/
/
title icon
අපේ පොඩ්ඩන්ට හොද පුරුදු පුහුණු කරමු : නිවසේදීම පටන් ගන්න
අපේ පොඩ්ඩන්ට හොද පුරුදු පුහුණු කරමු : නිවසේදීම පටන් ගන්න
Madumalika Wickramasinghe
1 day ago
Share:
අපේ පොඩ්ඩන්ට හොද පුරුදු පුහුණු කරමු : නිවසේදීම පටන් ගන්න

අලුත උපන් දරුවෙකුගේ මනස හිස් පොතක් බඳුය. හොඳ පුරුදු යනු හුදෙක් ආචාරශීලී වචන පමණක් හෝ පිරිසිදුකම පමණක්ම නොවේ. එය දරුවාගේ සමස්ත පෞරුෂය, විනය, සමාජය සමග ගනුදෙනු කරන ආකාරය සහ සාර්ථකත්වය ගොඩනගන අත්තිවාරමයි. දෙමාපියන් ලෙස අපගේ වගකීම වන්නේ මේ පුරුදු පුහුණු කිරීමට අවශ්‍ය පදනම ආදරයෙන් හා ඉවසීමෙන් යුතුව ගොඩනැගීමයි. මෙම ලිපියෙන් අපි අපේ පොඩ්ඩන්ට කියා දිය යුතු මූලික පුරුදු මොනවාද ඒ පුරුදු කියා දිය හැකි ආකාරය සහ ඊට දෙමව්පියන් ලෙස අපට ඇති වගකීම පිළිබඳව විස්තරාත්මකව සාකච්ඡා කරමු.

හොඳ පුරුදු පුහුණු කිරීමේ වැදගත්කම

හොඳ පුරුදු යනු ජීවිතය සතුටින් හා සාර්ථකව ගත කිරීමට අවශ්‍ය මූලික කුසලතා වේ. ළමාවියේ දී අප පුහුණු කරන පුරුදු දරුවාගේ ජීවිතයේ කොටසක් බවට පත්වන්නේ ඒ නැවත නැවතත් පුහුණු කිරීමෙනි.

චරිතය  ගොඩනැගීම

කුඩා කල සිටම ඉගෙන ගන්නා අවංකකම, වගකීම් දැරීම සහ අන් අය කෙරෙහි ගරු කිරීම වැනි පුරුදු ඔවුන්ගේ චරිතයේ හරය බවට පත්වේ. මෙය ඔවුන්ගේ අනාගත විශ්වසනීයත්වය,අඛණ්ඩතාවය සහ වටිනාකම් තීරණය කරයි.

මානසික සහ චිත්තවේගීය දියුණුව

ආචාරශීලී පුරුදු තුළින් දරුවෙකුට අන් අයගේ හැගීම් තේරුම් ගැනීමට (සහයෝගය) සහ ඔවුන්ට අනුකම්පා කිරීමට හැකියාව ලැබේ. මෙය ඔවුන්ගේ චිත්තවේගීය බුද්ධිය දියුණු කරන අතර, අනාගතයේදී හොද නායකත්ව හැකියාවන්  වැඩිදියුණු කිරීමට ඉවහල් වේ.

අනාගත සාර්ථකත්වය

විනය, කාල කළමනාකරණය සහ පිරිසිදුකම වැනි පුරුදු දරුවෙකුට පාසලේදී සහ පසුව වෘත්තීය ජීවිතයේදී සාර්ථක වීමට උපකාරී වේ. විනයගරුක පුද්ගලයෙකුට තම ඉලක්ක කරා ළගා වීමට ඇති අවස්ථා වැඩිය.

ස්නායු විද්‍යාත්මක වැදගත්කම

විද්‍යාත්මකව ඔප්පු වී ඇත්තේ , දරුවෙකුගේ මොළය Neuroplasticity භාවය නිසා ඉතා වේගයෙන් ඉගෙන ගන්නා බවයි. ළමා වියේදී පුරුදු පුහුණු කිරීමෙන් ,මොළයේ ස්නායු ක්‍රියාකාරිත්වය නිවැරදිව සිදුවේ. එම පුරුදු පසුකාලීනව ස්වංක්‍රීයව සිදු වන අතර, වැඩි වෙහෙසක් දැරීමට සිදුනොවේ. 

ආචාරශීලී සහ සමාජශීලි පුරුදු පුහුණු කරන්නේ කෙසේද?

