
ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට පනවන ලද තීරුබදු ප්‍රතිශතයන් ජයග්‍රහණයක් ලෙස පහත දමා ගැනීමට හැකි වූ පසුබිමක ඉන්දියාවෙන් වාර්තා වූයේ ඉන්දියාවට පැන වූ 25%ක තීරුබදු ප්‍රතිශතය තවත් 25%කින් එනම් 50%ක් දක්වා වර්ධනය කර ඇති බවයි.
ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉන්දියාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අය කළ අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතයට අතිරේකව තවත් 25%ක් අයකිරීමට අගෝස්තු 6 වන දා තීරණය කර තිබුණි. යුක්රේන යුද්ධය අතරතුර ඉන්දියාව විසින් රුසියානු බොරතෙල් අඛණ්ඩව ආනයනය කිරීමට ගත් තීරණයට 'දඬුවමක්' ලෙස මෙලෙස අතිරේක තීරු බදු අනුපාතයක් ප්‍රකාශයට පත්කර තිබෙන බව වාර්තා වුණි. දඩයක් ලෙස පැන වූ නව 25%ක තීරුබද්දත් සමඟ ඉන්දීය ආනයන මත පනවා ඇති අමෙරිකානු තීරුබදු ප්‍රතිශත 50% දක්වා ඉහළ ගොස් තිබේ. සිය ජාතික අවශ්‍යතා ආරක්ෂා කිරීමට ඉන්දියාව සියලු පියවර ගනිමින්, ගොවීන්, ව්‍යවසායකයින්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහ කර්මාන්ත ආයතන ඇතුළු සියලුම පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා පවත්වමින් සිටි මොහොතක අමෙරිකාව විසින් පනවන ලද දඬුවම් තීරුබද්ද සම්බන්ධව ප්‍රතිචාර දක්වමින් ඉන්දියාව පවසනු ලබන්නේ ජාතික අභිලාෂයන් ආරක්ෂා කරගැනීම සඳහා ඕනෑම ආකාරයක සම්බාධක පිළිගැනීමට ඔවුන් සූදානම් බව ය. එමෙන් ම මෙවන් අතිරේක තීරුබද්දක් පැනවීම දැඩි අවාසනාවන්ත සිදුවීමක් බව ද ඉන්දියාව වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණි. ඉන්දියාව සිය ජනතාවගේ බලශක්ති සුරක්ෂිතභාවය සහතික කිරීම යන සමස්ත අරමුණින් යුක්තව මෙම ඉන්ධන ආනයනය සිදු කළ බවත් මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැනටමත් සිය ස්ථාවරය පැහැදිලි කර ඇති බවත් ඉන්දියාව ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබුණි. පසුගිය මාස කිහිපය තුළ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක ද්විපාර්ශ්වික වෙළෙඳ ගිවිසුමක් අවසන් කිරීම සඳහා ඉන්දියාව සහ එක්සත් ජනපදය සාකච්ඡාවල පවා නිරත වී තිබූ මොහොතක මෙසේ දඩුවම් බදු පැනවීමටකට යටත් වීම ඛේදනීය තත්ත්වයකි. ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙන ආකාරයට නව තීරුබදු හේතුවෙන් ඉන්දියානු ආර්ථිකයට සහ අපනයන ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් ඇති විය හැක. එහි දී රෙදිපිළි, ඇඟලුම්, මැණික් සහ ස්වර්ණාභරණ, සම් සහ පාවහන්, රසායනික ද්‍රව්‍ය සහ යන්ත්‍රෝපකරණ වැනි අපනයන අංශයන්ට මෙම තීරුබදු නිසා දැඩි බලපෑමක් එල්ල විය හැකි බව ද පැවසෙයි.

