/
/
title icon
Global Eye - ජපානය හා හවායි දූපත්වලට ද සුනාමි තත්ත්වයක් ඇති කළ රුසියාවේ ප්‍රභලත ම භූමිකම්පාව
Global Eye - ජපානය හා හවායි දූපත්වලට ද සුනාමි තත්ත්වයක් ඇති කළ රුසියාවේ ප්‍රභලත ම භූමිකම්පාව
Presila Sandaruwani
6 hours ago
Share:
Global Eye - ජපානය හා හවායි දූපත්වලට ද සුනාමි තත්ත්වයක් ඇති කළ රුසියාවේ ප්‍රභලත ම භූමිකම්පාව

ලොව පුරා විවිධ ප්‍රදේශවල යුධ ගිනි ඇවිලෙන ලොව ම කැළඹී ඇති මොහොතක පසු ගිය 30 වනදා රුසියාවට ප්‍රභල භූමිකම්පන තත්ත්වයක් ඇති විය. සන්නිවේදන හා තාක්ෂණයේ දියුණුව මත විශාල කේදවාචකයක් වළක්වා ගැනීමට රුසියාව ඇතුළු මෙයට මුහුණ දුන් අනෙක් රටවල්වලට හැකි විය.

fa30df7976bf3e77fdc3c624e0f9c0d3.png

රුසියාවේ කම්චැට්කා අර්ධද්වීපයට බලපෑ මෙම භූමිකම්පාව සිදු වූයේ  2025 ජූලි 30 වන දින එරට වෙලාවින් පෙ.ව. 8:24 ට පමණ ය. මෙම භූමිකම්පාව කම්චැට්කා අර්ධද්වීපයට ඔබ්බෙන් වූ පැසිෆික් සාගරයේ දී ඇති වී ඇත. මෙම භූමිකම්පාව රික්ටර් මාපකයේ ඒකක 8.8ක ප්‍රබලත්වයකින් යුක්ත වූ අතර එය දශක ගණනාවකට පසු එම ප්‍රදේශයට බලපෑ ප්‍රබලත ම භූමිකම්පාව ලෙස සඳහන් විය. භූමිකම්පාවෙන් පසුව රුසියාව විසින් ජපානය සහ ඇමරිකාවේ හවායි දූපත් ඇතුළු පැසිෆික් කලාපයේ රටවල් රැසකට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කරන ලදි.  ජපානයේ උතුරු සහ නැගෙනහිර වෙරළ තීරයන්ට මීටර් 3-4 (අඩි 10-13) දක්වා උස සුනාමි රළ පැමිණිය හැකි බවට අනතුරු ඇඟ වූ අතර එය සැබෑ අනාවැකියක් කරමින් අඩි 4.2ක් පමණ උස රළ ජපානයේ හොන්ෂු සහ හොකයිඩෝ දූපත්වලට ළඟා විය. හවායි දූපත්වල ඔආහු වෙරළට අඩි 4ක් (මීටර් 1.2) පමණ උස උදම් රළ පැමිණි බව ද වාර්තා විය. මෙම සිදුවීමෙන් පසු ප්‍රදේශවාසීන් වෙරළ තීරයන්ගෙන් ඉවත් කිරීමට පියවර ගත් අතර පසු කම්පන තත්ත්වයන් ද දිනකට වැඩි කාලයක් පැවතිය හැකි බවට බලධාරීන් අනතුරු අඟවමින් සිය ජනතාවගේ ජීවිත රැක ගැනීමට උපරිම සැලකිලිමත් වීම කරන ලදි.

97d016dee901934a71743db79791b62f.png

මෙම භූමිකම්පාවෙන් සිදු වූ ජීවිත හා දේපළ හානි සලකන කල්හි කම්චැට්කා ප්‍රදේශයේ ගොඩනැගිලි කිහිපයකට හානි සිදු වී ඇත. වාර්තා වූ පරිදි සුළු තුවාල ලැබූවන් සිටියත් බරපතල මිනිස් හා ජීවිත හානි කිසිවක් වාර්තා නොවීම භාග්‍යකි. තුවාල ලැබූ සියලු දෙනාගේ තත්ත්වය බරපතල තත්ත්වයක නොවන බවකම්චැට්කා ප්‍රදේශයේ සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය. එමෙන් ම ප්‍රධාන වශයෙන් දේපළ හානි සිදු වී ඇත්තේ කම්චැට්කා අර්ධද්වීපය අවට ප්‍රදේශවලට ය. සෙවෙරෝ-කුරිල්ස්ක් (Severo-Kurilsk) නගරයේ මසුන් ඇල්ලීමේ වරායට සහ මාළු සැකසුම් පහසුකම්වලට සුනාමි රළ හේතුවෙන් හානි සිදු වී ඇත. ඇතැම් ගොඩනැගිලිවලට, විශේෂයෙන් ම එක් බාලාංශ පාසලකට හානි සිදු වී ඇති බවට වාර්තා පළ විය. කෙසේ වෙතත් ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් එම ගොඩනැගිල්ලේ දරුවන් සිට නොමැති නිසා අනතුරක් සිදු වී නොමැත. සුනාමිය හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වය නිසා සමහර ප්‍රදේශවලට විදුලිය ඇනහිටීම් ද සිදු ව තිබිණ.