දරුවෙකු සමාජයේ සාමාජිකයකු ලෙස නිවැරදිව ජීවත් වීමට නම් මේ ආචාරශීලී සහ සමාජශීලී බව අනිවාර්යෙන්ම අවශ්‍ය වෙයි. ඒවා කුඩා කල සිටම ආදරයෙන් හා ඉවසීමෙන් කියාදිය යුතුය. “ස්තූතියි කරුණාකර සහ සමාවෙන්න “ වැනි වචන භාවිතා කිරීමට පුරුදු කිරීම මේවා හුදෙක් වචන නොවන අතර ඒවා අන් අයගේ වෙහෙසට, කරුණාවට සහ උපකාරයට දක්වන ගෞරවයයි. මෙම වචන භාවිත කිරීමට පුරුදු කිරීමෙන් දරුවා තුළ කෘතවේදීත්වය, නිහතමානී බව සහ ආචාරශීලීත්වය වැනි ගුණාංග වැඩිදියුණු වේ. ඒවා පුහුණු කරන විටදී දරුවාට යමක් දෙන විට හෝ ඔවුන්ගෙන් යමක් ඉල්ලන විට ඔබම “කරුණාකර හෝ ස්තුතියි” යන වචන භාවිතා කරන්න. සෙල්ලම් බඩු භාවිතා කරමින්” කරුණාකර මට මේ බෝලය දෙන්න, ස්තුතියි, සමාවෙන්න ,මම ඔයාගේ සෙල්ලම් බඩුව වැරදීමකින් කැඩුවා” වැනි සංවාදයක් රඟ දක්වන්න. දරුවා මෙම වචන භාවිත කළ විට ඔවුන්ව ප්‍රශංසා කරන්න. “ඔයා ලස්සනට ස්තුතියි කිව්වා ඒක හරිම හොඳ පුරුද්දක්” වැනි වචන භාවිතා කරන්න. එසේම වැඩිහිටියන්ට ගරු කිරීම තුළින් දරුවා අත්දැකීම් වලට දැනුමට සහ සංස්කෘතියට ගරු කිරීමට ඉගෙන ගනී. ඒ අපේ සංස්කෘතියේ පදනමයි. මේවා පුහුණු කිරීමේදී දෙමව්පියන් වශයෙන් දරුවන්ට, වැඩිහිටියෙකු හමු වූ විට හිසනවා වැද නමස්කාර කිරීමට පුරුදු කරන්න. එසේම ආගන්තුකයකු පැමිණි විට සිනහවකින් සහ ආචාරශීලි වචනයකින් පිළිගැන්වීමට ඔවුන්ට උගන්වන්න. එසේම වැඩිහිටියන් කතා කරන විට හොඳින් සවන් දීමටත් ඔවුන්ගේ වචනයට ගරු කිරීමටත් පුරුදු කරන්න කතාවට බාධා නොකළ යුතු බව ඔවුන්ට කියා දී වැඩිහිටියෙකු යමක් ගෙන ඒමට හෝ වාඩිවීමට පුටුවක් හෝ පිරිනැමීමට ඔවුන්ව දිරිමත් කරන්න.

දරුවන්ව, බෙදා හදා ගැනීමට පුරුදු පුහුණු කරන්න. බෙදා හදා ගැනීම දරුවකුට අන් අයගේ හැඟීම් තේරුම් ගැනීමටත්, සමාජය තුළ එකට ජීවත්වීමටත් අත්‍යවශ්‍ය මූලික කුසලතාවයකි. සෙල්ලම් බඩු බෙදා ගැනීම සඳහා ක්‍රීඩාවක් කරන්න. ” අපි මේ බෝලයෙන් විනාඩි පහක් සෙල්ලම් කරපු ඊට පස්සේ නංගිට දෙමු “ වැනි වචන භාවිතා කරමින් කාල අරමණාකරණය කිරීමට ඔවුන්ට උගන්වන්න. “ඔයා ඔයාගේ යහලුවන් එක්ක සෙල්ලම් බඩු බෙදා ගත්ත එක හරිම හොඳ වැඩක් වැනි ප්‍රශංසාවක් ලබාදීමට කටයුතු කරන්න.

පිරිසිදුකම සහ සෞඛ්‍ය පුරුදු පුහුණු කරන්නේ කෙසේද ?

