/
/
title icon
මන්ත්‍රී ජගත්ගේ පුතු රිමාන්ඩ් - රෝහිත⁣ගේ දියණිය සහ බෑණා පොලිසිය සොයයි
මන්ත්‍රී ජගත්ගේ පුතු රිමාන්ඩ් - රෝහිත⁣ගේ දියණිය සහ බෑණා පොලිසිය සොයයි
Editor
4 hours ago
Share:
මන්ත්‍රී ජගත්ගේ පුතු රිමාන්ඩ් - රෝහිත⁣ගේ දියණිය සහ බෑණා පොලිසිය සොයයි

ව්‍යාජ දත්ත ඇතුළත්කොට ලියාපදිංචි කරන ලද ජීප් රථයක් පිළිබඳ වැඩබලන පොලිස්පතිවරයාට ලද තොරතුරකට අනුව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මීට මාස 4කට පමණ ඉහත සිට විමර්ශනයක් ආරම්භ කර තිබුණා.

එම රථය මතුගම නගරයේ ධාවනය කරමින් ඇති බවට ලද තොරතුරකට අනුව ඊයේ පස්වරුවේ එම ප්‍රදේශයේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කළ වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය අදාල ජීප් රථය සමග එය පැදවූ සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා.

එලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ සමගි ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ පුත්‍රයා වන රසික විතාන මහතා වන අතර ඔහු සහ ජීප් රථය පසුව මතුගම පොලිසියට භාරදීමටයි කටයුතු කෙරුණේ.

අදාළ ජීප් රථය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂා කිරීමේදී අනාවරණ වී ඇත්තේ එය නීතිවිරෝධී අයුරින් මෙරටට ගෙන්වා ව්‍යාජ දත්ත ඉදිරිපත් කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති බවයි.

එම අනීතික ක්‍රියාව සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ යම් අයෙකුගේ සහාය ලැබී ඇති බවට පොලීසිය සැක පළ කරනවා.

ජගත් විතාන මහතාට අයත් පෞද්ගලික සමාගමක නමින් දෙවනවරට ලියාපදිංචි කර ඇති මෙම ජීප් රථය ඔහුගේ ප්‍රත්‍රයා භාවිත කර ඇති බවද විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් රසික විතාන මහතාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය වන රොෂෙල් මෙලනි අබේගුණවර්ධනගෙන් තමා අදාල ජීප් රථය මිලදී ගත් බවයි.

එම ප්‍රකාශය අනුව පොලීසිය ඊයේ පස්වරුවේ රොෂෙල් මෙලනි අබේගුණවර්ධනගේ කළුතර - නාගොඩ පිහිටි නිවසට ගියද ඇය සහ සැමියා එහි නොසිටි බව සඳහන්.

මේ අතර, අත්අඩංගුවට ගත් රසික විතාන මහතා එළැඹෙන මස 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඔහු අද මතුගම මහෙස්ත්‍රාත් අසංකා හෙට්ටියාවත්ත මෙනවිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දුන්නා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required