖෂධ, අර්ධ සන්නායක සහ අනෙකුත් අංශ සඳහා අනාගතයේ දී තීරුබදු පැනවීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. මෙම කර්මාන්ත සඳහා දේශීය නිෂ්පාදනය දිරිමත් කිරීම සඳහා අඩු තීරුබදු අනුපාතයකින් ආරම්භ කර කර්මාන්තශාලා ගොඩනැගීමට වසරක කාලයක් ලබා දී ඉන්පසු තීරුබදු ඉහළ නැංවීමේ සැලසුමක් ද පවතින බව වාර්තා වේ.
ලී සහ දැව නිෂ්පාදන කර්මාන්තය - 25% ක තීරුබද්දක් පැනවීමට තීරණය කර ඇත.
ට්‍රම්ප්ගේ මෙම තීරුබදු පිළිබඳව ලොව පුරා විරෝධතා රැල්ලක් ගොඩනැගී ඇති බව නොරහසකි. බොහෝ රටවල් එනම් විශේෂයෙන් යුරෝපා සංගමය, කැනඩාව සහ මෙක්සිකෝව මෙම තීරුබදු අසාධාරණ සහ බාධාකාරී බදු ප්‍රතිපත්ති ලෙස හඳුන්වමින් ඒවාට විරුද්ධත්වය ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත් බොහෝ රටවල් ගැටුම් ඇති කර ගැනීම වෙනුවට රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා මාර්ගයෙන් ගැටළු විසඳා ගැනීමට උත්සාහ කිරීමේ ප්‍රයත්නවල යෙදෙන බව ද ගෝලීය තොරතුරු මගින් වාර්තා වේ. මේ වන විට චීනය සහ කැනඩාව වැනි රටවල් එක්සත් ජනපද භාණ්ඩ සඳහා ප්‍රතිප්‍රහාරක තීරුබදු පනවා ඇති බව ද වාර්තා වේ. මේ අතර ට්‍රම්ප් පරිපාලනය විසින් එක්සත් රාජධානිය, චීනය සහ වියට්නාමය වැනි රටවල් සමඟ වෙළඳ ගිවිසුම් කිහිපයකට එළඹ ඇති අතර ඉන්දියාව සහ යුරෝපා සංගමය වැනි රටවල් සමඟ තවදුරටත් සාකච්ඡා කරමින් සිටින බව ද විදේශීය පුවත් වාර්තා කර තිබේ. අගෝස්තු 01 වන දින තීරුබදු වැඩි කිරීමට පෙර තනි වෙළඳ ගනුදෙනු සාකච්ඡා කිරීමට රටවල්වලට ඇමරිකාව අවස්ථාව ලබා දී ඇත.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මෙම තීරුබදු ප්‍රතිපත්ති ගෝලීය සැපයුම් දාමයන්ට සැලකිය යුතු බලපෑමක් ඇති කරනු ඇති බවත් එක්සත් ජනපද ආර්ථිකයට බිලියන ගණනක අමතර ආදායමක් ලබා දෙනු ඇති බවත් නිගමනය කළ හැක. කෙසේ නමුත් මෙම තීරු බදු හේතුවෙන් ඊට යටත් රටවල්වලට මුහුණ පෑමට සිදුවන අර්බුදකාරි තත්ත්වයන් එකක් දෙකක් නොවනු ඇත. ආනයන වියදම් ඉහළ යාම සහ පාරිභෝගික මිල ඉහළ යාම, අපනයන කර්මාන්තයට බලපෑම් සහ රැකියා අහිමි වීම, ගෝලීය සැපයුම් දාමයන්ට බාධා සහ අවිනිශ්චිතතාවය, ආයෝජන අඩුවීම සහ ආර්ථික වර්ධනය මන්දගාමී වීම, දේශපාලන සබඳතා පළුදු වීම, මුදල් ඒකකවල අස්ථාවරත්වය, දේශීය කර්මාන්ත මත ඇතිවන පීඩනය ආදී අර්බුදයන් ප්‍රධාන වශයෙන් හඳුනා ගත හැකි වේ.

මෙම තීරුබදු මගින් ශ්‍රී ලංකාවට ඇතිවන බලපෑම සලකන කල්හි, 44% ක තීරුබද්දක් මෙරටට පැනවූ නමුත් රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා මත එය 30%ක් දක්වා අවම කර ගැනීමර හැකි වූ නමුත් මෙමගින් ඇමරිකානු වෙළඳපොළට අපනයනය කරන ශ්‍රී ලංකා භාණ්ඩවල මිල ඉහළ යාමක් සිදු වනු ඇත. මෙයින් අපගේ ප්‍රධාන අපනයන ක්ෂේත්‍ර වන ඇඟළුම්, තේ සහ රබර් නිෂ්පාදන වැනි කර්මාන්තවලට දැඩි බලපෑම් එල්ල විය හැක. ඇමරිකානු ගැනුම්කරුවන් ශ්‍රී ලංකාවේ භාණ්ඩ මිල දී ගැනීම අඩු කළ හැකි අතර එමඟින් අපනයන ආදායම අඩු වී, රැකියා අහිමි වීම් සිදු විය හැක. ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වයට මෙය සෘජු අභියෝගයක් විය හැකි ය. මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී තවදුරටත් සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා දූත පිරිසක් එක්සත් ජනපදයට යාමට නියමිතව ඇත. රජය විසින් අපනයන අංශවලට සහන සැලසීමට, පිරිවැය කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමට සහ නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීමට පියවර ගනිමින් සිටින බව ද මාධ්‍ය වාර්තා කර තිබුණි.

මුලු ලෝකයේ රටවල් බහුතරයකට ම ට්‍රම්ප්ගේ මෙම තීරුබදු ප්‍රතිපත්ති ඍණාත්මක ආර්ථික ප්‍රතිඵලයක් නිර්මාණය කරනු ඇති අතර ශ්‍රී ලංකාව ඇතුළුව අනෙකුත් රටවල් කෙසේ මෙම අභියෝගය හමුවේ සිය රාජ්‍යයන් ගොඩනගනවා ද යන්න ඉදියේ දී අපට දැකගත හැකි වනු ඇත.
සැකසුම හා සංස්කරණය - ප්‍රසිලා සඳරුවනි