
දෙමව්පියන්ගේ පළමු තේරීම වනුයේ තම දරුවන්ය. ඔවුන් තම දරුවන් සුරක්ෂිත කරනුයේ ඔවුන්ගේ දෑස්මෙනි. නමුත් තම දරුවන් කුඩා කල සිටම නිරෝගිව වර්ධනය වූයේ නැතිනම් දෙමව්පියන්ට ඒ තරම් දුකක් කණගාටුවක් නැති තරම්ය. එලෙස සිතා බලන විට අපට ඔටිසම් රෝගය පිළිබඳව කතා නොකරම බැහැ. චිත්‍රපට සහ පොත් වලට පින් සිදුවන්නට මිනිසුන් දැන් දැනුවත් වෙමින් සිටින මෙතෙක් නොදැන සිටි බොහෝ ආබාධ තිබෙන අතර ඉන් එකක් විදිහට අපිට ඔටිසම් හඳුන්වන්න පුලුවන්. අප කවුරුත් අසා ඇති නමුත් සම්පූර්ණ දැනුමක් නොමැති ආබාධයක් ලෙස මෙය හඳුනාගත හැකිය.
ඔටිසම් යන වචනයේ තේරුම
ඔටිසම් වෛද්‍ය විද්‍යාවේදී autism spectrum disorder නමින් හඳුන්වයි. Autism යන වචනය ලතින් භාෂාවේ " autos” (භාවිතා කරන ඔටෝකාර් automatic යන වචනය හා සමාන වෙයි) යන වචනයෙන් සෑදුන වචනයකි.
ඔටිසම් යනු කුමක්ද?
ඔටිසම් යනු සමාජ හා සන්නිවේදන කුසලතා සම්බන්ධයෙන් මොළයේ සාමාන්‍ය වර්ධනයට බලපාන සංවර්ධන බාධකයක් වන අතර එය ජීවිතයේ පළමු වසර තුන තුළදී දක්නට ලැබේ. මේමගින් දරුවන්ගේ සමාජයීය හැකියාවන් සහ හැසිරීම් සම්බන්ධයෙන් ගැටලු ඇති කරයි. දරුවෙකුගේ කුඩා අවදියේදී ඇතිවන මෙම තත්ත්වයන් මොළයේ ස්නායු වර්ධනයේ ගැටලු නිසා ඇතිවන බව වෛද්‍යවරුන්ගේ මතයයි. මෙහිදී දරුවාට වයස අවුරුදු දෙකක පමණ කාලය මෙහි රෝග විනිශ්චය කිරීමට සුදුසුම කාලය වන අතර ඒ කාලයේදී රෝගය හඳුනාගැනීම ඉදිරියේදී දරුවාට ඇතිවිය හැකි සංකූලතා මගහරවා ගැනීමට උපකාරී වේ. නමුත් දෙමව්පියන්ගේ නිසි දැනුවත් වීමක් නොමැති බව, පෙර පාසල් අවධිය දක්වාම මෙම ගැටලු තත්ත්වයන් හඳුනා ගැනීම ප්‍රමාද වීමට හේතුවක් බව පැවසිය හැකියි.
විවිධ ඔටිසම් තත්ත්ව
Autism Spectrum Disorder යන රෝගය විවිධ තත්ත්වයන් මෙලෙස හඳුනා ගැනීමට හැකිය.
- Autistic Disorder - මෙම තත්ත්වය තිබෙන දරුවන් තුල කථන ප්‍රමාද, සමාජීය සහ සන්නිවේදන ගැටලුද විශේෂයෙන්ම වෙනස් පුරුදු සහ ආශාවන්ද තිබීමට හැකිය. මෙම තත්ත්වයෙන් පෙළෙන රෝගීන් බොහෝ දුරට බුද්ධිමය දුර්වලතාවයන් සහිත පුද්ගලයන් වේ.
- Asperger Syndrome - Autism තත්ත්වයේම මද වශයෙන් රෝග ලක්ෂණ පවතින මට්ටමක් ලෙස දැක්විය හැකිය. භාෂා භාවිතය සන්නිවේදනය හෝ බුද්ධිමය ගැටලු මේ අයට නැත.