උද්ගත වූ මෙම නව තත්ත්වය හමුවේ ඉන්දියානු රජය සහ මාධ්‍ය පවසනු ලබන්නේ මෙම ක්‍රියාමාර්ගය අසාධාරණ සහ තර්කානුකූල නොවන එකක් වන බවයි. තව දුරටත් ඔවුන් පෙන්වා දෙන්නේ ඉන්දියාව තම පුරවැසියන්ගේ බලශක්ති සුරක්ෂිතභාවය තහවුරු කිරීමට රුසියාවෙන් තෙල් මිලදී ගන්නා බවත්, ඇමරිකාව ඇතුළු වෙනත් රටවල් ද රුසියාව සමඟ වෙළඳාමේ යෙදෙන බැවින් එහි ඇති වරදකාරීත්වය කුමක්ද යන්න බවත් ය. කෙසේ නමුත් මෙම තත්ත්වය කළමනාකරණය කර ගැනීම සඳහා දේශීයව නිෂ්පාදනය කිරීම (Make in India) වැනි වැඩසටහන් තවදුරටත් ශක්තිමත් කිරීමට සැලසුම් කිරීමට ඉන්දියානු රජය ක්‍රියා කරන බව ද වාර්තා කර තිබුණි.
ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉන්දියාවට පනවන ලද පළමු තීරුබදු පිළිබඳව සැලකුවහොත්,
ඇමරිකාව විසින් ඉන්දියාවට එරෙහිව වෙළඳ ක්‍රියාමාර්ග ගත් පළමු අවස්ථාව ලෙස සැලකෙන්නේ 2018 වසර ය. එකල ජනාධිපති වූ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් "ජාතික ආරක්ෂාව" හේතුකොටගෙන වානේ සහ ඇලුමිනියම් ආනයනය සඳහා ගෝලීය තීරුබදු පනවන ලදි. ඒ අනුව ඇමරිකාවට ආනයනය කරන ලද වානේ සඳහා 25%ක සහ ඇලුමිනියම් සඳහා 10%ක තීරුබද්දක් පැනවිණි. මෙම තීරුබදු ඉන්දියාව ඇතුළු බොහෝ රටවල් සඳහා ක්‍රියාත්මක වූවකි. කෙසේනමුත් ඉන්දියාව ද සිය බලතල මෙහෙයවමින් මෙම ක්‍රියාමාර්ගයට ප්‍රතිචාර වශයෙන් 2019 දී ඇමරිකානු භාණ්ඩ 28ක් සඳහා තීරුබදු පැනවීමට පියවර ගත්තේය. මෙයට ආමන්ඩ්, walnuts සහ ඇතැම් කෘෂිකාර්මික නිෂ්පාදන ඇතුළත් වී තිබුණ.
මීට අමතරව 2019 දී ට්‍රම්ප් පරිපාලනය ඉන්දියාවට ලබා දී තිබූ "පොදු වෙළඳ මනාප පද්ධතිය" (Generalized System of Preferences - GSP - යනු මෙය දියුණු වෙමින් පවතින රටවලට ඇමරිකාවට භාණ්ඩ අපනයනය කිරීමේ දී බදු රහිත ප්‍රවේශයක් ලබා දෙන වැඩසටහනකි.) ඉවත් කළේය. මීට හේතුව වශයෙන් ඇමරිකාව දක්වා තිබුණේ ඉන්දියාව තම වෙළඳපොළට ඇමරිකානු නිෂ්පාදන සඳහා සාධාරණ ප්‍රවේශයක් ලබා නොදෙන බවයි. මෙම තීරණයෙන් ඉන්දියානු අපනයනකරුවන්ට ඩොලර් බිලියන ගණනක බදු ප්‍රතිලාභ අහිමි විය. මෙම සාධක සලකා බලන කල්හි 2025 ට පෙර ද ඇමරිකාව සහ ඉන්දියාව අතර වෙළඳ සබඳතාවල ආතතිය ඉහළ මට්ටමක පැවතුණ බව නොරහසකි.

