/
/
title icon
THE REAL TALK - ඩිජිටල් මාධ්‍ය ක්ෂේත්‍රයේ ශ්‍රී ලාංකේය අභිමානය ධනික පෙරේරා
THE REAL TALK - ඩිජිටල් මාධ්‍ය ක්ෂේත්‍රයේ ශ්‍රී ලාංකේය අභිමානය ධනික පෙරේරා
Upeksha Thambavita
2 weeks ago
Share:
THE REAL TALK - ඩිජිටල් මාධ්‍ය ක්ෂේත්‍රයේ ශ්‍රී ලාංකේය අභිමානය ධනික පෙරේරා

උත්සහය, කැපවීම, අධිෂ්ඨානය කියලා කියන්නේ පුද්ගලයකු ප්‍රගුණ කළ යුතු ම ගුණාංග ත්‍රිත්වයක්. ඇයි මෙහෙම කියන්නේ? මේ ඉහත සඳහන් කරලා තියෙන කාරණා තුන පුද්ගලයෙකු තුළ තිබෙනවා නම් ඔහු යන ගමන තුළ දිනක ඔහු රජ වනවාමයි. සමහර පිරිසක් ඉන්නවා ඔවුන්ට තම ජීවිතය ජයගන්න අවශ්‍යතාවය තිබුණමුත් ඒ සදහා ක්‍රියාත්මක වෙන්නේ නැති. තවත් සමහරු ඉන්නවා ජීවිතය තුළ කිසිදු දියුණුවක් කරා ගමන් කිරීමට වුවමනාවක් නැතුව ජීවිතය යන විදියකට ගලාගෙන යන්න දීලා බලාගෙන ඉන්න. ඒ අතර තවත් සමහර පිරිසක් ඉන්නවා ජීවිතයේ හිණිපෙත්ත කරා ගමන් කිරීමට තම කාලය, ශ්‍රමය, කැපකරමින් ඒ සදහා වැඩකරන. ඉතින් මෙහි දී මේ අවසානෙට සඳහන් කරලා තියෙන පුද්ගල කණ්ඩායම හරි අපූරුවට තමන්ගේ අරමුණු සාක්ෂාත් කරගෙන ජීවිතයේ ජයග්‍රාහී මාවත කරා යනවා. ඉතින් මේ විදිහට අද කතාබහ ආරම්භ කරන්න හිතුණේ අද අපගේ සාකච්ඡාවට සම්බන්ධ වී තිබෙන විශේෂ ආරාධිතයෙක් නිසා. මෙතුමා ගැන කියනවා නම් මොහු ඩිජිටල් මාධ්‍ය ක්ෂේත්‍රයේ ව්‍යවසායකයෙක් විදිහට තම ගමන ආරම්භ කොට අද වන විට මුළුමහත් රටක් ම හඳුනන පුද්ගලයෙක් බවට මෙතුමා පත් වී තිබෙනවා. ඒ වගේ ම මෙතුමා වත්මනය වන විට ශ්‍රී ලාංකේය අභිමානය ඉහළට ඔසවමින්, ශ්‍රී ලාංකේය අභිමානය විදහා දක්වමින් අද වන විට මෙරට ඩිජිටල් මාධ්‍ය  ක්ෂේත්‍රය තුළ සිටින අංක එකේ දීප්තිමත් ව්‍යවසායකයෙක්, ව්‍යාපාරිකයෙක් බවට පත්වී තිබෙනවා. ඉතින් මෙතුමා නමින්, ධනික පෙරේරා ලෙසට ඔබට හඳුන්වා දෙන්න පුලුවන්. ඉතින් ඔබතුමාව ඉතාමත් ගෞරවයෙන් ආයුබෝවන් කියලා සන්නස අපේ සාකච්ඡාවට පිළිගනු ලබනවා.

පළමුවෙන් ම ඔබතුමාගෙන් අපි දැනගන්න කැමතියි ඔබතුමාගේ කුඩා කාලය, උපන් ගම්පළාත ඔබතුමාගේ පවුල් පසුබිම පිළිබඳව...?

මම ගැන කිව්වොත් මගේ නම ධනික පෙරේරා. මගේ උපන් ගම්පළාත කළුතර දිස්ත්‍රිකයේ පයාගල ප්‍රදේශය. මගේ දෙමව්පියෝ පිළිබඳ සඳහන් කළොත් ඔවුන් පෞද්ගලික අංශයේ රැකියාවක තමයි නිරත වුණේ. ඒ වගේම මගේ පාසල කළුතර සිරි කුරුස විද්‍යාලය. මම උසස් පෙළ හදාරන කාලයේ දී අපේ පාසලේ ප්‍රධාන ශිෂ්‍යනායක ධුරයට පත්වෙනවා. මට නායකත්ව ගුණාංග පිළිබඳ ප්‍රගුණ කිරීමට හැකියාවක් කුඩා කාලයේ සිට ම ලැබුණේ එම තනතුරට පත්වීමත් සමඟ. අදටත් මගේ ව්‍යාපාර කටයුතු සමඟ වැඩ කරන මගේ කණ්ඩායම නිවැරදිව මෙහෙයවමින් ඉදිරියට යන්න ඒ තුළින් මට විශාල පන්නරයක් ලැබී තිබෙන බව සඳහන් කළ යුතුයි.

මීළඟට ඔබතුමාගේ පාසල් අධ්‍යාපන කටයුතු පිළිබඳව සහ එහි දී ලබාගත් ජයග්‍රහණ පිළිබඳවත් මතක් කරමු...?

ඔව් මම එක ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා ම ඉගෙනීම් කටයුතු සිදු කළේ මම අර කලින් කිව්ව මගේ පාසල වන කළුතර සිරි කුරුස විද්‍යාලයේ. මෙහි දී පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සිට ම කිවහොත් මට එම විභාගය සමත්වීමට හැකියාවක් ලැබුණා. ඉන් අනතුරුව අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට සාමාර්ථ සහිතව සමත්වීමට හැකියාවක් ලැබුණා. කුඩා කාලයේ සිට ම මගේ හීනයක් තිබුණා පරිගණක ඉංජිනේරුවරයෙක් වීමට. ඒ හීනය නිසා ම මම උසස් පෙළ ගණිත අංශයෙන් හැදෑරීමට පෙළඹෙනවා. මෙහි දී උසස් පෙළට මුහුණ දුන් පළමු අවස්ථාවේ දී මට මොරටුව විශ්වවිද්‍යාලයට ඇතුළු වීමට අවස්ථාව ලැබුණේ නැහැ. පසුව මම අර කලින් කියපු මගේ හීනය නිසාම මම දෙවන වරටත් උසස් පෙළ හදාරනවා. ඉතින් දෙවන වරට උසස් පෙළ හදාරපු අවස්ථාවේ මට මොරටුව විශ්වවිද්‍යාලයට ඇතුළු වෙන්න පුළුවන් වුණා. ඉතින් එහි දී මම පරිගණක විද්‍යා හා ඉංජිනේරු අංශයෙන් මගේ උපාධිය හැදෑරුවා. 

a98942b246126019ce7bd2293df9a6b7.jpg

විශ්වවිද්‍යාල ජීවිතය කියන්නේ පුද්ගලයකුගේ අධ්‍යාපන ජීවිතයේ හැරවුම් ලක්ෂයක් කිවහොත් මා නිවැරදියි. ඉතින් අපි දැනගන්න කැමතියි ඔබතුමාගේ විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු පිළිබඳව...?

විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු පිළිබඳව සඳහන් කළහොත් මම මගේ විද්‍යාවේදී උපාධිය මොරටුව සරසවියෙන් ලබා ගත්තා. මෙය මම හදාරපු මගේ පළමු උපාධිය. මෙම උපාධිය හදාරන කාලය තුළ තමයි මම ව්‍යවසායකයෙක් විදිහට කටයුතු කිරීම ආරම්භ කළේ. ඉන් අනතුරුව මගේ ව්‍යාපාර කටයුතු සිදු කරගෙන යාමේ දී මට ව්‍යාපාරික දැනුම අවශ්‍ය වූ නිසා මම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය තුළින් මගේ ශාස්ත්‍රවේදී උපාධිය හදාරනවා. ඒ ව්‍යාපාර පරිපාලනය කියන අංශයෙන්. ඇත්තටම අද වන විට මගේ ව්‍යාපාර කටයුතු සාර්ථක කරගැනීමට මට විශාල දැනුමක් මෙම උපාධි පාඨමාලාව හරහා ලබා ගැනීමට හැකිවුණා.

ඔබතුමා මෙම ඩිජිටල් මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසීමේ ආරම්භක අදියරේ දී ඔබතුමාට විශ්වවිද්‍යාලය තුළින් යම්කිසි පන්නරයක් ඊට ලැබුණාද...? එහි දී ඔබතුමාගේ සහයට විශේෂ පුද්ගලයන් සිටියාද...? එසේ නම් ඒ පිළිබඳවත් මතක් කරමු...?

ඔව් ඇත්තටම කුඩා කාලයේ දී මට ව්‍යවසායකයෙකු වීමට හීනයක් තිබුණේ නැහැ. මගේ හීනය වුණේ පරිගණක ඉංජිනේරුවරයෙක් වීම. ඉතින් ඒ නිසා තමයි මම උසස් පෙළ ගණිත අංශයෙන් හැදෑරීම සිදු කළේ. ඇත්තටම ව්‍යවසායකයෙක් ලෙස කටයුතු කිරීමට අවස්ථාව නිර්මාණය වෙන්නේ මොරටුව සරසවිය තුළ උපාධිය හදාරන අවධියේ දී. මොරටුව සරසවිය තුළ තෙවන වසරේ අධ්‍යයන කටයුතුවල නිරත වන විට මට කේවල ව්‍යාපෘතියක් සිදු කරන්න අවස්ථාවක් ලැබෙනවා. මම කුඩා කාලයේ සිට ම සිංහල භාෂාවට දැඩි ඇල්මක් දක්වපු කෙනෙක්. ඉතින් එතන දි සිංහල භාෂාව ජංගම දුරකථන තුළ ස්ථාපිත කිරීමට අදාළ නිර්මාණයක් මම සිදු කරනවා, මගේ ව්‍යාපෘතිය විදිහට. ඉතින් මේ නිර්මාණය ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමකට ලක්වී මට ඒ සඳහා දකුණු ආසියානු සම්මානයක් හිමි කර ගැනීමට හැකියාව ලැබෙනවා. පසුව එටිසලාට් සමාගම මම මේ කරපු නිර්මාණයේ වටිනාකම නිසා ඔවුන් ඔවුන්ගේ පරිශීලකයන් අතර මෙම යෙදවූම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා, ව්‍යාපාරික වශයෙන්. ඉතින් එතනදි තමයි මමත් ව්‍යාපාරික වශයෙන් මෙය ඉදිරියට ගෙනයාම ආරම්භ කරන්නේ. සරසවි ශිෂ්‍යයකු වශයෙන් ඉගෙනුම ලබන කාලය තුළ ම තමයි මම මගේ භාෂා ආයතනය ලංකාවේ ලියාපදිංචි ආයතනයක් ලෙස ආරම්භ කරනු ලබන්නේ. ඉතින් ඇත්තටම මම කලින් කිව්ව වගේ මේ විදිහට මගේ ම ව්‍යාපාරයක් පටන්ගෙන එම ව්‍යාපාරය තුළ මගේ ම කියා කණ්ඩායමක් මෙහෙයවමින් කටයුතු කිරීමට මට ලොකු පන්නරයක් ලැබුණා, මගේ පාසල් කාලය තුළ මම ප්‍රගුණ කරපු නායකත්ව ගුණාංගයන් තුළින්. ඉතින් මම පරිගණක ක්ෂේත්‍රය තුළින් ලබාගත් දැනුම හරහා මෙම ව්‍යාපෘතිය සිදු කළ ද මම කලින් කිව්වා වගේ මෙය ව්‍යාපාරයක් ලෙසට හොඳින් වර්ධනය වීගෙන එන විට මට එය තවදුරටත් මෙහෙයවීමට ලොකු ව්‍යාපාරික දැනුමක් අවශ්‍ය වූ නිසා තමයි මම මගේ ශාස්ත්‍රවේදී උපාධිය හදාරන්නේ ව්‍යාපාර පරිපාලන අංශයෙන්. මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ දී මුලින් ම එයට මම තනිවම තමයි සම්බන්ධ වුණේ. පසුව එටිසලාට් සමාගමෙන් ව්‍යාපාරික අවස්ථාවක් ලබාදීමත් සමඟ මට එම කටයුතු මෙහෙයවීමට මගේ දැනුම පමණක් ප්‍රමාණවත් වුණේ නැහැ. එතනදි මගේ ම කණ්ඩායමක් ගොඩනගාගන්න මම තීරණය කළා.මෙතන දි මම මුලින්ම මේ සඳහා සම්බන්ධ කර ගත්තේ මගේ ම සරසවි මිතුරෙක්. ඇත්තටම කියන්න ඕනේ ඔහු තමයි මම සහ මගේ ගමන විශ්වාස කරලා මාත් සමග මෙම ව්‍යාපෘතියට එකතුවුණේ. ඔහුට මටත් වඩා ප්‍රෝග්‍රෑමින් පැත්ත පිළිබඳ හොඳ දැනුමක් තිබුණා. මට බිස්නස් පැත්ත සහ මාකටින් පැත්ත පිළිබඳ හොද දැනුමක් තිබුණා. එතැන දී ඒ දේ අපේ වැඩවලට ලොකු ශක්තියක් වුණා. ඉතින් ඔහුව අනිවාර්යයෙන්ම මේ මොහොතේ මතක් කරන්න ඕනේ. චාමික වීරසිංහ තමයි මගේ එම මිත්‍රයා. අද වන විටත් ඔහුගේ සහය මට ලැබෙනවා. ඒ වගේම තවත් මිතුරන් කීපදෙනෙක් එකතු කරගන්නවා මම මේ වැඩ වලට. මුලින් ම මගේ මෙම ව්‍යාපාර කටයුතු සඳහා භෞතික වශයෙන් ආයතනයක් තිබුණේ නැහැ. විශ්වවිද්‍යාලෙ ඉන්න කාලේ බෝඩින්වල, හොස්ටල්වල ඉඳන් තමයි මම මේ වැඩ කටයුතු මෙහෙයවීම සිදු කළේ. ඉතින් ඒ වගේ පසුබිමක මාව විශ්වාස කරලා මගෙත් එක්ක මගේ සහායට ඉඳපු ඒ සියලු දෙනාව මම මේ මොහොතේ මතක් කරනවා. ඇත්තටම ඔවුන්ගෙන් ලොකු සහයෝගයක් මට ලැබුණා. ඉතින් ඒ කාලෙදිත් මට සම්මාන කිහිපයක්ම ලැබුණා මගේ නිර්මාණ වලට. ඉතිං ඒ වගේම අපගේ පරිගණක හා ඉංජිනේරු අධ්‍යයන අංශය භාරව සිටි විශාඛා නානායක්කාර ආචාර්යතුමියව ද මේ මොහොතේ මතක් කළ යුතුයි. මොකද ඩිග්‍රි එකක් හදාරන ගමන් මගේ ම ව්‍යාපාරික කටයුත්තක් සිදු කරගෙන යන එක ලොකු අභියෝගයක්. ඉතින් ඒ වැඩවලට කිසිදු බාධාවක් එල්ල කරන්නේ නැතුව මට ආශිර්වාද කරමින් ඒවාට දීපු සහයෝගයට එතුමියට මම මේ මොහොතේ බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා.