- Pervasive Developmental Disorder - ඔටිසම් රෝගයට අදාළ සමහර රෝග ලක්ෂණ සහිත නමුත් සියලුම ලක්ෂණ නොමැති බොහෝ විට සමාජ අන්තර් ක්‍රියා සහ සන්නිවේදන ගැටලු පමණක් මඳ වශයෙන් ඇති අය වේ.
ඔටිසම් ඇතිවීමට බලපාන හේතු
මේ සඳහා ස්ථිර හේතුවක් තවම සොයාගෙන නොමැති නමුත් ළමා මනෝ වෛද්‍යවරයන් අනුමාන කරන හේතුන් කිහිපයක් ඇත. බොහෝ වෙලාවට ගර්භනී කාලයේදී මවට වැළඳෙන ලෙඩ රෝග සඳහා ඔබ ඖෂධ ගනු ලබන අතර සමහර වෙලාවට එම ඖෂධ කෙලින්ම ඔබේ දරු ගැබට බලපාන්න පුළුවන්. එසේම ගර්භනී අවධියේදී විවිධ මානසික පීඩනයන්ට ගොදුරු වී තිබුණහොත් එයද සෘජුවම ඔබේ දරු ගැබට බලපානු ලබයි. එසේම ඔබ විවිධ උපත් පාලන ක්‍රම අනුගමනය කරනවානම් එවැනි අවස්ථාවක වුවත් දරු ගැබට විශාල ලෙස එය බලපෑමට ඉඩකඩක් ඇත. ඒ වගේ මොහොතක ඔබ ඒ දරුවාව හදාගන්නා නමුත් එවැනි අවස්ථාවක ඉපදෙන දරුවා ඔටිසම් දරුවෙක් වෙන්නට බොහෝ ලෙස ඉඩකඩ පවතී. ඒ වගේම තමා ප්‍රසූත අවස්ථාවේදී සිදුවන යම් යම් අපහසුකාරී තත්ත්වයන් නිසාද මොළයට සැපයෙන ඔක්සිජන් ප්‍රමාණයේ යම් අඩුවක් සිදුවුවහොත් එයද ඔටිසම් තත්ත්වයක් ඇති වීමට හේතු වේ. එසේම ළමා මනෝ වෛද්‍යවරුන් සඳහන් කරන ආකාරයටම ජානමය හා පාරිසරික හේතුද මෙම ඔටිසම් තත්ත්වය ඇතිවීමට බලපානු ලබයි. ඒ අනුව පවුලේ ගොළු, බිහිරි සාමාජිකයි සිටී නම් එම තත්ත්වයද ඔටිසම් වලට ප්‍රධාන ලෙස බලපානු ලබයි. පරීක්ෂණ වාර්තාවලට අනුව හෙළිවී තිබෙන තවත් කරුණක් ලෙසට ග්‍රාමීය ප්‍රදේශවලට වඩා නගරබදව ඔටිසම් දරුවන් වැඩි වශයෙන් සිටින බව සඳහන් වෙයි. එයට හේතුව වන්නේ මව සහ පියා කාර්යබහුල වීමත් සමඟ දරුවන් මෙහෙකාරිය සමඟින් හැදී වැඩීමයි. මව මෙන්ම මෙහෙකාරිය දරුවාට ලෙන්ගතු වන්නේ නැහැ. දරුවා සමග ආදරයෙන් කතාබස් කරන්නේ නැහැ. එම දරුවන්හට යහළුවන් සමග එකතු වී සෙල්ලම් කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඔවුන් වැඩි වශයෙන් තනිව ජීවත්වන නිසා ඔටිසම් අවධානමට ලක්වන්නට බොහෝ ලෙස ඉඩකඩ ඇත. නමුත් ගම්බද ජීවත් වන දරුවන්ට මෙම කාරණය හාත්පසින්ම වෙනස් දෙයකි. ඔවුන් හැදීවැඩෙන්නේ මවුපිය සෙනෙහස යටතේ ය. සෙල්ලම් කරන්න ඕන තරම් ඔවුන්ට මිතුරන් සිටින අතර ඔවුන්ට