දරුවෙකුගේ නිරෝගී භාවය සහ විනය සඳහා පිරිසිදුකම අත්‍යාවශ්‍යය. මේ පුරුදු දරුවාගේ ජීවිතයේ කොටසක් බවට පත් කළ යුතුය. පෞද්ගලික පිරිසිදුකම තුලදී විශේෂයෙන්ම අත් සේදීම රෝග පැතිරීම වලක්වා ගැනීමට ඇති සරලම හා ඵලදායිතම ක්‍රමයකි. තම දෑත් සේදීම, ස්නානය කිරීම වැනි පුරුදු පෞද්ගලික සෞඛ්‍යයට සහ ආත්ම අභිමානයට අත්‍යවශ්‍ය වේ. ඒ අනුව කෑමට පෙර සහ පසු වැසිකිළිය භාවිතා කිරීමෙන් පසු පිටත සෙල්ලම් කර පැමිණි පසු අත්සේදීම දින චර්‍යාවේ කොටසක් බවට පත්කිරීම සිදුකළ යුතුය. එය හුදෙක්ම විනෝද ජනක දෙයක් බවට පත්කර ගනිමින් ඒ අනුව වර්ණවත් සබන් කැටයක්, සුවඳ සබන් දියරයක් හෝ භාවිතා කර දරුවන්ට මෙය පුරුදු කිරීමට වග බලා ගන්න. එසේම දරුවන්ට දත් මැදීමේදී දවසට දෙවරක් දත් මැදීමේ වැදගත්කම කියා ඔවුන් කැමති වර්ණවත් බ්‍රෂ් එකක් සහ රසවත් දන්තාලේපයක් තෝරාගන්න. එසේම දන්ත වෛද්‍යවරයකු හමුවීමේ වැදගත්කම කියා දෙන්න. එසේම කාමරය සහ සෙල්ලම් බඩු පිළිවෙලට තබා ගැනීම තුලදී කාමරයක් පිළිවෙලට තබා තැබීම යනු තමන්ගේ වටපිටාව පිළිබද වගකීමක් දැරීමට ඉගෙන ගැනීම බව ඔවුන්ට කියා දෙන්න. එයින් දරුවාට තම පරිසරය පිළිබද පාලනයක් ඇති බව දැනෙන අතර මානසික අවුල් සහගත බව අඩුවේ. මෙය පුහුණු කිරීමට නම් ඔවුන්ට වගකීමක් පැවරීම සිදු කල යුතුය. එනම් "මේක ඔයාගේ කාමරය, මේක පිළිවෙළට තියන්න ඕන" යන්න පවසා ඔවුන්ට වගකීමක් පැවරීම සිදු කල හැකිය. තවද සෙල්ලම් බඩු වෙන් කර ගැනීම සදහා පාට භාවිතා කරමින් එය සරල කරන්න. නිදසුනක් ලෙස “රතු පෙට්ටියට කාර්, නිල් පෙට්ටියට බෝල දමන්න” ආදී ලෙස දරුවන්ව පුරුදු කිරීම කල හැකිය. තවද දරුවා තනියම කරනවාට වඩා ඔබත් ඔවුන් සමග එකතුවී කාමරය පිළිවෙලට තබන්න. එය ඔවුන්ට විනෝදජනක අතැකීමක් වනු ඇතැයි සිතේ.

වගකීම් සහ විනය පුරුදු පුහුණු කරන්නේ කෙසේද?