bf442195601bdf51108287afc07e3900.jpg

ඉතින් මුලින් ම මගේ සරසවි ව්‍යාපෘතිය හරහා සිදු කළේ ජංගම දුරකථන තුළින් සිංහල කියවීමේ හැකියාව ලබාදීම. ඉතින් ඊට පස්සේ තමයි හෙළකුරු බිහිවුණේ අපේ දෙවෙනි නිෂ්පාදනය විදිහට. ඒ සිංහලෙන් ලිවීමේ හැකියාව ලබාදෙමින්. මුලින් ම කරපු නිර්මාණයේ දී මට භාෂාව පැත්තෙන් අවශ්‍ය සහයෝගය ලබා දුන්නේ මහාචාර්ය ගිහාන් ඩයස්, L.K ඩොමැනික් යන සිංහල යුනිකෝඩ් සම්බන්ධව හොඳ ප්‍රාගුණයක් ඇති ප්‍රවීණයෝ දෙන්නෙක් විසින්. ඉතින් ඔවුන් දෙපළවත් මේ මොහොතේ මං මතක් කර සිටිනවා. ඒ වගේ ම මෙතන දි මම මගේ දෙමව්පියන්ව ද ඉතාමත් ආදරයෙන් මතක් කළ යුතුයි. මොකද ව්‍යවසායකයෙක් විදිහට ඉදිරියට යන්න මට ලොකු ශක්තියක් ඔවුන්ගෙන් ලැබුණා. ඒ වගේම මම මේ මොහොතේ මගේ බිරිඳ සහ දරුවන් පිළිබඳව ද මතක් කළ යුතුයි. ව්‍යවසායකයෙක් විදිහට කටයුතු කරද්දී ඇත්තටම රැයක් දවාලක් නැතුව වැඩ කටයුතු සිදු කරන්න වෙනවා. ඉතින් එම තත්ත්වය තේරුම් අරගෙන මට ලොකු සහයෝගයක් ඔවුන් ලබා දෙනවා. ඉතින් ඔවුන්ටත් මේ මොහොතේ මම ස්තූතිවන්ත වෙනවා.

භාෂා ලංකා පුද්ගලික සමාගමෙහි අධිපති නිර්මාතෘ විදිහට ඔබතුමා කොහොමද මෙය ආරම්භ කිරීම සිදු කරනු ලැබුවේ සහ ආරම්භ කිරීමේ අරමුණ වූයේ කුමක්ද...?

මුලින් ම කියන්න ඕන එදා වගේ ම අදත් අපේ අරමුණ, අපේ දැක්ම වුණේ ඩිජිටල් තාක්ෂණය හරහා මහජනයා සවිබල ගැන්වීම ම තමයි. අපගේ නිර්මාණ සියල්ල ම හරහා පුළුවන් තරම් මහජනයාට සේවාවක් සැපයීම හා ඔවුන්ව ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සන්නද්ධ කිරීම තමයි අපේ කණ්ඩායමේ අරමුණ වුණේ. භාෂා ලංකා ආයතනය ආරම්භ වෙන්නේ ඇත්තටම අහම්බයක් විදිහට. ඒ කියන්නේ මම අර කලින් කියපු සරසවි ව්‍යාපෘතිය හරහා මට ලැබුණු ව්‍යාපාරික අවස්ථාව තුළින් තමයි මම මෙය ආරම්භ කිරීම සිදු කළේ. භාෂා ලංකා ආයතනය හරහා ක්‍රියාත්මක වන මෙම එක් එක් යෙදවුම් හරහා විශේෂ සේවාවන් මිනිස්සුන්ට අපි ලබා දෙනවා. හෙළකුරු ගත්තොත් සිංහල සන්නිවේදන කටයුතු සියල්ල ම ඒ හරහා කරගැනීමේ හැකියාව අපි මේ වන විට ලබා දී තිබෙනවා. ඒ වගේම අපේ එසැණ සේවාව හරහා ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කිරීමක් කරලා තිබෙනවා. ඒ හරහා එසැනින් තොරතුරු ජනතාව වෙත සමීප කිරීමට කටයුතු කර තිබෙනවා. ගොඩක් වෙලාවට අද වැරදි තොරතුරු, දුස්තොරතුරු ජනතාව වෙත ගලායාම සිදුවෙනවා. ඉතින් අපිට ඕන වුණේ නිවැරදි තොරතුරු නිවැරදි විදිහට ඉක්මනින් ජනතාව වෙත ලබාදෙන එක. එසැණ හරහා ඒ දේ අපි සිදු කරලා තිබෙනවා. ඒ වගේ ම මිනිසුන්ගේ ව්‍යාපාර කටයුතුවල දී අදාළ ගනුදෙනු සිදුකිරීමට අපි හෙළ-පේ පහසුකම ලබා දීලා තිබෙනවා. ඒ වගේ ම ඉදිරියට හෙළ-ගෝ කියලා සේවාවක් මිනිස්සුන්ට ලබා දීමට අපි මේ වන විට කටයුතු කරමින් යනවා. මේ හරහා සිදුවන්නේ ප්‍රවාහන සේවාවක්. ඉතින් මෙම හැම සේවාවක් ම දිශාගත වෙන්නේ අපේ මුල් අවධියේ සිට ම තිබුණු මම කලින් කියපු අරමුණ ඔස්සේ බව සඳහන් කළ යුතුයි.

416a366d278964e335ee26506b502c2b.jpg

ශ්‍රී ලංකාව වගේ පුංචි රටක ඩිජිටල් මාධ්‍ය විශාල ලෙස භාවිත නොකරපු සමයක තමයි ඔබතුමා මෙම ඩිජිටල් මාධ්‍ය යෙදවුම් හඳුන්වාදීම සිදු කළේ. ඉතින් එවැනි කාලෙක මෙවැනි දෙයක් ජනතාවට හඳුන්වාදීම ලොකු අභියෝගයක්. ඔබතුමාට ඒ පිළිබදව හැඟෙන්නේ කුමක්ද...?