කිසිම මොහොතක තනි වීමට ඉඩක් ලැබෙන්නේ නැත. එසේම ළදරු වියේදී ඇතිවන බරපතල රෝගී තත්ත්වයන්ද, දරුවාගේ මව දරුවා ප්‍රසූත කරන කාලයේදී වයසින් ගොඩක් වැඩි වීමද දරුවාට ඔටිසම් තත්ත්වයක් ඇතිවීමට හේතුවක් විය හැකිය. තවද දියවැඩියාව හා අධික තරබාරුව වැනි සංකූලතා ඇති මවකගේ දරුවන්ද මෙම රෝගයට ගොදුරු විමේ අවදානමක් පවතී. එසේම මවගේ හෝ පියාගේ පරම්පරාවේ ඔටිසම් තත්ත්වයකට ලක් වූ අයෙකු සිටී නම් දරුවන්ටත් එය ඇතිවීමේ සම්භාවිතාවයක් ඇත. මීට අමතරව ලෝකයේබොහෝ කාන්තාවන් දුම්බීමට පුරුදු වී සිටින අතර එවැනි කාන්තාවන්ටද මෙම තත්ත්වයට ගොදුරු වූ දරුවන් බිහිවීමේ අවධානමක් පවතී.
ඔටිසම් තත්ත්වය හඳුනා ගන්නේ කෙසේද?
මෙම තත්ත්වය විවිධ ආකාරයේ රෝග ලක්ෂණ රැසක එකතුවකි. එනිසා ඔටිසම් සහිත දරුවන් විවිධාකාර රෝග ලක්ෂණයන් රැසක් පෙන්නුම් කරනු ලබයි. මෙම ලක්ෂණයන් තිබූ පමණින් ඒ ඔටිසම් යයි කිව නොහැකිය. නමුත් ඔටිසම් බවට හඳුනාගැනීමේදී එම ලක්ෂණ පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් වේ.එහිදී ප්‍රධානම ලක්ෂණ දෙකක් වශයෙන් දරුවාගේ සමාජමය සන්නිවේදන හැකියාවන් වලට බලපෑමක් සිදුවීම මෙන්ම නොගැලපෙන චර්යා රටාවන් වර්ධනය වීම හඳුනා ගැනීමට හැකියි. ඒ අනුව සලකා බලනවිට වයස අවුරුදු එකහමාරක පමණ කාලය වන විට දරුවා කතා කිරීමට පටන්ගෙන තිබී එම කතා කිරීමේ හැකියාව එකවරම නතරවීම හා කතා කිරීමට ප්‍රමාද වන අවස්ථා දැක ගැනීමට හැකිවේ. එමෙන්ම එවැනි දරුවන් කතා කරන විට ඇසට ඇස බලමින් කතා කිරීමට අකමැති වේ. වචන වලින් යමක් ඉල්ලීමට අපහසුතා පවතින අතර සරල ප්‍රශ්නයක් ඇසුවද එයට කල්පනා කර පිළිතුරු දීමේ හැකියාවෙහිද අපහසුතා ඇති වේ. එමෙන්ම එම දරුවන්ට ඇඟිල්ලෙන් යමක් පෙන්නු විට ඒ දෙස නොබැලීමද, දරුවාද ඇඟිල්ලෙන් එලෙස යම් යම් දේ නොපෙන්වීමද හඳුනාගැනීමට හැකිය. මෙවැනි සමහර දරුවන් තනිව සිටීමට වැඩි කැමැත්තක් දක්වන අතර සම වයසේ දරුවන් සමඟ මුහු වෙමින් සෙල්ලම් කරන්නට යොමු වන්නේ ද නැත. එමෙන්ම සෙල්ලම් බඩුවක් දුන් විට ඒ දෙස බලා සිටීමටත් එයට නොගැලපෙන ආකාරයට ඒ භාවිතා කිරීමත් දැක ගැනීමට හැකිවේ. නිදසුනක් ලෙස ඔවුන්ට සෙල්ලම් වාහනයක් ලබා