ඇමරිකාව විසින් පැනවූ නව තීරුබදු හමුවේ ඉන්දියාවේ ප්‍රතිචාරය ගතහොත්
ප්‍රථමයෙන් සඳහන් කළ පරිදි ඉන්දියාව මෙම තීරණයට දැඩි විරෝධයක් පළ කර ඇති අතර ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය මෙම ක්‍රියාමාර්ගය "අසාධාරණ, යුක්තිසහගත නොවන සහ තර්කානුකූල නොවන" බව පෙන්වා දී ඇත. ඉන්දියාව අවධාරණය කරන්නේ රුසියාවෙන් බොරතෙල් මිල දී ගැනීම තම බිලියන 1.4ක ජනතාවගේ බලශක්ති සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා ගන්නා ලද පියවරක් බවයි. අනෙකුත් රටවල් ද රුසියාව සමඟ වෙළඳාමේ යෙදෙන බැවින්, ඇමරිකාව විසින් ඉන්දියාව පමණක් ඉලක්ක කිරීම අසාධාරණ බව ඉන්දියාව තවදුරටහ් පෙන්වා දෙනු ලබයි. කෙසේනමුත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කර ඇත්තේ ඇමරිකාවේ බලපෑම් හමුවේ වුව ද, ඉන්දියාව තම ගොවීන්ගේ සහ ධීවරයන්ගේ අවශ්‍යතා වෙනුවෙන් කිසි විටෙකත් සම්මුති ඇති කර නොගන්නා බවයි. අවශ්‍ය නම් ඒ සඳහා බරපතළ මිලක් ගෙවීමට වුව ද සූදානම් බව ඔහු සඳහන් කර තිබිණි. එමෙන් ම විපක්ෂයේ දේශපාලඥයන් සහ සමහර වෙළඳ විශේෂඥයන් යෝජනා කර ඇත්තේ ඇමරිකානු භාණ්ඩ සඳහා ඉන්දියාව ද 50%ක ප්‍රතිප්‍රහාර තීරුබදු පැනවිය යුතු බවයි. එහෙත්, ඉන්දීය රජය මෙතෙක් එවැනි පියවරක් තවමත් ගෙන නොමැත. නමුත් ඉදිරියේ දි එය අපේක්ෂා කළ හැකි දෙයකි.
නව තීරුබදු හේතුවෙන් මතුවන අභියෝගවලට මුහුණ දීම සඳහා ඉන්දියාව විවිධ උපායමාර්ග සැලසුම් කර ඇති බව ද වාර්තා වේ. එනම්
- වෙළඳාම විවිධාංගීකරණය කිරීම
ඇමරිකාව සමඟ ඇති වෙළඳ සබඳතා පළුදු වීමෙන් ඇති වන බලපෑම අවම කර ගැනීම සඳහා ඉන්දියාව යුරෝපය, ලතින් ඇමරිකාව, අප්‍රිකාව සහ දකුණු ආසියාව වැනි විකල්ප වෙළඳපොළවල් සොයා බැලීමට ආරම්භ ඇත. - දේශීය නිෂ්පාදන කිරීම ශක්තිමත් කිරීම
තීරුබදුවල බලපෑමෙන් පීඩාවට පත්වන අපනයන අංශ සඳහා සහන සැලසීම සඳහා ඉන්දීය රජය විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. මෙහි දී දේශීය නිෂ්පාදන දිරිගැන්වීම සහ අපනයනකරුවන්ට මූල්‍ය ආධාර ලබා දීම කෙරෙහි අවධානය යොමු කර ඇත. - රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා
තත්ත්වය සමනය කර ගැනීම සඳහා රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ඇමරිකාව සමඟ සාකච්ඡා දිගට ම පවත්වාගෙන යන බව ඉන්දියාව ප්‍රකාශ කරනු ලබයි. ඉදිරි සති කිහිපය තුළ දෙරට අතර වෙළඳ ගිවිසුමක් පිළිබඳ සාකච්ඡා නැවත ආරම්භ කිරීමට ද නියමිතය.