ඇත්තටම යම්කිසි රටක් හෝ යම්කිසි සමාජයක් තාක්ෂණයක් වැළඳ ගැනීම නොකරන්නේ නම් අපි එතැනදි බලන්න ඕනි මොකක්ද ඒකට හේතුව කියලා. ගොඩක් වෙලාවට එතැන දී හේතුව වෙන්නේ භාෂාව. ඕනෑම සමාජයක 90% ම  ජනතාව භාවිත කරන්න කැමති තමන්ගේ මව් භාෂාව. ඒක ලංකාවටත් පොදුයි. ගොඩක් වෙලාවට ඩිජිටල් මාධ්‍ය තුළ වැඩකටයුතු කිරීමේ දී ඉංග්‍රීසි මාධ්‍ය ඔස්සේ තමයි එම කටයුතු සිදු වෙන්නේ. ඉතින් අපේ රටවල තිබෙන සංස්කෘතියත් එක්ක මිනිස්සු අර කලින් කිව්වා වගේ 90%ක් ම වගේ සිංහල භාෂාවෙන් කටයුතු කරන අය තමයි ඉන්නෙ. ඉතින් ඒ මිනිස්සුන්ට ඩිජිටල් මාධ්‍ය භාවිත කිරීමේදී ගැටලු ඇති වෙනවා. ඉතින් මේ තත්ත්වය නිසා ම තමයි අපි හෙළකුරු හඳුන්වාදීම සිදුකරන්නේ. සිංහල භාෂාවෙන් ඩිජිටල් වැඩකටයුතු සිදු කරන්න, සමාජ මාධ්‍ය භාවිතා කරමින් තමන්ගේ අදහස් ලෝකෙට ඉදිරිපත් කරන්න මේ හරහා අවස්ථාව ලැබිලා තිබෙනවා. සමාජ මාධ්‍ය හරහා මෙරට ජනතාව ලොකු පෙරළියක් පසුගිය කාල පරිච්ඡේදය තුළ ඇති කරනු ලැබුවා. එහි දී ඇත්තටම මිනිස්සුන්ව අරමුණක් වටා එකතු කරගන්න මිනිස්සුන්ට දැනෙන්න කතා කරන්න පුළුවන් වෙන්නේ එම ප්‍රජාවට ආවේණික වූ භාෂාවක් මගින්. ඉතින් ඒ සඳහා හොඳ නිර්මාණයක් ඉදිරිපත් කරලා දීලා තියෙනවා අපි ජනතාවට. ඇත්තටම තාක්ෂණය කියන දේ හැසිරවීම ජනතාවට එතරම් අපහසු දෙයක් නෙමේ. මෙතන දී ප්‍රශ්නයක් තිබෙනවා නම් තිබෙන්නේ භාෂාව සම්බන්ධව. දැන් කොරෝනා අවධියේ දී තාක්ෂණය භාවිත නොකරපු අය පවා මෙම ඩිජිටල් තාක්ෂණය ඉක්මනින්ම තමන්ට සමීප කර ගනු ලැබුවා. ඉතින් ඒ තුළින් පෙනෙන්නෙත් තාක්ෂණය කියන දේ ජනතාව වෙත සමීප කර ගැනීම ලොකු අභියෝගයක් නොවන බව වගේ ම ගැටලුවක් වෙනව නම් වෙන්නෙ භාෂාව මගින් බවයි. මොකද තමන්ට ආවේණික භාෂාවක් තිබෙනවා නම් තාක්ෂණය හැසිරවීම එතරම් අපහසු දෙයක් නෙමෙයි. ඉතින් මෙම හෙළකුරු හඳුන්වාදීම තුළින් ඔවුන්ට ඉතාමත් පහසුවෙන් තමන්ගේ කටයුතු තමන්ට ආවේණික භාෂාව යොදාගෙන කරගන්න පුළුවන් වුණා. මෙතන දී අපිට මෙය ජනතාවට හඳුන්වාදීම ලොකු අභියෝගයක් වුණේ නැහැ. මොකද ජනතාවටත් අවශ්‍ය වුණේ මෙවැනි යෙදවුමක් නිසා. ඩිජිටල් තාක්ෂණය තුළ මෙරට ජනතාවගේ සිංහල භාෂාවේ අවශ්‍යතාවය කොතෙක්ද යන්න මෙම හෙළකුරු මෘදුකාංගය බාගත කොට තිබෙන මිලියන ගණනක ජන සමූහය මගින් පැහැදිලි වෙනවා. මෙම මෘදුකාංගය හඳුන්වා දුන් සමයේ දී ජනතාව ම තමයි ඔවුනොවුන් අතර මෙය ප්‍රචාරණය කිරීම සිදුකරනු ලබන්නේ. මොකද ඔවුන්ටත් මෙවැනි යෙදවුමක අවශ්‍යතාවය තිබුණු නිසා. ඉතින් ඇත්තටම මෙය ප්‍රචාරණය කිරීම අපිට එතරම් අභියෝගයක් වුණේ නැහැ.

මීළඟට මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි ඔබතුමා, ඔබතුමාගේ ම ඩිජිටල් මාධ්‍ය යෙදවුම් ජනතාව වෙත හඳුන්වාදීමේ දී එය ජනතාව තුළ ව්‍යාප්ත කිරීමට භාවිත කළ උපක්‍රම පිළිබඳව...?

ඇත්තටම ඒ දේ මම කලින් කිව්වා වගේ මම සහ අපේ කණ්ඩායම තුළින් සිදු කරපු දේකට වැඩිය ඒ දේ කළේ ජනතාවමයි. ඔවුන් ම තමයි මේ දේ ඔවුනොවුන් අතර බෙදාත්තේ. ඇත්තටම මේ හෙළකුරු හඳුන්වාදීමේ අවධියේ දී අපට ලොකු වත්කමක් තිබුණේ නෑ, මෙය ප්‍රචාරණය කිරීම සඳහා. කවදාවත් හෙළකුරු සඳහා රූපවාහිනිය හරහා අපි කිසිදු වෙළෙඳ දැන්වීමක් ප්‍රචාරය කරලා නැහැ. ගිය අවුරුද්දෙ තමයි මෙම හෙළකුරු සම්බන්ධව පෝස්ටර් කැම්පේන්ග් එකක් පවා අපි කරේ. මුල් අවුරුදු 10-12 අතර කාලෙදි කිසිදු පෝස්ටර් එකක්වත් අපි පළ කරලා නැහැ මේ සම්බන්ධව. ඩිජිටල් මාධ්‍ය ඔස්සේම තමයි මුලින්ම මෙය ජනතාව අතරට ගෙන ආවෙ.නමුත් එතන දි අපි විශාල ලෙස ප්‍රචාරණ කටයුතු සිදු කළේ නැහැ. මොකද අපි ඒ කාලෙ දි විසඳුවේ ජනතාව තුළ තිබෙන ලොකු ප්‍රශ්නයක් මේ තාක්ෂණය සහ භාෂාව සම්බන්ධව තිබෙන. ඉතින් ඕනෙම ගැටලුවක් හරි කාලෙදි විසඳීම තුළින් එය ඉබේටම ජනතාව තුළට ගලායාම සිදුවෙනවා. ඒකට ලොකු වෙහෙසක් දරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ ආකාරයට මිලියන ගණනක් මෙම ඇප් එක ඩවුන්ලෝඩ් කර ගැනීම සිදු වෙන්නේ ජනතාව තුළින්ම ඊට ලැබුණු ප්‍රචාරණය නිසාමයි. මේ නිසා මෙහි ප්‍රචාරණ ගෞරවය හිමිවෙන්නේ ශ්‍රී ලාංකේය ජනතාවට බව කිව යුතුයි.