දුන් විට එය පදවනවා වෙනුවට අනෙක් පස හරවා එහි රෝද දෙස බලා සිටීමත් රෝද කරකවමින් විනෝද වීමත් පෙන්වා දිය හැකිය. කඩදාසියක් (පොතක්වැනි) ලබා දුන් විට එය කැබලිවලට ඉරා දමමින් එය සමඟද එක දිගට සෙල්ලම් කරමින් සිටීම දක්නට හැකියි. මේ දරුවන් කරකැවෙන දේවල් වලටද වැඩි කැමැත්තක් දක්වයි. ඒ නිසා සිවිලිම් විදුලි පංකාවක් ඇති කාමරයකට ගියහොත් කොතරම් බැලීමට දේවල් තිබුනද ඔවුන් ඔවුන්ගේ අවධානය යොමු කරන්නේ විදුලි පංකාව දෙසටයි. එසේම මෙම දරුවන් යම්කිසි දෙයක් සිදු වෙමින් පවතින ආකාරය වෙනස් වනවාට කැමති නැත. එමෙන්ම ඔවුන් යම්කිසි පිළිවෙළකටම කටයුතු කරන්නට පෙළඹෙන බවක් දක්නට හැකිය. කිසිදු හේතුවකින් තොරව කෑගසා හඬන්නටත් සිනහ වන්නටත් යොමු වීමත් සමහර දරුවන්ගෙන් ප්‍රශ්නයක් විමසූ විට එයට පිළිතුරු දෙනවා වෙනුවට එම ප්‍රශ්නයම පුනරුච්චාරණය කිරීමත් මෙහි ඇතැම් ලක්ෂණයන්ය .එසේම තමාටම තනිව කතා කරගන්නවා මෙන්ම කලින් අසන්නට ලැබුණු වචන තැනට අනුචිත ආකාරයෙන් පුනරුච්ඡාරණය කරනු දක්නට හැකියි. මෙම දරුවන් කෑම සැපීමෙන් තොරව ගිලීමටත් සූප්පු කර විසි කරන්නටත්, එසේම කෑම ගැනීමට දැඩි අකමැත්තක් හෝ දැඩි කැමැත්තක් දක්වනවා දැකීමට හැකියි. ඔවුන්ගේ ඇති අසාමාන්‍ය ස්නායු සන්නිවේදනයන් මෙයට හේතු වන බව ළමා මනෝ වෛද්‍යවරුන් පවසයි. එසේම ඇතැම් දරුවන් අන් අයට තුරුල් වී සිටින්නට හෝ තම ශරීරයට වේදනාවක් දෙමින් රිදවා ගන්නටද කැමති වීමට පුළුවන්. ඔටිසම් තත්ත්වය ඇති දරුවකු පැහැදිලිවම අධි ක්‍රියාකාරී හෝ කම්මැලි බවක් දක්වන බව පැවසීමට හැකියි. ඇතැම් දරුවන් විවිධ අංග චලන සහ ශබ්ද භාවිතා කිරීම දක්නට ලැබේ. එනම් පැද්දෙමින් සිටීම, ඇඟිලි සොලවෙමින් එදෙස බලා සිටීම, උඩ පැනීම හෝ වේගයෙන් දිව යාම ආදිය මෙන්ම කන් වලට ඇඟිලි ගසාගෙන කෑ ගැසීම ආදිය සිදු කරනු ලබයි. මෙම දරුවන් සමහර විට ශබ්ද වලට අධික සංවේදීතාවයක් දැක්වීම දක්නට ලැබේ. ඔවුන්ගේ කන් ඇසීම හා ඇස් පෙනීම සාමාන්‍ය තත්ත්වයක පැවතුණද මවුපියන් කතා කරන විට ඔවුන් ප්‍රතිචාර නොදක්වා සිටීමද මෙම රෝගී තත්ත්වයේ යම් ලක්ෂණයක් ලෙස සදහන් කල හැකියි.
ඔටිසම් දරුවන් සඳහා ප්‍රතිකාර කරන්නේ කෙසේද?
