/
/
title icon
"එක්ස්ප්‍රස් පර්ල් නෞකා" සමාගමට ඩොලර් බිලියනයක වන්දියක් ගෙවන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග
"එක්ස්ප්‍රස් පර්ල් නෞකා" සමාගමට ඩොලර් බිලියනයක වන්දියක් ගෙවන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග
Editor
1 day ago
Share:
"එක්ස්ප්‍රස් පර්ල් නෞකා" සමාගමට ඩොලර් බිලියනයක වන්දියක් ගෙවන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීම තුළින් මෙරට සමූද්‍රීය පරිසරයට සහ ආර්ථිකයට සිදුවූ හානිය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් බිලියනයක වන්දියක් මෙරට රජයට ගෙවන ලෙස නෞකාව අයත් සමාගමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා. 

ඊට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව ප්‍රකාශයට පත්කළ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීන්දු කළේ මෙම සිද්ධියේදී එවක විෂයභාර රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතීඥ දර්ශනී ලහඳපුර සහ නීතිපතිවරයා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවය‍‍ි.

සිංගප්පූරු ධජය යටතේ ලියාපදිංචි වී තිබූ MV Xpress pearl නෞකාව කොළඹ වරායෙන් නාවික සැතපුම් 9.5ක පමණ දුරින් වූ මුහුදු ප්‍රදේශයේදී ගිනි ගැනීමකට ලක්වූයේ 2021 මැයි 19 වැනිදායි.

පසුදින නෞකාව තුළ පිපිරීමක් සිදුවූ අතර ඒ වනවිට නෞකාව තුළ නයිට්‍රික් ඇසිඩ් (Nitric acid) ටොන් 25ක් සහ වෙනත් රසායනික ද්‍රව්‍ය සහ රූපලාවන්‍ය ආලේපන ද්‍රව්‍ය සහිත බහාලුම් 1486ක් අන්තර්ගතව තිබුණා.

නෞකාව දින කිහිපයක් තුළ සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වූයේ ලෝක ඉතිහාසයේ නෞකා අනතුරකින් වූ විශාලතම  හානිවලින් එකක් එලෙස සමුද්‍රීය පරිසරික හානිය ඉතිහාසයට එක්කරමින්. 

එවැනි පසුබිමක මෙම නෞකාවෙන් සිදුවූ හානියට වන්දි ඉල්ලා අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, පරිසර යුක්ති කේන්ද්‍රය හා ධීවර ප්‍රජාව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් 04ක් ගොනුකර තිබුණා. 

ඒ අනුව පංච පුද්ගල තීන්දුව ප්‍රකාශයට පත්කළ අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය කියා සිටියේ දින 30ක් පුරා පැවති නඩු විභාගයේ තීන්දුව පිටු 361කින් සමන්විත බවයි.

අදාළ නඩු තීන්දුවේ දැක්වෙන්නේ නෞකාව ගිනිගන්නා බවට තොරතුරු ලැබී තිබියදි XPRESS PEARL නෞකාවේ කපිතාන්වරයා සහ දේශීය සමාගම කොළඹ හාබර් මාස්ටර්වරයා වෙත තොරතුරු වසන්කර ඇතිබව නඩු විභාගයේදී අධිකරණයට පෙනි ගිය බවයි. 

එසේම, සිද්ධිය වන අවස්ථාවේ විෂයභාර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සිටී ආචාර්ය. නාලක ගොඩහේවා මහතාද මූලික අයිතිවාසිකම් කඩකර ඇති බව නඩු තීන්දුවේ දැක්වෙනවා.

නඩු තීන්දුවට අදාළ නියෝග ප්‍රකාශයට පත්කළ අගවිනිසුරුවරිය Xpress pearl නෞකාව ගිනි ගැනීමෙන් මෙරට පරිසර පද්ධතියට මෙන්ම ධීවර ප්‍රජාව ඇතුළු ජනතාවට සිදුවූ හානිය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන 01 ක වන්දි මුදලක් මෙරට භාණ්ඩාගාර ලේකම්වරයා වෙත ගෙවන ලෙස අදාළ නෞකා සමාගමට නියෝග කළා. 

එම වන්දි මුදල කොටස් වශයෙන් ගෙවිය හැකි බව සඳහන් කළ අගවිනිසුරුවරිය පළමු ගෙවීම සැප්තැම්බර් 23 වැනිදාට පෙර සිදුකළ යුතු බවත්, වසරක් තුළ එය සම්පූර්ණ කළ යුතු බවත් අගවිනිසුරුවරිය ප්‍රකාශ කළා.

එසේම මෙම ඛේදවාචකයට වගකිවයුතු පුද්ගලයින් සම්බන්ධයෙන් අපරාධ විමර්ශනයක් සිදුකර නඩු පැවරීමට කටයුතු කරන ලෙස නීතිපතිවරයාට නියෝගයක් නිකුත් කළ විනිසුරු මඩුල්ල මාස තුනක් ගතවීමට පෙර අදාළ විමර්ශනය ආරම්භ කිරිමට කටයුතු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කරනු ලැබුවා. 

විනිසුරු මඩුල්ල අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කළේ, අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන යටතේද විමර්ශනයක් කළ යුතු බවයි.

Xpress pearl ඛේදවාචකයෙන් අගතියට පත් වූවන්ට වන්දි ගෙවීම සඳහා "එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් වන්දි කොමිසම" ස්ථාපිත කරන ලෙසත් සමුද්‍ර කලාපයට වූ හානිය යළි යථා තත්ත්වයට පත්කිරීම සඳහා පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ස්ථාපිත කිරීමටත් ශ්‍රේෂ්ඨාධිකරණය මෙහිදී නියෝග කෙරුණා. 

ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝග ක්‍රියාත්මකවීමේ ප්‍රගතිය විමසා බැලීමට නඩුව සැප්තැම්බර් 25 වැනිදා යළි කැඳවීමට නියමිතයි.

ab95fb02a4e5929ed1ae86f86345ea5c.jpg
7668cbc36df7dd7309699170034047a0.jpg
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required