b1d32db153e591b0a2af116ae1b5403b.jpg

Facebook, TikTok, Instagram යන මෙම සමාජ මාධ්‍ය අද වන විට බොහොමයක් මිනිසුන් භාවිත කරනු ලබන සමාජ මාධ්‍යයන් බවට පත්වී තිබෙනවා. මේවා සියල්ල ම නිර්මාණය කිරීමේ ගෞරවය හිමි වෙන්නේ විදෙස් රටවලට. ශ්‍රී ලංකාවේ දැනට ඩිජිටල් මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ඉහළම මට්ටමේ සිටින ප්‍රවීණයෙක් විදිහට මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි ලංකාව තුළින් මේ ආකාරයේ ලොව වටා ම ව්‍යාප්ත වන පරිදි ඩිජිටල් මාධ්‍ය භූමිකාවක් නිර්මාණය කරන්න ඔබතුමා තුළ අදහසක් තිබෙනවාද යන වග...?

ඇත්තටම මම අර කලින් සඳහන් කරපු දේවල් එක්ක බැලුවහම දැනට පවතින දෙයක් ඒ ආකාරයෙන් ම ඒ විදිහට ම ලබාදීම තුළ ඒ දේ ජනතාව අතරට යවන්න බැහැ. ඒ නිසා එම ලබාදෙන දේ එකිනෙකට වෙනස් විය යුතුයි. දැන් ෆේස්බුක් එකට වඩා වෙනස් ප්‍රශ්නයක් විසඳන්න තමයි ලින්ක්ඩින් යෙදවුම ආවේ. ඊටත් වඩා වෙනස් ප්‍රශ්නයක් තුළ තමයි ට්විටර් එක බිහි වුණේ. ඊටත් වඩා වෙනස් ම ආකාරයට නව පරපුරත් එක්ක එනම් C ජෙනරේෂන් එකත් සමග බැඳුණු දෙයක් විදිහට තමයි ටික්ටොක් බිහිවුණේ. ඒ කියන්නේ ටෙක්ස්ට්වලින්, ඉමේජ්වලින් එහාට ගිහින් වීඩියෝවලින් දෙයක් මිනිසුන්ට දෙන්න තමයි මෙම ටික්ටොක් බිහිවුණේ. ඉතින් මේ කියපු සෑම මෘදුකාංගයක් ම නිර්මාණය වෙන්නේ එකිනෙකට වෙනස් ප්‍රශ්න විසඳන්න. වෙනස් මුහුණුවරකින්. අපි සමාජ මාධ්‍යයක් ලංකාව තුළින් ලෝකෙට දෙනවානම් දැනට කවුරුත් නොකරපු දෙයක්, දැනට නොවිසඳුණු ප්‍රශ්නයකට විසඳුමක් වශයෙන් එම නිර්මාණය සිදු කළ යුතුයි. ඉතින් මේ වන විට පුංචි ප්‍රයත්නයක් විදිහට අපි "සිතළු" කියලා පුංචි යෙදුමක් නිර්මාණය කරලා තිබෙනවා. ඇත්තටම සිංහල සමාජයට ආවේණික වූ සිංහල සාහිත්‍යයක් තිබෙනවා. දැන් මේ වන විට තිබෙන සමාජ මාධ්‍ය තුළ සිංහල සාහිත්‍ය කියන දෙයට විශාල අවකාශයක් ඒ තුළ සකස් කරලා දීලා නැහැ ඇත්තටම. දැන් සිතළු කියන යෙදුම හරහා අපේ ජනතාවට හැකියාවක් තිබෙනවා තමන්ගේ සාහිත්‍යයම නිර්මාණයන් සමාජයට මුදාහරින්න. එහි දී එම නිර්මාණවලට අනෙකුත් ජනතාවගේ අදහස් ලබා ගැනීමට කමෙන්ට් සෙක්ශන් එකක් නිර්මාණය කරලා තිබෙනවා. ඇත්තටම මේ දේත් ශ්‍රී ලංකා සමාජයට ආවේණික දෙයක් විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. මෙතනින් ඔබ්බට ගොස් මුළු මහත් ලෝකයට ම භාවිත කළ හැකි මාධ්‍යයක් නිර්මාණය කිරීමට අපි තවම කටයුතු කරලා නෑ.

යම් පුද්ගලයෙක් ගතහොත් එම පුද්ගලයාගේ ජීවිතයේ සාර්ථක වීම් වගේ ම අසාර්ථක වීම් ඕනි තරම් තිබෙන්නට පුළුවන්. ඔබතුමාගේ මෙම ව්‍යාපාර පසුබිම තුළද සාර්ථකවීම් මෙන් ම අසාර්ථකවීම් ද අනිවාර්යයෙන්ම ඇති. ඉතින් අප ඒ පිළිබඳව වගේ ම එහිදී එම අසාර්ථකවීම්වලට හේතු වූයේ කුමක්ද සහ එම අසාර්ථකවීම් තුළින් ඔබතුමා උගත් දේ පිළිබඳවත් අප දැනගන්න කැමතියි...?

සමහර වෙලාවට සමහර අසාර්ථකවීම් තමයි අපි නොහිතපු විදිහෙ සාර්ථකත්වයක් ලබාගන්න අපිට මගපාදන්නේ. සරසවි අධ්‍යයන කටයුතුවල දී අපිට සිදුවෙනවා අවසන් වසර තුළ දී යම් ආයතනයක් තුළ සීමාවාසික පුහුණුවක් ලබන්න. ඉතින් මේ දේ මගේ ජීවිතයේ අමතක නොවෙන අත්දැකීමක්. මොකද මම මෙහි දී සීමාවාසික පුහුණුවක් සඳහා ඉල්ලුම් කරපු සමාගම් තුනකින් මම ඒවායේ සම්මුඛ පරීක්‍ෂණවල දී අසමත් වෙනවා. ඉතිං මම මානසික අතින් ගොඩක් ම පහළට වැටෙනවා, ඒ සිදුවීම් නිසා. නමුත් හතරවෙනි අවස්ථාවේ දී මම ඉල්ලුම් කරපු සමාගමෙන් මට සීමාවාසික පුහුණුවක් ලබාගන්න අවස්ථාව උදාවෙනවා. ඒ ආයතනය තමයි Wave Net කියන ආයතනය. මෙම ආයතනය තුළ මම මාස හයක පුහුණුවක් ලබනවා. අර කලින් කියපු සම්මුඛ පරීක්ෂණවලින් අසමත් වීම නිසා මම හිතාගන්නවා ආයෙ කෙදිනකවත් සම්මුඛ පරීක්ෂණවලට නම් මුහුණ දෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ සිතුවිල්ලත් ගොඩක් ම හේතු වුණා මගේ මෙම ව්‍යාපාරික ගමන එන්න. එතනින් එහාට මගේ ව්‍යවසායකත්ව ජීවිතය තුළ ඒ කියන්නේ මේ දක්වා ආපු ගමන තුළ බිඳවැටීම්, කඩා වැටීම් තිබෙනවා. දැන් හෙළකුරු, හෙළ- පේ, එසැණ කියලා කියන්නේ මගේ ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ සාර්ථක වූ නිර්මාණ. 