ඔටිසම් සඳහා නිසි ප්‍රතිකාර ක්‍රමයක් තවමත් සොයාගෙන නැත. එහෙත් විවිධ රටවල් වල ඒ සඳහා විටමින් වර්ග සහ මොළයේ සෛල වර්ධනය කිරීමට අවශ්‍ය විවිධ එන්නත් වර්ග භාවිතා කරමින් සිටී. නිවැරදි චිකිත්සක ප්‍රතිකාර මගින්ද ඔටිසම් අවදානම වළක්වා ගත හැකි අතර දරුවාගේ සන්නිවේදන හා අන්තර් ක්‍රියා කුසලතා වර්ධනය කිරීම, හැසිරීම් සම්බන්ධයෙන් ඇති ගැටලු සහගත තත්ත්වයන් සකසා ගැනීම, ස්වාධීන පුද්ගලයෙකු වශයෙන් සමාජයට මුහුණ දීමට දරුවා පුරුදු පුහුණු කරවා ගැනීම වැදගත් වෙයි. සාමාන්‍යයෙන් දරුවෙකු දුටුව පමණින් අපට ඔහු ඔටිසම් තත්ත්වයෙන් පෙළෙන දරුවෙක්ද යන්න නිගමනය කිරීමට නොහැකිය. එනිසා ඔබේ දරුවාගේ අසාමාන්‍ය හැසිරීම් රටා පවතින්නේ නම් ඒ සඳහා සුදුසුකම් සහිත වෛද්‍යවරයෙකු වෙත දරුවා රැගෙන යාමට වග බලා ගන්න. . වෛද්‍යවරයා විසින් එළඹෙන නිගමනයන්ට අනුව ඒ සඳහා වෛද්‍යවරයා විසින් නියම කරන ලද සායන වෙත දරුවා රැගෙන යාමෙන් ඔබගේ දරුවාගේ ඔටිසම් තත්ත්වය පාලනය කර ගැනීමට හැකියාව ලැබේ.
ඔටිසම් තත්ත්වය සහිත දරුවෙකු රැකබලා ගන්නේකෙසේද?
මෙම තත්ත්වයට ලක් වූ දරුවෙකු සමග කටයුතු කරන විට ඉතාමත් සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය වේ. මන්දයත් වැරදි ක්‍රියා පිළිවෙතක් අනුගමනය කිරීමෙන් දරුවාට ඇති අපහසුතා තවත් උග්‍ර වීමට හැකි නිසායි. එම නිසා මෙවැනි දරුවෙකු සැරවැර කරමින්, තරවටු කිරීම ඉතාමත් නුසුදුසුයි. දරුවාට අවශ්‍ය ආදරය සෑම විටම ලබාදීමට වගබලාගත යුතුයි. එමෙන්ම දරුවාගේ පවතින යහපත් හැසිරීම් වර්ධනය කරන්නටත්, නොගැළපෙන හැසිරීම් ක්‍රමයෙන් පාලනය කරන්නටත් නිතර අවධානය යොමු කළ යුතු යුතුවේ. එහිදී දරුවාට සම්පූර්ණ අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය වේ.
මෙම තත්ත්වය දරුවෙකුගේ ජීවිත කාලය පුරාවටම බලපාන තත්ත්වයක් බැවින් කුඩා කාලයේ සිටම නිවැරදි තත්ත්වය හඳුනාගෙන ප්‍රතිකාර කිරීම මගින් වැඩිහිටි වියේදී තත්ත්වය පාලනය කර ගැනීමට හැකියාව ලැබේ.
සැලකිය යුතුයි - මෙම ලිපිය ගෙන ඒමේ පරමාර්ථය වන්නේ ඔටිසම් රෝග ලක්ෂණ පිළිබඳව ඔබව දැනුවත් කිරීමයි. ඉහත කී ලක්ෂණයන් එකක් හෝ දෙකක් පෙන්නුම් කළ පමණින් ඔබගේ දරුවා ඔටිසම් තත්ත්වයක් ඇතැයි කියා නිගමනය වන්නේ නැත. කෙසේ වෙතත් එවන් ලක්ෂණ පෙන්වන අවස්ථාවකදී නොපමාම වෛද්‍ය උපදෙස් ලබාගෙන ඒ ගැන සැක හැර දැනගැනීම ඔබගේ වගකීමකි.
මදුමාලිකා වික්‍රමසිංහ