හොද පුරුදු යන්න මෙසේ නිර්වචනය කල හැකියි. එනම් තමන්ගේ වැඩ කටයුතු නිසි ලෙස කළමනාකරණය කිරීමක් ලෙස එය හදුනාගන්න පුලුවන්. ඒ පුරුදු දරුවෙකුගේ අනාගතය සාක්ෂාත් කර  ගැනීමට උපකාරී වේ. ඒ අනුව කාලය කළමනාකරණය සහ දින චරියාවේදී ස්ථාවර දින චරියාවක් දරුවාට ආරක්ෂාව සහ ස්ථාවරත්වය පිළිබද හැගීමක් ලබාදෙන අතරම එය විනය පුරුදු කරයි. එසේම එය අනාගතයේදී කාල කළමනාකරණයට උපකාරී වේ. එය පුරුදු කිරීමේදී නිශ්චිත කාලසටහනක් සකස් කර ගැනීම කල හැකිය. එහිදී උදෑසන අවදිවීම, කෑම ගැනීම, සෙල්ලම් කිරීම, පාඩම් කිරීම සහ නින්දට යාම වැනි ක්‍රියා සදහා මෙය යොදා ගැනීමට හැකිවේ. මෙය දරුවාට දවස පුරා කළ යුතු දේ පෙන්වන පින්තූර සහිත කාලසටහනක් ලෙස සකස් කිරීම කල හැකිය. නිදසුනක් වශයෙන් හිරුගේ පින්තූරයක් උදෑසන අවදිවීමට, කෑම පිගානක පින්තූරයක් කෑම ගැනීම සදහා ආදී ලෙස එය සකස් කල හැකිය. කුඩා කල සිටම තම පොරොන්දු ඉටු කිරීමට පුරුදු වීම තුලින් දරුවාගේ අවංකභාවය සහ විශ්වසනීයත්වය ගොඩනගයි. විශ්වාසය ගොඩනැගීමේදී පොරොන්දුවක් ඉටු කිරීම යනු විශ්වාසය ගොඩ නැගීම බව දරුවාට කියා දීම කල හැකිය. ඒ අනුව ඔබ  දෙමව්පියන් වශයෙන් පෙරගමන්කරු  වී දරුවාට පොරොන්දු වූ දෙයක් එලෙසම ඉටු කර දී එයින් ඔවුන්ට පොරොන්දු වල වැදගත්කම පෙන්වා දෙන්න. එසේම වැරදි පිළිගැනීමට සහ සමාව ඉල්ලීමට දරුවාව යොමු කිර්‍රිම තුළින් තමන්ගේ ක්‍රියාවන්ට වගකීම භාර ගැනීමට ඔවුන් හුරුවේ. මෙය අන් අයගේ හැගීම් තේරුම් ගැනීමටත්, අනුකම්පාව දැක්වීමටත් දරුවාට උගන්වයි. ඔබ වැරැද්දක් කල විට දරුවා ඉදිරියේ "සමාවෙන්න" කියා පවසන්න. දරුවා වැරැද්දක් කල විට " ඇයි ඔයා ඒ දේ කළේ?" කියා ප්‍රශ්න කරනවා වෙනුවට " ඒ සිදුවීම ගැන ඔයාට මොකද හිතෙන්නේ?" වැනි ප්‍රශ්න අසන්න. එයින් ඔවුන්ට තම හැගීම් සහ ක්‍රියාවන් අතර සම්බන්දතාවය තේරුම් ගැනීමට හැකිවේ. එසේම දරුවා වැරැද්ද පිළිගත් පසු ඔවුන්ට සමාව දෙන්න. එමගින් ඔවුන් එම වැරැද්ද නිවැරදි කර ගැනීමට යොමුවේ.

ආදර්ශමත් දෙමව්පියන් වීම සහ ඉවසීම

දරුවන්ට හොද පුරුදු කියා දීමේදී, දෙමාපියන්ගේ ආදර්ශය සහ ඉවසීම තරම් වැදගත් දෙයක් නැත. ඔබගේ ක්‍රියාවන් ඔබගේ වචනවලට වඩා බලවත්වේ. ඔබ නිවසේදී ඔබේ සහකරු හෝ සහකාරිය සමග, වැඩිහිටියන් සමග කතා කරන ආකාරය දරුවා නිරීක්ෂණය කරයි. ඔබ ආචාරශීලී නම් ,ඔවුන්ද ආචාරශීලී වේ. එසේම ඔබ අද දරුවෙකුට යමක් කරන්න එපා කිවහොත්, හෙටත් ඒ දෙයට ඉඩ නොදෙන්න. මෙසේ පුරුදු ස්ථාවරව පවත්වා ගැනීම තුලින් ඒවා දරුවාගේ ජීවිතයේ කොටසක් බවට පත් පත් වේ. මේ අනුව බලන කල හොද පුරුදු යනු බලෙන් කියා දිය යුතු දෙයක් නොවේ. එය දරුවාගේ මනසට සහ ජීවිතයට ආදරයෙන් සහ ඉවසිමෙන් හුරු කල යුතු දෙයකි. එය එක් දිනකින් කල හැකි දෙයක්ද නොවේ. ඒ සදහා කාලය සහ කැපවීම අත්‍යාවශ්‍ය වේ.

අවසාන වශයෙන්, අපේ පොඩ්ඩන්ට හොද පුරුදු පුහුණු කිරීම යනු අපගේ අනාගත සමාජයට සිදු කරන විශාලතම ආයෝජනයක් ලෙස හදුනා ගැනීමට හැකි අතර ඔවුන්ගේ කුඩා ලෝකය තුළ මේ පුරුදු ස්ථාවර වූ විට, එය ඔවුන්ගේ මුළු ජීවිතයම යහපත් දිශාවකට යොමු කරයි. ඒ සදහා අවශ්‍ය ආදරය, ඉවසීම සහ හොද ආදර්ශය දෙමාපියන් වන ඔබට ලබා දිය හැකිය.

 

මදුමාලිකා වික්‍රමසිංහ.

 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required