
තායිලන්තය හා කාම්බෝජය අතර යුධ ගැටීමක් මෙම සතියේ වාර්තා විය. මෙය මතභේදාත්මක දේශසීමා ගැටලුවක් හේතු කරගනිමින් ආරම්භ වී ඇත. ජූලි මස 24 වන දින අලුයම දෙපාර්ශවය අතර වෙඩි හුවමාරුවක් සිදුව ඇති අතර පළමුව ප්‍රහාර ආරම්භ කර ගැටුමක් ඇති කිරීම පිළිබද ඔවුනොවුන්ට චෝදනා එල්ල කරගනිමින් සිටින නමුත් එහි දී ප්‍රථම ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙක් භාරගෙන නොමැත. මෙම ප්‍රහාරයන් නැගෙනහිර තායිලන්තයේ තා මෝන්තොම් නම් ආගමික ස්ථානය ආශ්‍රිත දේශ සීමාවේ දියත් වී ඇත. ඊයේ දිනයේදීත් යුධ ගැටුම් වාර්තා වූ අතර මේ වන විට පුද්ගලයන් විස්සකට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති අතර ලක්ෂයකට අධික පිරිසක් අවතැන් වී ඇත. එලෙස ම මේ වන විට තායිලන්තය කාම්බෝජ දේශසීමාවේ පිහිටි දිස්ත්‍රික්ක 8ක් සඳහා යුද නීතිය ප්‍රකාශයට පත් කර ඇත. තායිලන්තය විසින් සිය දේශසීමා ප්‍රදේශවලින් ලක්ෂයකට අධික පිරිසක් ඉවත් කර ගෙන ඇත. මීට අමතරව තායිලන්තයේ ස්වභාවික සම්පත් හා පරිසර අමාත්‍යාංශය කාම්බෝජ දේශසීමාවේ ආරක්ෂිත ප්‍රදේශ 6ක් (ජාතික වනෝද්‍යාන ද ඇතුළුව) වසා දැමීමට මේ වන විට නියෝග කර ඇත. තායිලන්තය තම දේශසීමා ප්‍රදේශවල පාසල් 852ක් සහ රෝහල් 7ක් ද වසා දමා ඇත. කෙසේ නමුත් දෙරටට ම සටන් විරාමයකට එළඹෙන ලෙස ජාත්‍යන්තරව ඉල්ලීම් ඉදිරිපත් වී ඇති බව ද වාර්තා විය. ශ්‍රී ලංකාව ද සාමකාමී විසඳුමක් සඳහා රාජ්‍යතාන්ත්‍රික සංවාදයකට එළඹෙන ලෙස දෙරටින්ම ඉල්ලීමක් සිදු කර ඇත. මේ සම්බන්ධයෙන් උද්ගතව ඇති තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ද රැස්වීමට නියමිතව ඇත. මෙම ගැටුම් පිළිබඳව අදහස් ඉදිරිපත් කරන මානව හිමිකම් සංවිධාන චෝදනා කරන්නේ දෙපාර්ශ්වය ම ක්ලස්ටර් බෝම්බ (cluster munitions) භාවිත කරන බවයි. මෙම බෝම්බ සිවිල් වැසියන්ට ඉතා භයානක වන අතර ජාත්‍යන්තරව තහනම් කර ඇති ආයුධ වර්ගයක් ද වේ. තායිලන්තය පළමුව මෙම චෝදනා ප්‍රතික්ෂේප කළ ද, පසුව ප්‍රකාශ කර ඇත්තේ අවශ්‍ය වූ විට හමුදා ඉලක්ක වෙත ඒවා භාවිතා කරන බවයි.

තායිලන්තය සහ කාම්බෝජය අතර දේශසීමා ගැටුම් දීර්ඝ කාලයක සිට පැවති එකකි. විශේෂයෙන්ම ප්‍රියා විහෙයර් (Preah Vihear) විහාරය වටා ඇති දේශසීමා ප්‍රදේශය මෙම ගැටුම්වලට ප්‍රධාන හේතුව වී ඇත. මෙම ප්‍රියා විහෙයර් යනු 11 වන සියවසට අයත් පුරාණ හින්දු විහාරයකි. එය කාම්බෝජ තැනිතලාවට ඉහළින් පිහිටි සානුවක පිහිටා ඇති අතර 2008 දී UNESCO ලෝක උරුම අඩවියක් ලෙස ද නම් කර ඇත. මෙම විහාරය පිහිටා ඇති භූමිය කාම්බෝජයට අයත් බවට ජාත්‍යන්තර අධිකරණ තීන්දුවක් 1962 දී ලබා දුන්න ද, තායිලන්තය දිගින් දිගට ම එහි ආසන්න දේශසීමා කලාපය පිළිබඳ අයිතිය ඉල්ලා සිටියේය. මෙම අයිතිය පිළිබඳ ගැටුම, මූලික වශයෙන් මෙසේ උද්ගත වී ඇති ගැටුමට හේතුවයි.