මෙසේ ඇමරිකාව විව්ධ රටවලට ඉහළ තීරුබදු ක්‍රියාත්මක කිරීමට හේතු මොනවාද යන්න සැලකුවහොත්,
- දේශීය කර්මාන්ත ආරක්ෂා කිරීම
විදේශීය භාණ්ඩ සඳහා තීරුබදු පැනවීමෙන් ඇමරිකාව බලාපොරොත්තු වන්නේ දේශීය නිෂ්පාදනවලට වෙළඳපොළ තුළ වැඩි ඉඩක් ලබා දීමයි. ආනයනික භාණ්ඩ මිල අධික වූ විට, පාරිභෝගිකයන් දේශීයව නිෂ්පාදිත භාණ්ඩ මිල දී ගැනීමට පෙළඹෙයි. මේ තුළින් දේශීය කර්මාන්ත ශක්තිමත් වී රැකියා අවස්ථා ද ඉහළ යනු ලබයි. - වෙළඳ හිඟය අවම කිරීම
ඇමරිකාව විදේශ රටවලින් ආනයනය කරන භාණ්ඩ ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් අපනයනය කරන විට වෙළඳ හිඟයක් ඇති වේ. තීරුබදු පැනවීමෙන් මෙම වෙළඳ හිඟය පාලනය කිරීමට උත්සාහ කරන අතර එය රටේ ආර්ථිකයට ධනාත්මක බලපෑමක් ඇති කරන බව විශ්වාසය වේ. - දේශපාලන සහ රාජ්‍යතාන්ත්‍රික පීඩනය
තීරුබදු යනු වෙනත් රටකට එරෙහිව පීඩනය යෙදීමට භාවිතා කළ හැකි බලගතු දේශපාලන මෙවලමකි. උදාහරණයක් ලෙස රුසියාවෙන් බොරතෙල් මිල දී ගැනීම නිසා ඉන්දියාවට තීරුබදු පැනවීම මගින් ඇමරිකාව උත්සාහ කළේ යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් තම ස්ථාවරයට සහය දීමට ඉන්දියාවට බලපෑම් කිරීමටයි. මේ අනුව ඒ බව මනාව තහවුරු වේ. - ජාතික ආරක්ෂාව
ඇමරිකාව, ඇතැම් ආනයන ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස සලකන විට ද තීරුබදු පනවනු ලබයි. උදාහරණයක් ලෙස සමහර වානේ සහ ඇලුමිනියම් ආනයනය මත පනවන ලද තීරුබදු මගින් ඇමරිකාව සිය දේශීය ආරක්ෂක කර්මාන්තය ආරක්ෂා කර ගැනීමට උත්සාහ කරන ලදි. - ආදායම් ඉපැයීම
තීරුබදු මගින් ඇමරිකානු රජයට අතිරේක ආදායමක් ද ලැබේ. මෙම ආදායම රාජ්‍ය වියදම් සඳහා යොදාගැනීමට අවස්ථාව ලැබේ.
අතීතයේ දී තීරුබදු පැනවීම ප්‍රධාන වශයෙන් ආදායම් මාර්ගයක් ලෙස හෝ කර්මාන්ත ආරක්ෂා කිරීම සඳහා යොදා ගත්ත ද, වර්තමානයේ එය දේශපාලන සහ උපායමාර්ගික අරමුණු සඳහා ද භාවිත වේ. විශේෂයෙන් ම ඩොනල්ඩ් ට්‍රම්ප් වැනි නායකයන්ගේ පාලනය යටතේ "අන්‍යෝන්‍ය තීරුබදු" (reciprocal tariffs) වැනි හඳුන්වා දුන් සංකල්ප මගින් වෙනත් රටක් ඇමරිකාවට පනවන තීරුබදු මට්ටමට සමාන තීරුබදු මට්ටමක් ඇමරිකාව විසින් ද එම රටට පැනවීමට කටයුතු සිදු කරනු ලබයි. කෙසේනමුත් ඇමරිකාවේ තීරුබදු ප්‍රතිපත්තිය ඉතා සංකීර්ණ වන අතර එය තනි හේතුවක් මත නොව විවිධ වෙළඳ, දේශපාලන සහ ආර්ථික අරමුණු මත පදනම්ව වෙනස් වන බව මින් අපට තහවුරු කර ගත හැකි වේ. ඉන්දියාව මේ වන විට ලෝකයේ වේගයෙන් ම වර්ධනය වන ආර්ථිකය බවට පත්වී ඇති බවත් වසර කිහිපයක් ඇතුළත ඉන්දියාව ලෝකයේ තෙවැනි විශාලතම ආර්ථිකය බවට පත්වන බවත් ආර්ථික විශ්ලේෂකයන්ගේ මතයයි. එසේ ස්ථාවර මට්ටමක සිටිය ද ඉන්දියාව ඉදිරියේ දී මෙම අභියෝගය කෙසේ ජය ගන්නේ ද යන වග ලොවක් බලාගෙන සිටියි.
සැකසුම - ප්‍රසිලා සඳරුවනි