රුසියාවට බලපෑ මෙම භූමිකම්පන තත්ත්වය හේතුවෙන් ජපානයට සුනාමි තත්ත්වයක් ඇති වූ අතර ඊට ප්‍රථම ජපානයේ කාලගුණ විද්‍යා ඒජන්සිය විසින් ජපානයේ පැසිෆික් වෙරළ තීරයට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කිරීම් සිදු කරන ලදී. විශේෂයෙන් ම 2011 වසරේ සුනාමියෙන් විනාශයට පත් වූ නැගෙනහිර වෙරළ තීරයේ සිට හොක්කයිඩෝ (Hokkaido) දක්වා වූ ප්‍රදේශවලට මීටර් 3ක් දක්වා උසැති රළ පැමිණිය හැකි බවට පුරෝකථනය කරන ලදී. මෙම අනතුරු ඇඟවීම් හේතුවෙන් ජපානයේ මිලියන 2 කට ආසන්න ජනතාවකට තම නිවෙස්වලින් ඉවත්වී ආරක්ෂිත ස්ථාන කරා ගමන් කිරීම සිදු කළ අතර ජනතාව වාහනවලින් සහ පයින් උස්බිම් කරා ගමන් කරන අයුරු විදෙස් මාධ්‍ය ඩ්‍රෝන රූපරාමු ඔස්සේ වාර්තා කර තිබිණ. ඔවුන් කෙතරම් සුපරික්ෂාකාරී වීද යත් ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ කාර්ය මණ්ඩලය පවා ඉන් ඉවත් කිරීමට කටයුතු කර තිබුණි.

b8766de5c41d0e13adb7e0e3c3c424f4.jpg

කාලගුණ විද්‍යා ඒජන්සිය මුලින් අනතුරු ඇඟ වූ තරම් විශාල සුනාමි රළ ජපානයට නොපැමිණි අතර උතුරු ජපානයේ ඉවාටේ ප්‍රාන්තයේ (Iwate Prefecture) කුජි වරායට (Kuji Port) මීටර් 1.3ක් උස සුනාමි රළක් පැමිණි බව සනාථ විය. ජපානයේ උතුරු දිග දූපතක් වන හොක්කයිඩෝහි වෙරළ තීරයට අඩි 1 සිට 1.3 දක්වා උස සුනාමි රළ පැමිණි බව ද නිරීක්ෂණය විය. කෙසේ නමුත් මෙම සුනාමියෙන් ජපානයට විශාල දේපළ හානි හෝ බරපතල ජීවිත හානි කිසිවක් සිදු නොවීම වාසනාවකි. නමුත් එක් අවස්ථාවක දී මීයේ ප්‍රාන්තයේ (Mie prefecture) කාන්තාවක් ඉවත් කිරීමේ දී ඇගේ වාහනය කන්දකින් පහළට වැටීමෙන් ඇය ජීවිතක්ෂයට පත් වූ බව පමණක් වාර්තා විය.

රුසියාවේ කම්චැට්කා අර්ධද්වීපයට ඔබ්බෙන් ඇති වූ භූමිකම්පාවෙන් පසු හවායි දූපත්වලට ද සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණි. මෙම භූමිකම්පාවේ ප්‍රබලත්වය හේතුවෙන් පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය (Pacific Tsunami Warning Center) විසින් හවායි දූපත්වලට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කරන ලදි. හවායි බලධාරීන් වහාම පියවර ගනිමින් වෙරළ තීරයන් සහ පහත්බිම් ආශ්‍රිතව පදිංචිව සිටි ජනතාවට ආරක්ෂිත උස් ස්ථාන කරා යන ලෙස දැනුම් දුන් අතර පාසල් වසා දැමීමටත්, මුහුදු තීරයේ ගමන්ගත් බෝට්ටු වරායන් වෙත කැඳවීමටත් කටයුතු කරන ලදි.

වාර්තා වූ පරිදි මෙම භූමිකම්පාවෙන් ජනනය වූ සුනාමි රළ හවායි දූපත්වලට ද ළඟා වූ අතර ඔආහු (Oahu) දූපතේ වෙරළ තීරයට අඩි 4ක් (මීටර් 1.2) පමණ උස උදම් රළ පැමිණ තිබුණි. නමුත් මෙම සුනාමි රළ හේතුවෙන් හවායිවලට විශාල ජීවිත හානි හෝ දේපළ හානි සිදු වූ බවට කිසිදු වාර්තාවක් පළ වී නොතිබිණි. ජනතාව කල් ඇතිව ඉවත් කිරීමට ගත් ක්‍රියාමාර්ග සහ සුනාමියේ බලපෑම අපේක්ෂිත ප්‍රමාණයට වඩා අඩු වීම මෙයට ප්‍රධානත ම හේතුව වූ බව අපගේ විශ්වාසයයි.

1a8fc5a2653bbe66233b6f7c15aa98e8.jpg

කෙසේ නමුත් මෙම භූමිකම්පාව විශාල ප්‍රබලත්වයකින් යුක්ත එකක් වුවද, කල් ඇතිව ලබා දුන් අනතුරු ඇඟවීම් සහ ජනතාව ඉක්මනින් ඉවත් කිරීමට ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් බලාපොරොත්තු වූ තරම් විශාල හානියක් රටවල්වලට සිදු නොවීම සුවිශේෂී කරුණකි. එමෙන් ම වාසනාවකි.

සැකසුම හා සංස්කරණය - ප්‍රසිලා සඳරුවනි

 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required