නමුත් මගේ නිර්මාණ තුළ අත්හදා බලා අසාර්ථක වූ ඒවත් තිබෙනවා. ඒ වගේම බාහිර තර්ජන, බාහිර බලපෑම් නිසා යම් බිදවැටීම්වලට ලක් වූ අවස්ථා තිබුණා. ඒ කියන්නේ අපේ පේ-හියර් සේවාවට ලොකු තර්ජනයක් එල්ල වුණා බාහිරින්. ඇත්තටම අපි 2016 වසරේ තමයි පේ-හියර් සේවාව ආරම්භ කළේ. ව්‍යාපාරික ආයතනවලට, ව්‍යාපාරික ප්‍රජාවට ඔන්ලයින් ඔස්සේ ගෙවීම් කටයුතු පහසුවෙන් සිදුකර ගැනීම සඳහා තමයි මෙම සේවාව ආරම්භ කරන්නේ. ඉතින් මේ සඳහා ජනතාවගෙන් හොඳ ප්‍රතිචාර ලැබුණ නමුත් නීතිමය ක්ෂේත්‍රය ඔස්සේ මෙයට බලපෑමක් එල්ල වෙනවා. ඒ කියන්නේ ලංකාවේ ගෙවීම් හා පියවීම් නියාමනයන්ට අනුව ලංකාවේ බැංකු නොවන ආයතනයකට මේ වගේ සේවාවක් ක්‍රියාත්මක කරන්න බෑ කියලා ශ්‍රී ලංකා මහා බැංකුවෙන් ලැබුණු විධානයකට අනුව මාස දෙකහමාරකට පසුව සම්පූර්ණයෙන් ම පේ-හියර් නිර්මාණය නවත්වන්න අපිට සිදු වුණා. මේ නිසා ඇත්තට ම ගොඩනැගී තිබුණු ජනතා විශ්වාසයට දැඩි හානියක් සිදුවුණා. පසුකාලීනව එනම් 2018 වසරේ දී නීතිමය අවසර ඇතිව, මහා බැංකුවේ ද අනුමැතිය සහිතව නැවත එය ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබුණා. ඉතින් මෙතන දි නොපසුබට උත්සාහය කියන එක ගොඩක් ම වැදගත් වුණා. එතන දි අපිට තිබුණා ඒ දේ අතහැරලා දාන්න. නමුත් අපි එහෙම කළේ නැහැ. එම තත්ත්වයට හොඳින් මුහුණ දීලා අපේ අරමුණ ඉටු කරගන්න අපිට පුළුවන් වුණා. ඉතින් පේ-හියර් හරහා මේ වන වනවිට රුපියල් බිලියන 25 කට අධික ගනුදෙනු සංඛ්‍යාවක් සිදු කරලා තිබෙනවා. මෙහිදී තව දෙයක් මතක් කළ යුතුයි. එනම් 2023 වසරේ ද අපේ පේ-හියර් සඳහා සයිබර් ප්‍රහාරයක් එල්ල වෙනවා. එතනදිත් අපි කෙරේ පැවති මහජන විශ්වාසය නැවත වරක් ගිලිහී යනවා. නමුත් පසුව ඒ සඳහා අපි කටයුතු කරපු ආකාරය මත ජනතා විශ්වාසය නැවත අප වෙත ලබා ගැනීමට අපට හැකියාව ලැබෙනවා. ඊට හොඳ ම උදාහරණයක් තමයි මම කලින් කියපු මේ වනවිට පේ-හියර් හරහා සිදු කරලා තිබෙන බිලියන 25කට අධික ගනුදෙනු සංඛ්‍යාව. ඉදිරියේ දී මොන දේවල් සිදු වේවිද කියලා කියන්න දන්නේ නැහැ. කෙසේ නමුත් කුමන තත්ත්වයක් උද්ගත වුවත් ඒ සඳහා හොඳින් මුහුණ දීම තමයි සිදු කළ යුතු එක ම දේ.

267794a7adabfd222149baf49ec68754.jpg

Artificial Intelligence එසේත් නැතිනම් මෙම AI තාක්ෂණය වත්මනයේ බහුල වශයෙන් මිනිසුන් භාවිතයට ගනු ලබන යෙදවුමක්. මේ පිළිබඳව ඔබතුමාට තිබෙන්නේ මොන වගේ අදහසක්ද සහ ඔබතුමාගේ ඩිජිටල් මාධ්‍ය ක්ෂේත්‍රයේ වැඩකටයුතු සඳහා මෙය ඔබතුමාට දායක කරගත හැකිද...?

ඔව් ඇත්තටම AI පිළිබදව මගේ අදහස ගැන කියද්දි ඇත්තටම අපි මේ දැන් ඉන්නේ පරිගණනයේ තුන්වන අවධියේ මුල් කාලය තුළ. පරිගණනයේ පළවෙනි අදියර විදියට අපිට ගන්න පුළුවන් අර Mainframe Computers තුළින් පුද්ගලික පරිගණකවලට ලෝකය මාරුවෙච්ච සමය. දෙවන අදියර තමයි මේ Smart Phones බිහිවෙච්ච අවධිය. අපිට එතන දි තවදුරටත් පරිගණකයක් අවශ්‍ය වුණේ නෑ අපගේ පරිගණකය ආශ්‍රයෙන් සිදු කරන වැඩවලට. එම වැඩකටයුතු පහසුවෙන් Smart Phones ඔස්සේ අපිට සිදුකර ගැනීමට පුළුවන් වුණා. ඇත්තටම දැන් මේ යන අවධිය කියන්නේ අර කියපු අවධි දෙකට වඩා ඉතාමත් දියුණු අවධියක්. එහිදී මම AI දකින්නේ අපේ වැඩකටයුතු කර ගැනීමට තිබෙන තවත් මෙවලමක් විදිහට නෙමෙයි. අපිත් එක්ක ම වැඩ කරන තවත් කෙනෙක් විදිහට තමයි මම එම තාක්ෂණය දකින්නේ. මේ වනවිට මෙම AI තාක්ෂණයට අලුත් දේවල් නිර්මාණය කිරීමේ, ගොඩනැගීමේ හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් ඇත්තටම මේ නිසා අපි තවත් මෙවලමක් යොදාගන්නව කියල මෙහි දී කියන්න බෑ. අපි තවත් සහයකයෙක් එක්ක වැඩ කරනවා වගේ දෙයක් තමයි මට මේ සම්බන්ධව දැනෙන්නේ. දැන් මගේ වැඩකටයුතු කරගන්න තවත් පුද්ගලයෙක් ලබාගන්නවා වෙනුවට අපිට පුළුවන් AI Assistent කෙනෙක් ඒ සඳහා යොදා ගන්න. ඒ වගේ සංක්‍රාන්ති සමයක තමයි අපි මේ වෙද්දි ඉන්නේ. මේ AI හරහා දැන් ඇත්තටම ඉමේජ්වලින්, ටෙස්ට්වලින්, වීඩියෝවලින් ලොකු කර්තව්‍යක් කරගන්න පුළුවන්. ඇත්තටම මෙය තවදුරටත් ව්‍යාප්ත වන හා විකාශනය වෙමින් යන දෙයක්. AI හරහා සිංහල පරිවර්තන කටයුතු හොඳින් සිදු කරගන්න පුළුවන් හැකියාවක් මේ වෙද්දි තිබෙනවා. දැන් අන්තර්ජාලය තුළ තිබෙන සියලුම දත්ත, තොරතුරුවලට අනුව හැඩගැසෙමින්, පුහුණුවෙමින්, ඒවා ලබා ගනිමින් තමයි මෙම AI ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් අපේ සිංහල අන්තර්ගතයන් අන්තර්ජාලය තුළ නොතිබුණා නම් මේ ආකාරයට AI වලට හොඳින් සිංහල පරිවර්තනය කිරීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් අපි හෙළකුරු මීට අවුරුදු 10කට 12කට කලින් හඳුන්වාදීම නිසා අන්තර්ජාලය තුළ සිංහල අන්තර්ගතයන් ඇතුළත් වීම සිදුවුණා. ඉතින් ඇත්තටම මේ සම්බන්ධව නිහතමානී ආඩම්බරයක් අපිට තිබෙනවා. 