මෙම ගැටුම අතීතයේදී ද කිහිප වතාවක් ම උග්‍ර ලෙස පැවතී ඇත. ඒ අනුව ගැටුමේ ඓතිහාසික පසුබිම ගත් කල තායිලන්තය (සියම් රාජධානිය ලෙසින්) සහ කාම්බෝජය (ඛ්මර් අධිරාජ්‍යය ලෙසින්) අතර දේශසීමා ගැටුම් වසර 100කට වැඩි කාලයක් පුරා විහි දී ඇත. විශේෂයෙන් ම අතීතයේදීත් ප්‍රියා විහෙයර් (Preah Vihear) විහාරය වටා ඇති භූමියට හිමිකම් කීම මෙම ගැටුම්වලට ප්‍රධානත ම හේතුවයි.

ප්‍රංශ යටත් විජිත සමය එනම් 19 වන සියවසේ දී කාම්බෝජය ප්‍රංශයේ යටත් විජිතයක් බවට පත් වූ විට ප්‍රංශය විසින් සියම් රාජධානිය සමඟ දේශසීමා සලකුණු කිරීමේ කටයුතු සිදු කර ඇත. 1907 දී ප්‍රංශ-සියම් කොමිසමක් විසින් සකස් කරන ලද සිතියමක ප්‍රියා විහෙයර් විහාරය කාම්බෝජ භූමියට අයත් බවට පෙන්වා දී ඇත. තායිලන්තය මෙම සිතියමේ නිරවද්‍යතාවය පිළිබඳව දිගින් දිගට ම ප්‍රශ්න කිරීම් සිදු කර තිබිණි. කෙසේ නමුත් ප්‍රියා විහෙයර් විහාරය කාම්බෝජයට අයත් බවට ජාත්‍යන්තර අධිකරණය (International Court of Justice - ICJ) 1962 දී තීන්දුවක් ලබා දෙන ලදි. මෙම තීන්දුව කාම්බෝජයට වාසිදායක වුවත් විහාරය පිහිටා ඇති කඳු මුදුනට ප්‍රවේශ මාර්ගය තායිලන්ත භූමිය හරහා යාම වැනි කරුණු නිසා ප්‍රායෝගිකව එහි ගැටලු මතු විය. තායිලන්තය මෙම තීන්දුව සම්පූර්ණයෙන් පිළිගැනීමට මැලිකමක් දැක්වූයේ එහි සමහර විධිවිධාන පිළිබඳව තවදුරටත් සැක පහළ කරමිනි. වසර ගණනාවක් පුරා යම් නිශ්ශබ්දතාවයක් පැවතිය ද, 2008 දී ප්‍රියා විහෙයර් විහාරය UNESCO ලෝක උරුම අඩවියක් ලෙස නම් කිරීමත් සමඟ ගැටුම නැවත වරක් උත්සන්න විය.
විහාරය ලෝක උරුමයක් ලෙස නම් කිරීමෙන් පසු එයට ප්‍රවේශ වීම සහ එහි ආරක්ෂාව සම්බන්ධයෙන් දෙරට අතර දේශසීමාවේ හමුදා භටයන් අතර වෙඩි හුවමාරු සිදු විය. මෙම ගැටුම්වලින් දෙපාර්ශ්වයට ම ජීවිත හානි හා තුවාල ද සිදුවිය. 2011 වසරේ දී නැවතත් දරුණු ගැටුම් ඇති වූ අතර එහි දී පුද්ගලයන් 40 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් විය. මෙහි දී දෙරට ම එකිනෙකාට චෝදනා කරමින් කියා සිටියේ අනිත් පාර්ශ්වය ප්‍රහාර ආරම්භ කළ බවයි. තායිලන්තය කාම්බෝජයට රොකට් ප්‍රහාර එල්ල කළ බවට චෝදනා කළ අතර තායිලන්තය කාම්බෝජ හමුදා ඉලක්කවලට ගුවන් ප්‍රහාර එල්ල කර තිබුණි. මෙම ගැටුම් හේතුවෙන් දේශසීමා ප්‍රදේශවලින් දස දහස් ගණනක් ජනතාව අවතැන් විය. ගැටුම් උත්සන්න වන විට තායිලන්තය විසින් කාම්බෝජයට ඇතුළු වන දේශසීමා එනම් එම හරස් මාර්ග වසා දැමීමට පියවර ගනු ලැබීය. මෙය වෙළඳ කටයුතුවලට සහ ජනතාවගේ ගමනාගමන කටයුතුවලට බරපතල බලපෑමක් සිදු විය.
