
බීඩි සඳහා දුම්කොළ බද්ද වැඩි කිරීමේ ගැසට් පත්‍රයට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.
ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන සෑම බීඩි වර්ගයක් සඳහාම අය කරනු ලබන දුම්කොළ බද්ද 2025 අප්‍රේල් 02 වන දින සිට බලපැවැත්වෙන පරිදි රු. 2 සිට රු. 3 දක්වා වැඩි කිරීම සඳහා වන 2025 අප්‍රේල් 01 දිනැති අංක 2430/16 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය රජය විසින් නිකුත් කර තිබුණා.
මේ පිළිබඳ සලකා බලනු ලැබුයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව, එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයී.
අදාළ බදු ඉහළ නැංවීම 2025 අයවැය මගින් ප්‍රකාශයට පත් කරන ලද අතර, එය 1999 අංක 8 දරන දුම්කොළ බදු පනත යටතේ, 2 වන වගන්තියට අනුකූලව මුදල් අමාත්‍යවරයා විසින් කරන ලද නියෝගයක් මගින් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
මෙහිදී අදහස් දැක්වූ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ පසුගිය වසරේ බීඩි නිෂ්පාදකයින් සඳහා බලපත්‍ර 1,140ක් නිකුත් කර ඇති නමුත්, බදු ඉහළ නැංවීමෙන් අනතුරුව මෙම වසරේ බලපත්‍ර අලුත් කර ඇත්තේ 840ක් පමණක් බවයි.
බීඩි නිෂ්පාදන බදු ආදායමද අපේක්ෂා කළ මට්ටමට වඩා පහත වැටී ඇති අතර, පසුගිය වසරේ අපේක්ෂිත ඉලක්කය රුපියල් බිලියන 2ක් වුවද ලැබී ඇත්තේ රුපියල් මිලියන 1,055ක් පමණක් බවත්, මෙම වසරේ මේ දක්වා රැස් කර ඇත්තේ රුපියල් මිලියන 469ක් පමණක් බවත් මෙහිදී අනාවරණය වුණා.
මෙහිදී සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දුන්නේ මහා පරිමාණ අනීතික බීඩි ජාවාරම සහ එවැනි ක්‍රියා සඳහා ප්‍රමාණවත් නෛතික ක්‍රියාමාර්ග නොගැනීම මෙම අඩුපාඩු සඳහා හේතු වී ඇති බවයි.