ඉතින් මෙම AI දෙවිදියකට අපිට භාවිත කරන්න පුලුවන්. එකක් තමයි දැනට තිබෙන AI Assistant ලා හරහා කොහොමද අපේ වැඩ පහසු කරගන්නේ යන කාරණය. ඉතින් මේ වන විට අපේ ඩිවලොප්මන්ට් ටීම් එක තමන්ගේ කෝඩින් වැඩවලට AI Assistant ලා භාවිත කරනවා. ඉතින් ඒකෙන් එයාලගේ වැඩ සාර්ථකව කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේ ම මාකටින් පැත්තෙන් ගත්තොත් අපේ ඩිජිටල් මාර්කටින් ටීම් එක AI Assistant ලා භාවිත කරනවා අපේ එම මාකටින් වැඩකටයුතුවලට අදාළ වීඩියෝ පට වැනි දේවල් නිර්මාණය කර ගැනීමට. ඒ වගේම අපේ පාරිභෝගික සේවාව සලසන ටීම් එක ගත්තොත් එයාලටත් මෙම AI Assistant ලා ගොඩක් සහාය වෙනවා ඔවුන්ගේ වැඩවලට. ඉතින් ඒක එක පැත්තක්. අනික් පැත්ත තමයි අපේ නිර්මාණයන්ට කොහොමද අපි AI භාවිත කරන්නේ කියන දේ. ඉතින් ඊට අදාළ පර්යේෂණ කටයුතු අපි මේ වන විට සිදුකරමින් යනවා.

2024 වසරේ දී ලංකාව තුළ නව රජයක් ස්ථාපිත වීම සිදුවුණා. ඩිජිටල් මාධ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධව නව ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට වත්මන් රජය සතුව අපේක්ෂාවක් තිබෙනවා. මේ සම්බන්ධව ඔබතුමාගේ අදහස කුමක්ද...?

ඔව් ඇත්තටම මෙතනදි රජය මොකක්ද කියන දේට වඩා වැදගත් වෙන්නේ අපි රටක් විදිහට ඩිජිටල්කරණය තුළ ඉන්නේ කොතනද කියන එක. ලෝකයේ අනිත් රටවල් එක්ක බලද්දි අපි ගොඩක් පසුපසින් තමයි ඩිජිටල්කරණය අතින් ඉන්නේ. ඩිජිටල්කරණය අවශ්‍ය වෙන්නේ ඇයි කියල බැලුවොත් රටක සිදුවන කටයුතු කාර්යක්ෂමව කරගන්න මෙම ඩිජිටල්කරණය කියන එක ඉතාමත් වැදගත් වෙනවා. ඒ කියන්නේ රටක පුරවැසියන් විදිහට ජනතාවට යම්කිසි වැඩක් කරගන්න ගියහම ඔවුන්ව රස්තියාදු නොවී මෙම ඩිජිටල් තාක්ෂණය යොදාගනිමින් පහසුවෙන් සහ වේගවත්ව එම කටයුතු කරගන්න පුලුවන් නම් ඇත්තටම ඒක වැදගත් දෙයක්. එතකොට ඒ කාරණය එක දෙයක්. අනිත් දේ තමයි මෙම ඩිජිටල් ආර්ථිකය කියන දේ. විශේෂයෙන් ම මෙය මෙරට තුළ වර්ධනය කිරීම ඉතා ම වැදගත්. ගනුදෙනුවල දී වෙන වංචා, දූෂණ වළක්වා ගැනීමට තිබෙන හොඳ ම විසඳුමක් තමයි මෙම ඩිජිටල් ගනුදෙනු කියලා කියන්නේ. ඇත්තටම මුදල් නෝට්ටු භාවිතයකින් තොරව ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ගනුදෙනු කිරීමට ඉඩ සලස්වන්න පුළුවන් නම් ඒක හොඳ දෙයක්, මෙම මුදල් සම්බන්ධව වන වංචා, දූෂණ නැවැත්වීමට තිබෙන. මේ තුළින් පැහැදිලි වෙනවා ඩිජිටල්කරණය කියන දේ රටකට කොතරම් වැදගත්ද කියන කාරණය. ඉතින් මේ වන විට ඉතාමත් ශීඝ්‍රයෙන් ඩිජිටල්කරණය රට තුළ ස්ථාපිත කිරීමට කටයුතු සැලසෙමින් යනවා. හරි නම් මීට අවුරුදු ගානකට කලින් තමයි අපේ රටේ මේ දේවල් කරන්න තිබුණේ. හැබැයි අවාසනාවකට අපේ හිටපු කිසිදු රජයකට ඒ දේ කරගන්න බැරි වුණා. ඉතින් වත්මන් රජයෙන්වත් අපේ රට ඩිජිටල්කරණයකට ලක්කිරීමට කටයුතු කරමින් යන එක ගැන ලොකු සතුටක් තිබෙනවා.

ඩිජිටල් මාධ්‍ය ක්ෂේත්‍රයේ දීප්තිමත් ව්‍යවසායකයෙක් වන ඔබතුමාට ඩිජිටල් මාධ්‍ය ක්ෂේත්‍රය තුළින් ඉදිරියට පැමිණීමට බලා‍පොරොත්තු වන නවක ව්‍යවසායකයින්ට ලබා දීමට තිබෙන පණිවිඩය කුමක්ද සහ ඔවුන්ගේ එම කටයුතු සාර්ථක කර ගැනීමට මග පෙන්වීමක් වශයෙන් යම්කිසි වැඩ පිළිවෙළක් සකස් කිරීමට ඔබතුමාට අපේක්ෂාවක් තිබෙනවාද...?