කෙසේ නමුත් වර්තමාන තත්ත්වය හේතුවෙන් දෙරටේ ම දේශපාලනික හා ආර්ථික ස්ථාවරත්වයට බලපෑම් ඇති කරනවා පමණක් නොව, කලාපීය සාමයට ද අභියෝගයක් එල්ල කරමින් පවති. ප්‍රියා විහෙයර් විහාරය වටා ඇති ඉඩම් අයිතිය පිළිබඳ ගැඹුරු මුල්බැසගත් මතභේදයන්, ජාත්‍යන්තර තීන්දු තිබියදීත් සාමකාමී විසඳුමකට එළඹීමට අපහසු තත්ත්වයක පවතින බව පෙනෙයි. ඒ අනුව සංඛ්‍යාත්මකව ගත් කල මේ වන විට පුද්ගලයන් 34 දෙනෙකුට වැඩි පිරිසක් මියගොස් ඇති අතර 168,000කට අධික පිරිසක් අවතැන් වී ඇත. තායිලන්තය වාර්තා කර ඇත්තේ සිවිල් වැසියන් ඇතුළු 21 දෙනෙකු මියගොස් ඇති බවත්, කාම්බෝජය 13 දෙනෙකු මියගිය බවත්ය. ඉහත සියලු කරුණුවලට අමතරව දෙරටේ ම ජාතිකවාදී හැඟීම් ද මෙම ගැටුම උත්සන්න කිරීමට බලපා තිබේ. විශේෂයෙන් ම තායිලන්තයේ දේශපාලන අර්බුද ද මේ ගැටුමට යම් දුරකට බලපා ඇති බව විශ්ලේෂකයින්ගේ මතයයි.

මෙම තත්ත්වය සාමකාමි තත්ත්වයකට පරිවර්තනය කිරීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තායිලන්ත සහ කාම්බෝජ නායකයන් සමඟ දුරකථනයෙන් කතා කර සටන් විරාමයක් සඳහා සාකච්ඡා කරන ලෙස ඉල්ලා තිබේ. එසේ නොවුනහොත් දෙරට අතර වෙළඳ ගිවිසුම් ඉදිරියට ගෙන නොයන බවට ද ඔහු අනතුරු අඟවා ඇති බව වාර්තා වේ. එමෙන් ම ආසියාන් (ASEAN) සංවිධානයේ වත්මන් සභාපතිවරයා වන මැලේසියානු අගමැති අන්වර් ඊබ්‍රාහිම් සටන් විරාමයකට එළඹෙන ලෙස දෙපාර්ශ්වයෙන් ම ඉල්ලා ඇත. ඔහුගේ මූලිකත්වයෙන් එළැඹෙන ජූලි 28 වන දින මැලේසියාවේ දී සාම සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත අතර තායිලන්තයේ වැඩ බලන අගමැති ෆුම්තම් වෙචයචායි (Phumtham Wechayachai) සහ කාම්බෝජ අගමැති හුන් මානෙට් (Hun Manet) ඊට සහභාගී වීමට නියමිත බව තායි අගමැති කාර්යාලය ප්‍රකාශ කරන ලදි. කෙසේ වෙතත් කාම්බෝජය විසින් සිය සහභාගීත්වය මෙතෙක් තහවුරු කර නොමැත.
මෙම ගැටුම කලාපීය ස්ථාවරත්වයට විශාල තර්ජනයක් වන අතර ජාත්‍යන්තර ප්‍රජාව මේ සඳහා කඩිනම් විසඳුමක් බලාපොරොත්තුවෙන් සිටියි. සන්නස Global Eye අප ද ඒ පිළිබඳව බලා සිටිමු.
සැකසුම හා සංස්කරණය - ප්‍රසිලා සඳරුවනි