මම මුලින් ම උත්තර දෙන්නම් දෙවෙනියට අහපු ප්‍රශ්නෙට. අපි මේ වන විට ව්‍යවසායකයින්ට අවශ්‍ය ගොඩක් පහසුකම් සලසමින් යනවා. අපේ පේ-හියර් කියන සේවාව හරහා ව්‍යවසායකයින්ට තමන්ගේ ව්‍යාපාර කටයුතුවලට අදාළ ගනුදෙනු ඉතාමත් පහසුවෙන් කරගන්න පුළුවන් වන ආකාරයට මෙම නිර්මාණය සිදුකොට තිබෙනවා. විශේෂයෙන් ම ව්‍යාපාරයකට අවශ්‍යය වැදගත් ම දෙයක් තමයි තමන්ගේ පාරිභෝගිකයන් සමඟ ඉතාමත් වේගයෙන් ගනුදෙනු සිදු කර ගැනීම. ඉතින් අපේ පේ-හියර් හරහා අපි එම පහසුකම ලබා දීලා තිබෙනවා. මුලින් පැවති නීතියට අනුව මේ හරහා online ගනුදෙනු කරන්න අවස්ථාව ලබා දුන්නේ මෙරට තුළ ලියාපදිංචි ව්‍යාපාර ආයතන වලට පමණයි. නමුත් අපි මේ වනවිට මහ බැංකුවේ නීති නියාමනයන්ට අනුව ඕනෑ ම ව්‍යවසායකයෙකුට, ඕනෑ ම ලියාපදිංචි නොවන ව්‍යාපාරයකට පවා මේ හරහා ගනුදෙනු කිරීමට අවස්ථාව ලබා දීලා තිබෙනවා. ඉතින් මේ ආකාරයට ව්‍යාපාරයක් පටන් ගන්න ඕනෑ ම අයෙකුට බාධාවකින් තොරව තම ගනුදෙනු කටයුතු සිදු කරන්න අවස්ථාව අපි ලබා දීලා තිබෙනවා. ඒ වගේ ම මෙතන දි හෙළකුරු හරහාත් අපි යම්කිසි දෙයක් සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වන විට ලංකාව තුළ තිබෙන ලොකු ම ඩිජිටල් ඕඩියන්ස් එක හෙළකුරු වටා එකතු වී තිබෙනවා. ඉතින් ඒ අනුව හෙළකුරු කියලා කියන්නේ නව ව්‍යවසායකයින්ට හොඳ තෝතැන්නක් තමන්ගේ ම කියල ව්‍යාපාරයක් කරගෙන යාමේ දී. මොකද හෙළකුරු තුළ තිබෙනවා Mini Store කියලා තවත් යෙදවුමක්. ඉතින් ඒ තුළ ක්‍රියාත්මක වන අපේ ම සේවාවන් ගණනාවක් ම තිබෙනවා දැනටමත්. ඉතින් මේ හරහා නවක ව්‍යවසායකයින්ට තමන්ගේ ම ඩිජිටල් හෝ ඩිජිටල් නොවන සේවාවන් මේ හරහා ජනගත කිරීමට අපි කටයුතු සලසමින් ඉන්නවා. ඉතින් නවක ව්‍යවසායකයින් වෙනුවෙන් දැනට සිදු කරගෙන යන වැඩකටයුතු තමයි ඒ.

edd8f7974357f6161ac4bfc5a5aa2503.jpg

මෙතන දී නවක ව්‍යවසායකයින්ට ලබාදීමට තිබෙන පණිවිඩය පිළිබඳ සඳහන් කිරීමේ දී තරුණ තරුණියන් විදියට අපි හැමෝට ම අලුත් අදහස් තිබෙනවා. අදහස් නැති අය නෑ. හැබැයි තියෙන ප්‍රශ්නෙ තමයි තමන්ගේ අදහස ආවට ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්නේ ඉතා ම සුළු පිරිසක් පමණයි. ඉතින් එහෙම නොවී තමන්ගේ අදහස ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් පළමු පියවර තබන්නට හැමවෙලේම උත්සාහවන්ත වෙන්න. මොකද අපි දෙයකට අපේ පළමු අඩිතාලම තිබ්බා කියන්නේ ඒ දේ අපිට ඉදිරියට කරගෙන යන්න අනිවාර්යයෙන්ම පුළුවන් වෙනවා. ඉතින් මම ආයිත් කියනවා ඒ ආකාරයට තමන්ට එන අදහස් අපතේ යන්න නොදී ඒ වෙනුවෙන් කටයුතු කරන්න දැන්ම ම මුල් අඩිය තියන්න බයනැතුව. ඉතින් ඒ දේ තමයි මට පණිවිඩයක් විදිහට මෙතනදි කියන්න තියෙන්නේ. ඒ වගේ ම ව්‍යවසායකයෙක් බිහිවෙන්නේ හැමවෙලේම සමාජයේ තිබෙන මොකක් හරි ගැටළුවකට විසඳුමක් ලබා දීමක් විදිහට. ඉතින් ඔබ ජීවත් වන සමාජයේ තිබෙන ගැටලු පිළිබඳව නිරන්තරයෙන් සැලකිලිමත්ව වී සිටින්න. ඒ ආකාරයට එම ගැටළු පිළිබඳව සොයා බලා එම ගැටලුව හොඳින් අවබෝධ කර ගැනීමට කටයුතු කරන්න. ඒ වගේම ඒ අතර ම තමන්ට තිබෙන හැකියාවන් පිළිබඳ හොඳින් අවබෝධ කරගන්න උත්සාහ කරන්න. ඒ කාරණා දෙක යා කර ගන්න පුළුවන් වුනොත් අනිවාර්යෙන්ම සාර්ථක ව්‍යවසායකයෙක් නිර්මාණය වීම සිදුවෙනවා. තම සමාජයේ පවතින ගැටලු පිළිබඳ සොයා බලා එම ගැටලුව විසඳා ගැනීමට තමන්ට තිබෙන හැකියාව යොදාගන්නේ කොහොමද යන කාරණය පිළිබඳ සිතන්න. ඉතින් මේ ආකාරයට කටයුතු කළහොත් අනිවාර්යයෙන්ම ඔබට සාර්ථකව ව්‍යවසායකයෙක් වෙන ගමන් ම සමාජයේ තිබෙන විශාල ගැටලුවකට පිළිතුරු ලබාදීමට ද හැකියාවක් තිබෙනවා.

හොදයි.ඉතිං අද දවසේදී ඔබතුමාගේ වටිනා කාලය අප වෙත ලබාදෙමින් අපගේ සාකච්ඡාවට සම්බන්ධ වූ ඔබතුමාට සන්නස අපි බෙහෙවින්ම ස්තූතීවන්ත වන අතර ඔබතුමාගේ ඉදිරි  සියලුම වැඩකටයුතුවලට සුබපැතුම් එක්කරමින් අපේ සාකච්ඡාව මෙතනින් නිම කරනවා.

ස්තූති.

සැකසුම         - උපේක්ෂා තඹවිට
සංස්කරණය - ප්‍රසිලා සඳරුවනි

 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required